සරත් ඔබට සුබ ගමන්

184

අපේ පත්තර කලාවේ අලුත් පරපුරේ බොහෝ දෙනකු ‘සරත් අයියා’ යන ආදර නමින් ඇමතූ සරත් ධර්මසේන නම් වූ මගේ පැරණි මිත්‍රයා සිකුරාදා ජීවිත ගමන නිමා කළේ ස්වකීය 85 වැනි සැතපුම් කණුව පසු කරමින් සිටියදී ය.

පුවත්පත් කලාවේ බොහෝ අත්දැකීම් සපිරිව සිටි ‘සරත්’ පෑන හරඹ කරමින් දැක්වූ සුරු විරුකම් පිළිබඳ ඉතිහාසය 1960 දශකය දක්වා ඈතට විහිදෙන්නේය.

මාධ්‍ය ක්ෂේත්‍රය අපට වඩා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ ඔහු 60 දශකයේ ස්වාධීන පත්‍ර සමාගමට එක්ව තම ‘පත්තර රස්සාව’ ඇරඹුවේය. ඒ ‘දවස’ පුවත්පතට අධිකරණ වාර්තා ලිවිමෙනි. අධිකරණ වාර්තාකරුවකු මෙන්ම ප්‍රවෘත්ති ලේඛකයකු ලෙස ද සරත් ‘දවස’ තුළ පෙරළි කළේය.

‘දවස’ තුළ සරත් සමග සේවය කළ පියසේන ඉහළවිතාන, රෝහණ ගමගේ, එච්. ඩබ්ලිව්. අබේපාල, ආනන්ද මෙන්ඩිස්, ෂෙල්ටන් ලියනගේ, ජැක්සන් සේනාරත්න, තිලකසිරි අල්ගම, දයා විජේසේකර, ගුණපාල රණසිංහ, ලයනල් පෙරේරා, මෙරිල් පෙරේරා, බෙනට් රූපසිංහ, ප්‍රේමලාල් විජේරත්න, උලපනේ ගුණසේකර, ජී. වින්සන්ට් ප්‍රනාන්දු, ජේ. ටී. ද සිල්වා, කරුණාරත්න විජයනායක, ආතර් යූ. අමරසේන, දේශප්‍රිය දිසානායක, ඩබ්. කේ. ඩී. නවරත්න, උපාලි තෙන්නකෝන් ,චන්ද්‍රසිරි කටුදෙණිය, විමලසේන ඉහළගම, වසන්ත කුමාර කෙත්හේන ඇතුළු පිරිස ද මගේ මතකයට එයි.

ලංකාවේ නමගිය බොහෝ නඩු විභාග ‘දවස’ට ලියවුණේ සරත් අතිනි. සරත් සමග ඔහු ‘දවස’ පත්තරයේ සිටි තවත් අධිකරණ වාර්තාකරණයේ සගයා වූයේ බෙනී ජයසුන්දරයි. ‘බෙනී’ මට 1970 අග භාගයේදී ටයිම්ස් ආයතනයට එක්වූ අවස්ථාවේ මට දැන හැඳුන ගන්නට ලැබුණේ ඔහු ‘ලංකාදීප’ පත්තරයේ අධිකරණ වාර්තාකරණයේ යෙදී සිටියදීය. ‘බෙනී’ හමුවන්ට ටයිම්ස් මන්දිරයට ‘සරත්’ මට නිතර මුණගැසුණ හැටි අදත් සිහිපත් වෙයි.

1962 මෙරටේ සිදු වූ මහත් ආන්දෝලනාත්මක සුප්‍රකට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩුව මහ බැංකු බෝම්බ නඩුව හා මෙරට අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර තිබෙන අර්බුද ගැන දුන් අධිකරණ විනිශ්චයන් ද ඉතා නිවැරදිව හා හරවත්ව වාර්තා කළේය. 1983 ගුවන් යානයක් පැහැර ගැනීමේ චෝදනාවකට සේපාල ඒකනායකට දඬුවම් හිමිවීම ද ‘දවස’ ට ලියුවේ සරත් විසිනි. මා දන්නා පරිදි 1983 ජුනි 30 වැනිදා ඔහු දවසට ලියූ අවසන් වාර්තාකරණය වූයේ එම නඩු තීන්දුවයි.

සරත් ‘දිවයින’ට එක්වූයේ 1980 දශකය මැද භාගයේදී පමණය. අප පත්තරයේ අධිකරණ වාර්තාකරණයේ යෙදී සිටි රූපසිරි විද්‍යාරත්න හා සරත් ධර්මසේන ද ඊට පසුව ඊට කලක් එක්ව සිටි සුනිල් කළුබෝවිල ද අද ජීවතුන් අතර නැත.

පත්තර කලාවේ අලුත් පරපුර අධිකරණමය වාර්තාකරණයක ‘නීතිමය’ ගැටලුවක් විසඳා ගත්තේ සරත් අයියා ගෙනි. සරත් අව්‍යාජව හා පරමාදර්ශීව තම දැනුම, අලුත් පරපුරට දැන කියා දුන්නේය. ලංකාවේ සුප්‍රකට නීතිවේදීහු මෙන්ම විනිසුවරු ද ‘සරත්’ විශ්වාසවන්තව ඇසුරු කළේය. යම් නඩු තීන්දුවක ගැටලුවක් ගැන කෙලින්ම ‘විනිසුරුවන්’ ගෙන් හෝ අසා නිවැරදි කර
ගන්නට තරම් විශ්වාසනීය බවක් ඔහු ඇති කරගෙන සිටියේය. එවන් උදවිය ‘විරල’ වෙති. ඔහු හැමවිටම අධිකරණයට මෙන්ම හා නඩුවල කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවන ලෙස තම පෑන විශිෂ්ටව හැසිර වූ ඔහු වියත් මාධ්‍යවේදියකු ලෙස ප්‍රසාදයට පත් වූවෙකි.

‘සරත්’ තම පුතකු වන රනිල් අපට මුණගස්සවා පත්තර රස්සාවේ ඉදිරියට යන්නට ඔහුට ඉඩ හසර දුන්නේය. පුතුන් දෙපළට දියණියන් තිදෙනකුට සෙනෙහෙරබර පියා වූ ඔහු ‘ප්‍රේමා’ බිරිඳගේ සැමියා වූයේය.

සරත් ‘දිවයින’ පත්තරයෙන් ඉක්බිතිව ‘අරුණ’ පත්තරයේ රස්සාවට ගියත් ‘දිවයින’ සමග තිබුණ බැඳීම අත්හළේ නැත. කාටවත් දොසක් නොකිවූ තමන්ගේ පාඩුවේ ‘වගකීම’ වගකීමකින් යුතුව ඉටු කළ සරත් ධර්මසේන අප මිත්‍රයා දැන් අප හැර ගොසිනි. ඔහුට සුබ ගමන් පතමින් උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

නාරද නිශ්ශංක
දිවයින කර්තෘ

advertistmentadvertistment
advertistmentadvertistment