සරදියල් රජ කළ උතුවන්කන්ද

570

අමතක නොවන කඩුගන්නාව

කඩුගන්නාව දක්වා ගිය චාරිකාව අතිශයින්ම චමත්කාර වූවකි. මේ ගමන කොළඹ කොටුවේ සිට හෝ වෙනත් ප්‍රදේශයක සිට දුම්රියෙන් පැමිණෙන්නේ නම් තවත් අපූරු අත්දැකීමක් වනවා නොඅනුමානය. එසේ පැමිණ කඩුගන්නාව දුම්රිය ස්ථානයෙන් බැස පෙර කී අත්දැකීම් සමුදාය වැඩි කරදරයක් නැතිවම විඳ ගත හැකිය. මහනුවර පැත්තේ සිට පැමිණෙන අයට බස් රථයෙන් මෙහි පැමිණිය හැකිය. මේ කතාව අප කීවේ පෞද්ගලික ප්‍රවාහනයට වඩා බස් රථ සේවාව සහ දුම්රිය වැනි පොදු ප්‍රවාහනය ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිවය. ඒ මගින් පවතින ඉන්ධන හිඟයට විසඳුමක් සපයාගනිමින් සාපේක්ෂව අඩු මුදලකින් සංචාරයක් සිදුකර වින්දනාත්මක අත්දැකීම් ලබාගැනීමට හැකි නිසාය. කොහොමත් අපගේ මෙම “සංචාරේ” විශේෂාංගයේ අරමුණ වන්නේම දුම්රිය හා බස් රථ යන පොදු ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ සිදු කළ හැකි සංචාර ප්‍රවර්ධනය කිරීමය.

සරදියල් රජ කළ උතුවන්කන්ද

එසේ හෙයින් කඩුගන්නාව අයත් යටිනුවර ප්‍රාදේශීය සභා බලධාරීන්ට මේ අදහස කන වැකී සංචාරකයින්ට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදී කඩුගන්නාව සංචාරක පුරවරයක් කිරීමට කටයුතු කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. මේ සඳහා කඩුගන්නාව ඉපැරණි තානායම ඉතා ගැලපෙන කේන්ද්‍රස්ථානයක් බැවින් එහි පරිපාලනය සහ කළමනාකරණය යථාවත් කර, පැරණි තානායමේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇත්නම් ඒවාද සකස් කර සංචාරකයින් කැඳවාගන්නට නව වැඩපිළිවෙළක් යොදනු ඇතැයි අපි කල්පනා කරමු. ඒ සඳහා යම් ප්‍රචාරයක් දෙන්නට අපගේ “සංචාරේ” කණ්ඩායම සෑදී, පැහැදී සිටින බවද මේ මොහොතේ සිහිපත් කරනු කැමැත්තෙමු.

එසේ නම් කඩුගන්නාව කේන්ද්‍ර කරගනිමින් සිදුකරන අපගේ සංචාරයේ මීළඟ අංගය ලෙස අප ඔබට ඉදිරිපත් කරන්නේ තවත් අපූරු සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. ඒ මාවනැල්ලට නුදුරින් පිහිටි “උතුවන්කන්ද” යි.

උතුවන්කන්ද ගැන කතා කරන්නට මත්තෙන් ඉකුත්දා මෙහිදී සිදු වූ අවාසනාවන්ත ඛේදවාචකයක් පිළිබඳවද මතක් කර දීම සුදුසු යැයි හැඟෙන්නේ උතුවන්කන්ද තරණය කරන්නට යෑමේදී එහි ඇතැම් ස්ථාන ඉතාම අනාරක්ෂිත තැන් ලෙස පවතින බැවින් එහි ගමන්කරන්නන් එම අවදානම තමන් විසින්ම දරාගත යුතු වන නිසාය. මෙම පර්වතයේ ඇතැම් ස්ථානවලින් මාරුවීමේදී මේ බියකරු අත්දැකීම විඳින්නට සිදුවන බැවින් ඉතා ප්‍රවේශමෙන් එම ස්ථාන තරණය කිරීම ගැන දෙවරක් සිතිය යුතුය. මෙම අවදානම ගෙන උතුවන්කන්ද තරණය කරමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ඉකුත්දා සුළු අතපසුවීමකින් හෙළෙන් පහළට ඇද වැටී මිය යෑම බලවත් ශෝකජනක සිද්ධියකි. කඳු තරණයට ඇල්මක් දක්වන අපගේ “සංචාරේ” කණ්ඩායම මේ තරුණ ගවේශිකාවගේ අකල් මරණය ගැන සැබැවින්ම ශෝක වන අතර, මෙහි පැමිණෙන අනෙකුත් සංචාරකයින්ට දෙන උපදෙස නම්, හැකි තාක් කල්පනාවෙන් සහ ප්‍රවේශමෙන් මෙහි තරණය හා ගවේෂණ කටයුතු සිදුකිරීම යහපත් බවයි.

උතුවන්කන්ද කියන විටම අපට සිහිපත්වන තවත් චරිතයක් නිතැතින්ම අපගේ සිතට නැගේ. ඒ සුදු පාලකයින්ගේ සමයේදී මාවනැල්ල අවට තම අණසක පතුරුවාගෙන සිටි “සරදියල්” ය. සැබැවින්ම උතුවන්කන්ද ජනප්‍රිය කළ පුද්ගලයා සරදියල් මිස අන් කෙනකු නොවේ. 1832 මාර්තු 25 දින කෑගල්ලේ උපන් “දීකිරිකෑවගේ සරදියල්” එකල ප්‍රසිද්ධියට පත්ව සිටියේ මං පහරන්නෙකු ලෙසටය. නැතහොත් කල්ලි නායකයකු ලෙසටය. කැරලි නායකයකු ලෙසටද ඔහු ඇතැමුන් හැඳින්වූහ. එකල කොළඹ-මහනුවර පාර කරත්ත පාරකට සීමාවී තිබුණු අවධියේ මෙහි ගමන් ගත් සුද්දන්ගේ අශ්ව කරත්ත හා ගොන් කරත්ත වෙත (ගැල්) වෙත කඩා පිනූ සරදියල් හා මම්මලේ මරික්කාර් නම් වෙඩිතැබීමේ දක්ෂ තම කුළුපග මිතුරා ඇතුළු ඔහුගේ ගෝලබාලයින් එම කරත්තවල තිබුණු වටිනා කියන දෑ හා බඩු බාහිරාදිය බලහත්කාරයෙන් රැගෙන ගොස් ඒවා දුප්පතුන්ගේ ප්‍රයෝජනයට ලබා දුන් බව කියනු ලැබේ. එනිසාම සරදියල්, “සූර සරදියල්” නමින් ජනයා හැඳින්වූ අතර, ඔහුව ආරක්ෂා කරන්නටද මාවනැල්ල, කඩුගන්නාව අවට ගැමියෝ කටයුතු කළහ. ඔහු ශ්‍රී ලංකාවේ “රොබින්හුඩ්” විය. දිගින් දිගටම සරදියල් විසින් සිදුකරන ලද මෙම මංපැහැරීම බ්‍රිතාන්‍ය ආණ්ඩුවට හිසරදයක් වූ බැවින් සරදියල් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වහා ක්‍රියාවට නැගිණි. එහෙත්, සරදියල් සැබෑම වනගත චරිතයක් වූ බැවින් අල්ලා ගැනීම ඉතාම දුෂ්කර කටයුත්තක් විය. හේ මංපැහැරීමකින් පසු අතුරුදන් වූ අතර, බොහෝ විට ඔහුගේ නවාතැන බවට පත්වූයේ අප මේ කියන උතුවන්කන්ද හා ඒ වනාන්තර ප්‍රදේශය හා කඩුගන්නාව දුර්ගයේ පැවති වනාන්තර ප්‍රදේශය බව කියනු ලැබේ. කොටින්ම සරදියල් උතුවන්කන්දේ තම අණසක පතුරුවාගෙන ජීවත්ව සිට ඇති අතර, විටෙක ඔහුගේ නවාතැන බවට පත්ව තිබී ඇත්තේ එහි පවතින ගල් ගුහා වේ. කෙසේ හෝ උපක්‍රමානුකුලව ඉංග්‍රීසීන් විසින් අටවන ලද උගුලකට සරදියල් හසුවන්නේ ඔහුගේ සමීපතම මිතුරකු විසින් ඉංග්‍රීසීන්ට ලබාදෙන ඔත්තුවක් නිසා බව කියනු ලැබේ. ඒ අනුව උතුවන්කන්දේ වීරයා ඉංග්‍රීසීන් විසින් අත්අඩංගුවට ගනු ලබන අතර, බෝගම්බර හිරගෙදර විශේෂ කුටියක තාවකාලිකව රඳවා තබා පසුව විශේෂ ජූරි සභාවක් ඉදිරියේ නඩු අසා අධිකරණ නියෝග මත එල්ලා මරාදමනු ලැබේ. ඒ 1864 මැයි මස 7 වැනිදාය. ඔහු අත්අඩංගුවට පත්වන මොහොතේ සිදුවූ වෙඩිතැබීම් අතරතුර රජයේ පොලිස් හමුදාවේ සෙබළෙකු වූ ශබාබ් යන අය වෙඩි වැදී මිය ගියේය. ඔහු රාජකාරියක් අතර තුර මිය ගිය ශ්‍රී ලංකාවේ පළමු පොලිස් නිලධාරියාය.

සරදියල් රජ කළ උතුවන්කන්ද

කෙසේ හෝ සරදියල් බලකොටුව නොහොත් “සරදියල්ගේ උතුවන්කන්ද” මෙතැන් පටන් තනිවන අතර, ක්‍රමයෙන් එය ප්‍රකට තැනක් බවට පත්විය. උතුවන්කන්ද නම් ගම්මානයද මේ නිසා ඉතා ප්‍රකට ප්‍රදේශයක් බවට පත්විය. කොළඹ-මහනුවර මාර්ගයේ ගමන් ගන්නා කවරකුට වුවද මතකයට එබිකම් කරන උතුවන්කන්ද, දකින හැම මොහොතකම අපට සිහිපත්වන්නේ “ශ්‍රී ලංකාවේ රොබින්හුඩ්” නැතහොත් “සරදියල්” චරිතයයි.

සැබවින්ම සංචාරකයින් මෙම හුදකලා කඳු ගැටය තරණය කරන්නට පැමිණෙන්නේ මේ අතීත කතාව නිසාමය. කොළඹ සිට මහනුවර දෙසට බස් රථයකින් හෝ වෙනත් පුද්ගලික රථයකින් ගමන් ගන්නා විට කෑගල්ල- මාවනැල්ල අතර ප්‍රදේශයේ මහාමාර්ගයට කෙළින්ම ඉහළින් උතුවන්කන්ද හොඳින් දර්ශනය වන අතර, මාවනැල්ල පසුකර කොළඹ දෙසට පල්ලම් බැස යන විටද දකුණු පසින් උතුවන්කන්ද දැකගන්නට ලැබේ. පෙර අප පැවසූ පරිදි බලන කොටුව ප්‍රදේශයටද උතුවන්කන්ද ඉතා හොඳින් දර්ශනය වේ. දුම්රියේ නැගී බලන හරහා ගමන් ගන්නා විට නැගෙනහිර අහසේ ඈතින් බතලේගල, තවත් දකුණින් උතුවන්කන්ද හා ඊටත් දකුණින් අලගල්ල දර්ශනය වේ. අප දකින මෙකී කඳු මුදුන් මත කවදා හෝ අපගේ පා සටහන් තබන්නට ඇත්නම් යයි අපේ සිත් එදා අපට මුමුණා කියූ රහස් දැන් එකින් එක සැබෑ වෙමින් පවතින අතර අප දැන් සූදානම් වන්නේ එකී මාවනැල්ලේ උතුවන්කන්ද තරණය කිරීම සඳහාය.

සරදියල් රජ කළ උතුවන්කන්ද

උතුවන්කන්ද හන්දියෙන් බටහිර දෙසට වැටී ඇති මාර්ගයේ මඳ දුරක් ගියවිට වම් පසින් උතුවන්කන්ද හොඳින් දර්ශනය වන්නට පටන් ගනී. ඒ දකුණු පසින් කුඩා කඳු ගැටයක් මත ඇත්තේ ප්‍රකට වෛද්‍යවරයකු විසින් තම පුද්ගලික ධනයෙන් ගොඩනගන්නට යෙදුණු සරදියල් ගම්මානය නම් ආකෘතික ගම්මානයයි. මෙය ගොඩනැගූ හිත හොඳ වෛද්‍යවරයා හා කලාකාරයා අද අප අතර නැත.

උතුවන්කන්ද ගම්මානයේ කන්ද පිහිටි ඉසව්වට පැමිණි අප, එහි පසෙක අපගේ රථය නවතා තුරු වදුල මැදින් උතුවන්කන්ද තරණය ආරම්භ කරන ලද අතර, මඳ වේලාවකින් එහි මධ්‍ය ප්‍රදේශයට ළඟා වූයේ මරු කපොල්ලක් වැනි ඉතා පටු හා අඩි දෙතුන් සියයක පාතාලයක් වැනි අනතුරුදායක තැනක් පසුකරමිනි. එම ස්ථානය ආරක්ෂිතව සංවර්ධනය කර සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීම උතුවන්කන්ද අයත් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ වගකීමක් වන නමුත් ඔවුන් එම වගකීම ඉටු කර නොමැත්තේ සහ ඉටු නොකරන්නේ ඇයිද යන්න අපට මහත් ගැටලුවකි.

සරදියල් රජ කළ උතුවන්කන්ද

කෙසේ හෝ කන්දේ මධ්‍ය ප්‍රදේශය නම් එතරම් අනතුරුදායක ප්‍රදේශයක් නොවේ. ගල් ගෙඩි ලෙස පිහිටි එහි වැඩි පිරිසකට එකවර රැඳී සිටිය හැකිය. එනමුත් කඳු මුදුන සමන්විත වන්නේ කෘත්‍රිමව සිටවූවා වැනි ගල් පිහිටීමකිනි. එනම්, යෝධ ගල් කුළක් මෙහි මස්තකයේ පිහිටා ඇති අතර, ඒ මතද ස්වභාවිකව නිර්මාණය වූ තවත් ගල් ස්ථම්භ කිහිපයක්ම වේ. ඉතා අපහසුවෙන් මේ සියල්ලම තරණය කර මස්තකයටම නගින පිරිස් සිටියද ඇතැමුන් ප්‍රධාන ගල් කුළ පාමුළින් උතුවන්කන්දේ සංචාරය කෙළවර කරනු ලැබේ. ඒ අවසන් මස්තක ගල් කුළ තරණය කරන්නට ඇති අපහසුතාව නිසාමය. ඒ කොහොම වුවත් මේ අපූරු ශේෂ ගල්කන්ද මුදුනට ළඟාවූ විට “මහනුවර ගෙවතුවලින් – Kandyan Home Gardens” පොහොසත් වටාපිටාව අපට සිත්සේ විඳගත හැකිය. මන්ද, ගම්මිරිස්, වැනිලා, කෝපි, කොකෝවා, පුවක්, කිතුල් වැනි ශාක බහුල ශාක වියන සහිත හරිත තීරයක් ඒ අවට දැකගත හැකි නිසාය. මේ තුරු වියන මැදින් ඈතින් තැන තැන තල මල පිපී ඇති අයුරුද දැකගත හැකිය.

උතුවන්කන්ද තරණය කළ අප කණ්ඩායමේ සාමාජිකයින් ඉතා අපහසුවෙන් නමුත් පස්වනක් පිනා ගිය ප්‍රීතියෙන් එහි කූඨය දක්වාම නැග අපගේ පාසටහන් එහි සලකුණු කළ බව සටහන් කරන්නේ ආඩම්බරයෙනි. ඔබට මතක නම්, බලන කොටු පවුර මත සිට හිරු බැස යන සැන්දෑවේ අප ගත් උතුවන්කන්දේ ඡායාරූපයේ මස්තකය මත දැන් මේ මොහොතේ අපි ජීවමානව නැගී සිටින්නෙමු.

නගිමු බතලේගල ලබන සතියේ…

ජගත් කණහැරආරච්චි
චාරිකා සහාය හර්ෂණ ජයතිලක, රවී ද සිල්වා සහ චරිත් දෙමටම්පිටිය.
ඡායාරූප – හෙරිටේජ් ලංකා
Photography

Email අදහස් – [email protected]/ සංචාර – [email protected] – FB – www.facebook.com/heritagelanka

advertistmentadvertistment
advertistmentadvertistment