සරදියෙල්ගේ සිට මතුගම ශාන් දක්වා… (පාතාලය පිළිබඳ වෝහාරික විගණනයකි.)

1725

අවුරුදු 100 ට පෙර අපේ ජනසමාජයේ සිටි අහිංසක නූගත් මිනිස්සු පාතාලය යන වචනය අසා තිබුණේ පතල් දෙකක් ආශ‍්‍රයෙන් පමණි. ඉන් පළමුවැන්න කහටගහ පතල ය. දෙවැන්න බෝගල පතල ය. මේ දෙකම මිනිරන් පතල් ය. මීට අවුරුදු 40 ට පමණ පෙර මේ රටේ පාතාලය බිහිවිය. එහි වැසියෝ ප‍්‍රචණ්ඩ දාමරිකයෝ ය. කොන්ත‍්‍රාත් මිනීමරුවෝ ය. මත්ද්‍රව්‍ය වෙළෙන්දෝය. ස්ත‍්‍රී දූෂකයෝය. එකල මේ රටේ මිනිස්සු දැන සිටි ප‍්‍රමුඛතම පාතාලකාරයා, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ දේශපාලන ආධාරකාරයකු වූද, ස්ත‍්‍රී දූෂණයක් සම්බන්ධයෙන් හිරේ ලගිමින් සිටියදී විශේෂ ජනාධිපති සමාව ලැබ නිදහස් වී සාමවිනිසුරු පදවියකින් පිදුම්ලත් ගෝනවල සුනිල් මැතිතුමා ය. එහෙත් ඉතිහාසය වඩාත් වෝහාරික ලෙස විගණනය කරන විට පෙනී යන්නේ උතුවන්කන්දේ සරදියෙල් අප්පුද පාතාල සාමාජිකයකු බවයි. සමහරු ඔහු ජාතික වීරයකු ලෙස දැකීමට උත්සහ කරති. එයට හේතුවක් තිබේ. සරදියෙල් ධනවත් සුද්දන්ගෙන් ධනය කොල්ලකා තමනුත් හොඳට කා බී කන්නට බැරි හරිය දුප්පතුන් අතර බෙදුවේය. මෙකල සිටින පාතාල කෙරුමෝ ද එයම කරති. මධූෂ් කුඩු වික්කාට එයින් ලැබුණු ආදායමෙන් සෑහෙන කොටසක් ඔහුගේ කුඩු විකුණා හිරේ ගිය අයගේ දරු පවුල්වලට බෙදුවේය. මෙය අපරාධ යාන්ත‍්‍රණයේ ස්වරූපයයි. පාතාල ප‍්‍රධානියා යම රජු වැනි කෙනෙකි. ඔහුගේ ලෝකයේ ජනතාව යමපල්ලෝය. ආණ්ඩුව කොහොම හිතුවත් පාතාලය ඉතා ඉහළින් වර්ධනය වීමට පටන්ගෙන තිබේ. එම වර්ධනය අඩි දහස් ගණනක් ගැඹුරු බෝගල පතලට වඩා අඳුරු ය. අඩි දහස් ගණනක් ගැඹුරු කහටගහ පතලට වඩා ගැඹුරු ය. පසුගිය කාලයේදී නියෝජ්‍ය පොලිස්පතිවරයකුව සිටි අපරාධ ලූහු බඳින්නකු දිනක් අපට පැවසුවේ මෙකල සිටින පාතාල දාමරිකයන්ට වඩා වෘත්තීය තත්ත්වයක් මීට අවුරුදු 50 ට පෙර සිටි පාතාල දාමරිකයන්ට තිබූ බවය. මෙහිදී අඩ සියවසකට පෙර මෙරට සිටි ප‍්‍රමුඛ කොල්ලකරුවකු වූ කියුටෙක්ස් පියදාස දැක්විය හැකිය. ඔහු කිසියම් මංකොල්ලයකට යනවිට තම සහචරයන් සියලූ දෙනාම පිස්තෝලවලින් සන්නද්ධ කළේය. ඒ හැම පිස්තෝලයක් තුළම තිබුණේ පුස් වෙඩි උණ්ඩ ය. ඒවායින් හඬ මිස මූනිස්සම් නිකුත් වුණේ නැත. කියුටෙක්ස් පියදාස අත තිබූ පිස්තෝලය තුළ පමණක් නියම ජීව උණ්ඩ තිබිණි. තමන් අත ඇති පිස්තෝලවල වූ උණ්ඩ පුස් වෙඩි බව සහචරයෝ නොදත්හ. මේ ක‍්‍රියාවලියට හේතුව ලෙස කියුටෙක්ස් පියදාස මෙවැනි අදහසක් දක්වයි. මංකොල්ලයකදී හදිසි තත්ත්වයක් මතු වූ විට සහචරයෝ බියට සහ කලබලයට පත්ව හතර අතේ වෙඩි තබන්නට පටන් ගනිති. එවිට පිස්තෝල තුළ ජීව උණ්ඩ තිබුණේ නම් අහිංසක ගැහැනු ද ළමයි ද විශාල වශයෙන් මිය යති. ඕනෑම මංකොල්ලයකදී හටගන්නා සාංග‍්‍රාමික තත්ත්වයක් කළමනාකරණය කිරීමට තමන් අත වූ ජීව උණ්ඩ සහිත තනි පිස්තෝලය මගින් හැකි බව කියුටෙක්ස් පියදාස විශ්වාස කළේය. ඒ නිසා ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රහාරයකදී ඔහු තනිවම ඉලක්කය ගත්තේය. මංකොල්ලයක් යනු හරි වැඩක් නොවේ. එහෙත් වෘත්තීය මංකොල්ලකරුවකු වූ කියුටෙක්ස් පියදාස මංකොල්ලකෑවත් එය හරියට කළ බව පෙනේ. ඔහු අවස්ථා ගණනාවකදී හිරේ ගියේය. ඔහු තබා තිබුණේ උතුවන්කන්දේ සරදියෙල්, මරදන්කඩවල යකඩයා, නවරියන්, චීනා, වටරැක ජයසුන්දර, ගම්පහ මුනිදාස යන ඉතා දරුණු අපරාධකාරයන් රඳවා තිබූ මහර හිරගෙදර අධි ආරක්ෂක කුටියක ය. පසුගියදා මතුගමදී ඇතිවුණු වෙඩි තැබීමේදී මියගිය තිදරු මව ඉලක්කය පමණක් නොව හතර වටේම විනාශ කරමින් වෙඩි තබන පාතාල බූරුවන් පිරිසකගේ ගොදුරකි. ශාන් නමැති මතුගම පාතාල නායකයාට වැඩ කරන මේ සිකනලූන් පිරිසට මැරීමට අවශ්‍ය වුණේ ගෙදර මහ මිනිහා ය. එහෙත් ඔවුන් ඒ ගේ පැත්තට එන්නේ දිගටම වෙඩි තබාගෙන ය. මේ නිසා අද කුඩා දරුවන් තිදෙනකුට මව අහිමිව ඇත.

සාමාන්‍ය වශයෙන් ගත්කල හැමදාමත් පාතාල නායකයකු මරනු ලැබේ. එහෙත් ඊළඟ දවසෙත් මරන්නට එකෙක් ඉතිරි වේ. අපට හැෙඟන පරිදි ඉදිරි අවුරුදු 10 ම දිනපතා පාතාලයන් එකා බැගින් මැරුවද තවත් මරන්නට බඩු ඉතිරි වී තිබේ. මෙකල පාතාල දාමරිකයෝ ඉතා කෲරය. මීට දෙදිනකට පෙර වෙඩි කා මියගිය නීලක නමැති පාතාල දාමරිකයා සිය බිරියගේ අත පය කැබලිවලට කැපුවේය. ඉන්පසු සිය දරුවා පැහැර ගත්තේය. කොස් මල්ලී නමැති සිය ප‍්‍රතිවාදියාගේ බෙල්ල කපා මරණ හැටි මධූෂ් ඩුබායි සිට වීඩියෝ කෝල් එකකින් නැරඹුවේය. ඒ අතර මතුගම ශාන් හිරේ සිටියදී ඔහුගේ ගෝලයන් විසින් ස්වකීය ප‍්‍රතිවාදියකු මැරීමට වෙඩි තබන හැටි ජංගම දුරකතනයෙන් අසා සිටියේය. දෙමටගොඩ රුවන් නමැති පාතාල නායකයාගේ රුපියල් කෝටි 79 ක දේපල දැනටමත් රාජසන්තක කර තිබේ. ඔහු සතුව මොන්ටෙරෝ එකක්, ලෑන්ඞ් රෝවර් රියක්, රේන්ජ් රෝවර් රියක් සහ බී එම් ඩබ්ලිව් කාර් එකක් ඇත. දෙමටගොඩ රුවන් ලා ස්වකීය ජීවිත පටන්ගෙන තිබුණේ හොටු පෙරාගෙන හිත මිතුරන්ගේ බත් පාර්සල්වලින් කුසගිනි නිවා ගනිමිනි. මධුෂ් සතුව අප‍්‍රමාණ දේපලක් තිබේ. වෙලේ සුදා සතුව ද කෝටි සිය ගණනක දේපල ඇතත් ඒවා සියල්ල වෙනත් නම්වලින් තිබෙන බව දැනගන්නට ඇත. කුඩු විකුණා, මිනී මරා, ස්ත‍්‍රී දූෂණ කර හිරේ යන ඇතැම් පාතාල දාමරිකයෝ ඔවුන් සම්බන්ධයෙන් පුවත්පත්වල ලිපි පළවූ කල්හි තමාට එමගින් අපහාස වූ බව කියමින් නඩු දැමීමට තැත් කරති. මෙවැනි නඩුවක් ‘දිවයින’ට එරෙහිව ගොනු කිරීමට මෙයට කලකට පෙර තැත් කළේය. එහි අර්ථය වන්නේ මේ රටේ අපරාධ කර්මාන්තය තරමටම ඉහළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද තිබෙන බවය.

පාතාල සාමාජිකයන් නීති විරෝධී ලෙස රැස් කරන මුදල් සහ දේපල රාජසන්තක කළ පරිදි මහ බැංකුව කැඩූ බැඳුම්කර සොරුන් සතුව තිබෙන දේපලද සුදු ලූනු හොරුන් නීති විරෝධීව එක්රැස් කරගත් දේපලද රාජසන්තක කිරීමට ආණ්ඩුව පියවර නොගන්නේ ඇයි? සමහරවිට එය ඇඳුමේ ප‍්‍රශ්නයක් විය හැකිය. බැඳුම්කර හොරු අඳින්නේ කලිසම් කෝට්ය. සුදු ලූනු හොරු ජාතික ඇඳුම් අඳිති.

මධූෂ් ලා සහ රුවන් ලා වැඩ කරන්නේ කැෂුවල් කිට් එකෙනි. සමහරවිට එය ඩෙනිමක් සහ ස්කිනියකි. එහෙම නැත්නම් ෂෝටක් සහ අත්කොට කමිසයකි. මේවා සියල්ල බ‍්‍රෑන්ඞ්ඩඞ් ඇඳුම් ය. මෙවැනි ඩෙනිමක් විකුණා ලබන මුදලින් සාමාන්‍ය පවුලකට මාසයක් ජීවත් විය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment