සරලව දිවුරපු රනිල්ට මෛත්‍රීගෙන් උණුසුම් හාදුවක්

563

මෙරට විධායක ජනාධිපතිවරුන් කිහිපදෙනෙකුම දිව්රුම් දුන් ආකාරය අටවැනි විධයක ජනාධිපති ලෙස රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතාගේ දිව්රුම් දුන් උත්සව අවස්ථාවේ දී අපට දැක ගැනීමට නොහැකි විය.

ඒ වෙනුවට ඉතා චාම් සහ සරල ලෙස අවශ්‍යම නිල කටයුතු පමණක් ඉතා පිළිවෙළකට සහ ගාම්භීර ලෙස ඉටු කෙරෙන ආකාරය දක්නට ලැබුණු අතර එම කටයුතු ද විනාඩි කිහිපයකදී නිමාවට පත්වීම විශේෂත්වයකි.

වෙනදා මෙවැනි අවස්ථාවක දී පෙර ගමන් සහ පරිවාරක රථ, අශ්වාරෝහකයින්, ආචාර වෙඩි මුර, ජය සක්, බෙර හඬ පසුබිම් ඇසුණ ද ඊයේ එවැනි දේ දුලභ විය.

මෙරට නව අනුප්‍රාප්තික විධායක ජනාධිපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙහි දිව්රුම් දීම වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන ආචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග ඊයේ (21) පෙරවරු 09.50 පමණ වන විට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ළඟා විය.

පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරිපිට දී රතු පළස මතදී එම දෙදෙනා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ එම මහත්මිය විසින් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූහ. අනතුරුව වික්‍රමසිංහ මහත්මිය තම සැමියා වෙත පැවරුණු ඉතා භාරදූර කටයුත්තෙහි සමාරම්භක අවස්ථාවට ඉඩ සලසමින් එම ස්ථානයෙන් මදක් ඉවත්ව උත්සව ශාලාව වෙත පිය මනිනු ලැබුවේ රැස්ව සිටි සියලු දෙනාට සුහදත්වය ද පළ කරමිනි.

ඒ අතරතුර නව ජනාධිපති වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව විසින් පිරිනමනු ලබන උත්තමාචාරය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගනු ලැබූ අතර පසුබිමින් ජාතික ගීය ද වාදනය කෙරිණි. ඉනික්බිතිව නව ජනාධිපතිවරයා කථානායක සමගින් රතුපළස මතින්ම දිව්රුම් දෙන ස්ථානය වෙත ගමන් කළේය.

පසුව පෙරවරු 10.05ට එළඹුණු සුබ මොහොතින් රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඊට සාක්ෂි ලෙස කථානායකවරයා ද ඔහුගේ වම්පසින් විය.

ඔහු දිවුරුම් දීම සිදු කරනු ලැබූ ස්ථානයේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ඡායාරූපයක් ද දිස්වීම නව ජනාධිපතිවරයාට කරනු ලැබූ ආශිර්වාදයක් ලෙස ද දිස්විය.

ජනපති ලෙස දිව්රුම් දීමෙන් පසුව සිය බිරිඳ වෙත උණුසුම් හාද්දක් දෙමින් සතුට පළ කරමින් මෙම අවස්ථාව දැක බලා ගැනීමට පැමිණ සිටි පිරිසට මෙන්ම සිය පාර්ලිමේන්තු සගයන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසකට ද ඔහු සිය ආචාරය පුද කළේය.

මේ අතර නව ජනාධිපතිවරයා දිව්රුම් දීමට සූදානමින් සිටියදී පාර්ලිමේන්තුවේ ඊයේ විදුලිය හදිසි බිඳ වැටීමක් වුවද වික්‍රමසිංහ මහතා එය සිය පයට පෑගුණු දූවිල්ලක් තරමටවත් නොසිතා සිය දිව්රුම් දීම සිදු කරනු ලැබුවේ සිය දේශපාලන ගමන් මගෙහි ලද බාධක නොසැලකූ ආකාරයටමය.

මෙරට මුහුණ පා ඇති වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීමට අභීතව පෙරට පැමිණ දුෂ්කර අභියෝගය භාර ගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ එම දිවුරුම් දීමේ කටයුත්ත සමාප්ත කරනු ලැබුවේ පෙර දවස එවැනි නායකයන් දිව්රුම් දෙන විට අනුගමනය නොකළ ඉතා සරල මතකයන් ඉතිරි කරමිනි.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment