සරසවි ආචාර්යවරු පිරිසක් ද්විත්ව රැගුමක: කෝටි 100 ක් ගිලලා – විගණනයෙන් හෙළිවෙයි

818

“දැනුම යාවත්කාලීන” කරගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබාදෙන වැටුප් සහිත වාර්ෂික නිවාඩුව (සප්ත වාර්ෂිකය) සමයේදී ඇතැම් අය වෙනත් විශ්වවිද්‍යාලයක උගන්වමින් වැටුප් හා දීමනා ගනිමින් ඉකුත් වසර විස්සක කාලයේදී මහා භාණ්ඩාගාරයට අහිමි කර ඇති මුදල රුපියල් කෝටි සියය ඉක්මවා ඇතැයි රජයේ විගණනයේදී හෙළි වී තිබේ.

වාර්ෂික විගණන වාර්තා මගින් මේ පිළිබඳ කරුණු පෙන්වා දුන්නත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල පාලක සභා එම තත්ත්වය පාලනය කිරීමට සුදුසු පියවර ගෙන නැතැයි ද රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීහු කියා සිටිති.

1981 විශ්වවිද්‍යාල පනතට ප්‍රකාරව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන් ඇතුළු පාර්ශ්ව ගණනාවකට ඔවුනගේ දැනුම වර්ධනය කරගැනීම සඳහා වසර හතකට වරක් මෙම “සප්තවාර්ෂික” වැටුප් සහිත වාර්ෂික නිවාඩුවක් ලබාගැනීමට හිමිකම ලැබී ඇත.

නමුත් මෙරට දැනට ස්ථාපිත විශ්වවිද්‍යාල විසිඅටක හා විශ්වවිද්‍යාල විද්‍යායතනවලට අනුයුක්ත ආචාර්යවරුන් දැනුම යාවත්කාලීන කරගැනීම සඳහා ලබාදෙන එම වැටුප් සහිත වාර්ෂික නිවාඩුව වෙනත් විශ්වවිද්‍යාලවල ඉගැන්වීම්වල නිරත වෙමින් දෙවරක් වැටුප් හා අනෙකුත් දීමනාවලට හිමිකම් කියන්නට පුරුදු වී සිටින බව රජයේ විගණනයේදී තහවුරු වී ඇත.

මෙය රටකට දරාගත නොහැකි නාස්තිකාර හා නීති විරෝධී ගෙවීම් බවට රජයේ වාර්ෂික විගණන වාර්තා මගින් පුන පුනා සඳහන් කර තිබුණත් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව හෝ විශ්වවිද්‍යාල පාලක සභා කිසිදු පියවරක් ගෙන නැතැයි ද රජයේ විගණන නිලධාරීහු කියා සිටිති.

විශ්වවිද්‍යාල විසිඅටක ආචාර්යවරුන් දෙසීය අසූවක් පමණ වසරකට වතාවක් “සප්ත වාර්ෂික” නිවාඩුව ලබාගන්නා බවත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 160ක් පමණ ද වැටුප් සහිත වාර්ෂික නිවාඩුව ලබාගෙන ඒ වසරේ “දනුම යාවත්කාලීන” කර ගැනීම පසෙක තබා වෙනත් විශ්වවිද්‍යාලයකට අනුයුක්තව වාර්ෂිකව නිවාඩුවත්, එම විශ්වවිද්‍යාලයේ වැටුප් හා දීමනා ආදියත් ලබාගෙන ඇති බවත් විගණන වාර්ෂික වාර්තා මගින් පෙන්වාදී ඇත.

විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්, විශ්වවිද්‍යාල මුල්‍යාධිකාරිවරුන්, ලේඛකාධිකාරිවරුන්, නියෝජ්‍ය ලේඛකාධිකාරිවරුන්, සහකාර ලේඛකාධිකාරිවරුන් පමණක් නොව අනධ්‍යයන කාර්ය මණ්ඩලවල ඇතැම් අය මෙම “සප්ත වාර්ෂික” වැටුප් සහිත වාර්ෂික නිවාඩුව මේ ආකාරයට භාවිතා කිරීමට පෙළඹී සිටින බව විගණනවලදී හෙළි වී තිබේ.

විශ්වවිද්‍යාලවල පුස්තකාලයාධිපති, නියෝජ්‍ය හා සහකාර පුස්තකාලයාධිපතිවරුන් ද ආචාර්යවරුන් ලෙස අධ්‍යයන දීමනා ලබන බව ද හෙළි වී තිබේ.

මේ වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මසකට රුපියල් ලක්ෂ තුන හතරක වැටුප් හා දීමනා ලබන බව ද රජයේ විගණන නිලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ ලෝකයේ ඕනෑම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබාදෙන “සප්ත වාර්ෂික” නිවාඩුව මත මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් හිමි වී ඇති බවයි.

ඒ අනුව ඔවුනගේ දැනුම යාවත්කාලීන කර ගැනීමට අදාළ වැටුප් සහිත නිවාඩු වසරේදී මෙරට වෙනත් විශ්වවිද්‍යාලයක හෝ විදේශ විශ්වවිද්‍යාලයක හෝ ඉගැන්වීම්වල නිරත විය හැකි බව ද කීය. එසේ නොමැති නම් තමාගේම පර්යේෂණයක නිරත විය හැකි බව ද ඒ මහතා කීය. විගණනයේදී කුමන කරුණු සඳහන් කළත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මේ අවස්ථාව හිමි වී තිබෙන බව ද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment