සරසවි සඳැස 02

446

සඳැස් කවියට හුරු වීම තරමක් දුෂ්කර කටයුත්තකි- නිතර නිතර ඇබෑසියෙහි යෙදීමත් ලියන්නට තැත් කරන විරිතින් ම කවි ගය ගයා විරිතට කන හුරු කිරීමත් ඉතා වැදගත් වේ- උසස් පෙළට ඉගෙන ගන්නා සිසු දරුවන්ගේත් ගුරුවරුන්ගේත් ඉල්ලීම නිසා මෙවර සරසවි සඳැසින් හෙළ හවුලේ කවියන්ගේ වෙසෙස් ලකුණු ගැන කතාබහ කරමි- එමෙන්ම හෙළ හවුලේ කවියන් භාවිත කළ විරිත් කිහිපයක් ගැන අවධානය යොමු කරමි- උසස් පෙළට නියමිත කුමරතුඟු මුනිදසුන්, රැපියෙල් තෙන්නකෝන්, අරිසෙන් අහුබුදු වැනි කවීන් ගේ රැසැයුම් පිළිබඳව අවධානය යොමු කිරීමෙන් සිසු දරුවන් ගේ කිවි සවිය ද වැඩෙනු ඇත- කවි පැබැඳුම පිළිබඳව කුමරතුඟු මුනිදසුන් ගේ ආකල්පය පහසුවෙන් වටහා ගැනීමට ඉවහල් වන කවියක් විරිත් වැකිය ගතෙහි ඇත-

සිත නිදහස් කරන හොඳම
ගුරු කම කව් මඟට වැටුම
එ හෙයිනැතොත් සිය දෑ පෙම
ළ දෙන්නැ කව් ලොවට පුදුම

පරගැති බවින් නිදහස් වීම උස් කොට සලකන හෙළ හවුලේ කවියෝ දෑ නිදහස පුළුල් අරුතකින් හඳුනා ගත් හ- මානසිකව ලබන නිදහස සැබෑ නිදහස ලෙසත් ඒ නිදහස ලබන පහසු ම මඟ කවි පැබැඳුම බවත් ඔවුන් ගේ අදහස විය- සිය බස පර බස් හා මුසු වීම පරගැති බවේ ලකුණක් ලෙස සැලැකූ ඔවුහු මුසු බස පිළිකෙව් කළහ- හුදු හෙළ බසට නැඹුරු වූ කුමරතුඟුවෝ වියත් වහර ඇගැයූ හ- එහෙත් රැපියෙල් තෙන්නකෝන් වඩාත් නැඹුරු වූයේ ගැමි බසට යි- කුමරතුඟුහු වැසි අරුත උස් කොට සැලැකූ හ-

කව් දෙව් උයනෙහි
වැසි’රුත නව වසත් වත්
නිසි අරුත සරා
කල සදිසි, දිසි අරුත නියඟෙව්-
(විරිත් වැකිය – අරුත් විට)

දිසි, නිසි, වැසි ලෙස අරුත් තෙවගෙකි- වදනක නිකම් ම අඳුනාගත හැකි අරුත දිසි අරුත යි- එහෙත් පදයට උරුම අරුතට බැහැරින් වූ අරුත සලකන විට නිසි අරුත මතු වේ- නිසි අරුත අඳුනා ගැනෙනුයේ පද සැසැඳීමෙනි- වැසි අරුත නම් වැසූ අරුත යි- කුකුළා හඬ ලයි කී කල දිසි අරුත පැහැදිලි ය- එහි නොයෙක් වැසි අරුත් තිබිය හැකියි-

එළිවැට සහිත පැදි දිගින් දිගට ම යෙදීමත් කියැවීමත් ඇසීමත් වෙහෙසකර බව අපේ පැරැණි අසුන් කව් ගතෙහි තෙන්නකෝන් සඳහන් කරයි- ඔහු ගී විරිත්වලට පිය බවක් දක්වනුයේ එබැවිනි- තෙන්නකෝන් ගී විරිත, පියුම් ගී සහ උමතු ගී සිය කව් රැසැයුමට බෙහෙවින් යොදා ගත්තේ ය-

● ගී විරිත 9, 11, 11, 11-

පළමු පියෙහි මත් නවයක් ද සෙසු තෙපියෙහි ම මත් එකළොස බැගින් ද තබා පැබැඳීම ගී විරිත යි-

● ගජ ගැමි ගී 8, 11, 11, 11-

පළමු පියෙහි මත් අටක් ද සෙසු තෙපියෙහි ම මත් එකළොස බැගින් ද තැබීම ගජ ගැමි විරිත යි- මේ අනුව ගී විරිතේ පළමු පියෙහි මත් නවයක් ද ගජ ගැමි විරිතේ පළමු පියෙහි මත් අටක් ද තිබීම පමණි මෙහි වෙනස-

වසමැ අට එකළොස් –
සම පෙදෙහි ඇර බව්නෙන්
සම එළි කොටින් බැඳියේ –
ගජ ගැමි නමැයි දන්නේ

ගජ ගැමි විරිත එළි සම කොට බැඳියැ යුතු විරිතක් බව ඉහත ගීයෙන් තහවුරු වන කරුණකි-

● වෙහෙලුලැගි විරිත – මත් 12

මත් 12 න් පබඳින වෙහෙලුලැගි විරිත ආධුනිකයනට කවි පබැඳීමට පහසු විරිතකි- එහි ලුහු, ගුරු නියමයක් නැති හෙයින් පබැඳීමට පහසු ය-

● තෙන්නකෝනුන් ගේ කුකුළු හැවිල්ල

උසස් පෙළ දරුවනට ද වැදගත් වන බැවින් තෙන්නකෝනුන් ගේ කුකුළු හැවිල්ල පිළිබඳ කරුණු කිහිපයක් සටහන් කරමි- තෙන්නකෝනුන් ගේ හැවිල්ල ඔහු ම සකස් කර ගත් දිගු විරිතකින් රසයන ලද්දකි- තම කුකුළකු සොරා ගැනීම නිසා සොවට පත් ගැමි කතක ගේ හැවිල්ල රැසැයීමේ දී සොබාවිකව ම තෙන්නකෝනුනට බස ගලා ආ සැටි කුමරතුඟුවෝ මෙසේ සඳහන් කරති-

“හැවිල්ලෙහි වදන් නිකම් මැ ඇදී අවුත් සිටී- තැත අඹරවා යෙදු තැනෙක් නො පෙනේ- වදන් නො පැකිළැ ගලා එන විට යැ කිවියා ගේ වදන් පති බව ඉඳුරා පසක් වනුයේ”

● කුමරතුඟු මුනිදස්

උසස් පෙළ හදාරන සිසු දරුවන් ගේ වැඩි අවධානය යොමු විය යුත්තේ කුකුළු හැවිල්ලේ බස ගැන යි- එහි නුමුසු වදන් ලියා එකිනෙක අරුත් විමසා බලන්න- නුමුසු වදනින් කුකුළු හැවිල්ල බඳු රැසැයුමක් කිරීමට ඔබත් තැත් කරන්නේ නම් මැනැවි- ගී විරිත, ගජ ගැමි විරිත සහ වෙහෙලුලැගි විරිත යන විරිත්වලින් කවි පබඳින්න- හැම ගුරු දිනකම (අද) රුහුණු සේවය ඔස්සේ හවස 3-00 සිට 4-00 දක්වා සරසවි සඳැස වැඩ සටහනට සවන් දෙන්න-

● ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/ අත්‍ථදස්සි ක- වි-

advertistmentadvertistment
advertistmentadvertistment