සරසවි සඳැස 06

210

වක් පැවැසුම් විදි නවයක් පිළිබඳ ව ඔබට කරුණු ගිය සතියේ ඉදිරිපත් කළෙමි- තවත් වක් පැවැසුම් විදි පහක් හඳුනා ගනිමු-

● ඉහළ පැවැසුම

කිසියම් දෙයක් මහත් කොට එනම්, වැඩි කොට කීම යි ඉහළ පැවැසුමේ දී සිදු වනුයේ-

එ ළඳ හද දෙස ඇස
ලූ මද ගිජිඳු පසු බැස
මහතැ යි තමා හිස
කළ’බිමන් හැරැ-ලී යැ එ විගස

එ ළඳ ගේ හද දෙස ඇස යොමා බැලූ ඇතු පසු බසියි- මෙතෙක් ඇතු සිතා ගෙන සිටියේ තමා ගේ හිස මහත් බව යි- එහෙත් ළඳ ගේ පියොවුරු තම හිසට වඩා මහත් බව දැනැ ගත් පසු ඇතු මානය හැර දමා නිහතමානී වූ බව යි මේ කවියෙන් පැවැසෙනුයේ. ළඳ පියොවුරු විසල් බව වක් මඟින් පැවැසූ අයුරු යි.

● දෙපිට පැවැසුම්

තොල රට මිරිස් කරලක් වැනි යැයි කී කල දෙ පිටක් පැවැසේ- දෙපිට පැවැසුමෙහි දී එකිනෙක සම කරනු පිණිස උපමාවක් යොදා ගත හැකි වීම වෙසෙස් ලකුණකි-

● එපිට පැවැසුම

කිවයුතු දෑ සඳහන් නො කොට ඒ වෙනුවට වෙනත් දෑ යොදා ගනිමින් පැවැසීම එපිට පැවැසුම යි- එපිට පැවැසුමට කදිම නිදසුනක් සැළලිහිණි සඳෙසින් ගත හැකිය-

සුනිල් වලා නව සඳ නිලු’පුල් පබළු
විමල් සක් ගිජිඳු කුඹු සිරිවස බැබැළු
විපුල් පුලින රඹ සිකි ගෙල මුතු ළදළු
ළකල් රන ලියන් සරනා බල යහළු

ලියන් ගේ වරල්, නළල්, නුවන්, තොල්, ආදී කිසිවක් ගැන සඳහන් නො කර සුනිල් වලා, නව සඳ, නිලු’පුල්, පබළු ආදී දෑ පිළිබඳ ව සඳහන් කිරීමෙන් පවසන දෙයට එපිටින් යමක් වක් මඟින් පැවැසෙන බැවින් මෙය එපිට පැවැසුම නමින් හැඳින් වේ.

● යටි පිට පැවැසුම

යටි අරුතක් තබා යමක් පැවැසීම යටි පිට පැවැසුම නමින් හැඳින් වේ.

විල් කල් හඟවා අදර
දිවයුරු කර පහස ලැබැ

විල කතක ලෙස හඟවා ඇය ගේ හිමියා හිරු බව හැඟැ වූ ඉහත පැදිය යටි පිට පැවැසුමට නිදසුනකි.

● රූ පැවැසුම

රූපයක් සිතෙහි සැකැසෙන අයුරින් වදන් සකස් කොට පැවැසීම මෙනමින් ගැනේ- දා ගැබක් ගැන පවසන විට දා ගැබක සොබාව රසික සිතෙහි සිතුවම් කරනුයේ දා ගැබක සොබාවයෙන් වදන් සකස් කිරීමෙනි- මේ විදිය මහගම සේකර වැනි කවියන් භාවිත කළ අතර සංයුක්ත කවි ලෙස ද ඒ කවි හැඳින් වේ.

වක් පැවැසුම් විදි දහ හතරක් ඔබට පැහැදිලි කළෙමි- ඒ වක් පැවැසුම් විදි අයත් වනුයේ අරුත් ලකරට යි- අරුත ලස්සන කිරීමට ඒ විදි භාවිත වේ-

● හඬ ලකර

හඬ ළං ව ළං ව පිහිටීම නිසා හඬ ලකර ඇති වන අතර ඉන් හඬ මිහිර උපදී- එළි වැට ආදිය ඉවහල් වනුයේ මේ හඬ ලකර පිණිස ය- ලකර ගැන නො තැවී අරුත් මිහිරෙන් හද පුබුදුවා ලීම යි කළ යුතු-

● සදුල් කෙළි විරිත : මත් 15

මත් දහයකින් විරාමය තබා මත් පහළොවකින් බඳ හොත් ඒ විරිත සදුල් කෙළි විරිත නම් වේ- මේ විරිතෙහි වෙනත් නියමයන් නැති බැවින් විරාමය තැබීම වැදගත් වේ-

● දිය කේලි විරිත : මත් 15

ලුහු අකුරු හයකින් පසු ව ‘ද’ ගණය සහ ‘න’ ගණය ද අවසානයේ ගුරු අකුරක් ද තබා පැබැඳීම දියකේලි විරිත යි- මේ විරිතෙහි යතිය තැබිය යුත්තේ අට වන අකුරින් පසු ව ය- ජයකේතු නමින් ද මේ විරිත හැඳින් වේ- මේ විරිතෙහි ද මත් 15ක් ඇත-

● දොඹ විරිත : මත් 15

මත් දහයකින් පසු ව ලුහු අකුරක් තබා නැවත මත් තුනකින් පසු ව ලුහු අකුරක් තැබීම දොඹ විරිතෙහි ලකුණු යි- මේ අනුව එකළොස් වන මත සහ පහළොස් වන මත ලුහු අකුරු වේ- දොඹ විරිතෙහි මත් 15ක් ඇත-

ඉහත සඳහන් කළ සදුල් කෙළි, දිය කේලි, දොඹ යන විරිත් තුන ම මත් 15කින් පබඳින විරිත් බව දැන් ඔබට පැහැදිලි ඇති. ඒ විරිත්වලින් වෙන වෙන ම කවි කිහිපයක් බැඳ ගය ගයා සවන් යොමා බැලු ව මැනැවි- ලබන සතියේ ගුරු දින මත් 16 විරිත්

පිළිබඳ ව විස්තර සටහන් කරමි- අද හවස 3-00 සිට 4-00 දක්වා රුහුණු සේවයේ සරසවි සඳැස වැඩ සටහනින් කතා බහ කරනුයේ ද මත් දහසයේ විරිත් පිළිබඳ ව යි.

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/ අත්‍ථදස්සි ක- වි-
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment