සරසවි සඳැස 08 – සමුදුරු ගොස් විරිත

331

දහ අට මත් විරිත් අතරින් වඩාත් බහුල ව භාවිත වූයේ සමුදුරු ගොස් විරිත යි- සමුදුරු ගොස් විරිතින් කවි පබැඳීමට පහසු වීමත් ඒ විරිත කනට හුරු වීමත් මෙතරම් බහුල ව දනන් අතර භාවිත වීමට හේතු ලෙස සැලැකිය හැකිය-

දෙසෙන් අටින් යති – අටළොස් මතින් බඳ හොත්
වේ සමුදුරු ගොස් නම් – නිදසුන් දනු හෙ මෙසේ

මත් දහයකින් සහ අටකින් පසු ව යතිය තැබීම සමුදුරු ගොස් විරිතෙහි ලකුණු යි- එහෙත් මේ යති නියමය ද නො තකා කවීහු කවි පැබැඳූ හ-

නරඟරඟ විරිත

මත් නවයෙන් සහ දහයෙන් යතිය තබා කවි පබඳින විරිත නරඟරඟ නමින් හැඳින් වේ-

මිණිරිළු විරිත

මිණිරිළු විරිත ද මත් දහ නවයෙන් පබඳින විරිතකි- එහෙත් මිණිරිළු විරිත නරඟරඟ විරිතට වඩා මත් ගණනින් සම වූ නමුදු සෙසු විරිත් ලකුණින් බෙහෙවින් වෙනස් ය-

න ගණ ස ගණ විරම් – පිළි නර දෙගුරින් බඳ
මිණිරිළු නමැයි දන්නේ – නිදසුන් එයට මේ වේ

න-ස ගණ දෙකින් ද පසු ව විරාමය තබා නැවැත න – ර ගණදෙකින් පසු ව ගුරු දෙකක් තැබීම යි මිණිරිළු විරිතෙහි ලකුණ වනුයේ-

වියන් විරිත

මේ විරිත විතාන විරිත ලෙස ද හැඳින් වේ- මත් විස්සකින් පබඳින මේ විරිතෙහි ලුහු ගුරු නියමයක් නැත-

නළහව් විරිත

පිය අවසන ය ගණයක් තැබීමත් නව මතින් යතිය තැබීමත් මෙම විරිතෙහි ලකුණු යි-

පුලුපුවක් පිරියෙස ඇරැපෑ ළඳ කිසේනී
බහා හැඳිවත් සම්දැරි පිරදලක සේනී
පනවා රුවන් පිළි දුහුලෙළු නොපෙර සේනී
සිරි ගරහා සහ නිමි සේ බම මෙ සේනී

මෙකවියෙහි අග ය ගණයක් තබා ඇත- ය ගණය යනු මුල ලුහු අකුරක් තබා තවත් ගුරු අකුරු දෙකක් තැබීම යි- හැම පියෙහි ම අග සේනී යන ගුරු දෙකට පෙර ලුහු අකුරක් ඇති හෙයින් පිය අග ය ගණයක් පිහිටා ඇත-

තුරඟරඟ විරිත

නගණ යගණින් යති – පුන යගණින් යති වත්
කෙළතෙහි නගණ යගණින් – තුරඟරඟ නම් වනුයේ
කවි පබැඳීමට හොඳින් හුරු පුරුදු අයකුට මෙවිරිත සුදුසු ය- පියෙහි මුල

න ගණයක් ද පසු ව ය ගණයක් ද තබා යතිය තැබිය යුතුය- යළි ය ගණයක් තබා යතිය තැබිය යුතුයි- යළි න ගණයක් තබා පිය අග ය ගණයක් තැබීමෙනි මෙවිරිතින් කවි පබඳිනුයේ- මෙබඳු විරිත්වලින් කවි පබැඳීමට හුරු වන දරුවෝ නො බෝ කලකින් බසෙහි බුහුටි වෙති- මෙවිරිතින් දරුවනට අනුබල ලැබෙනුයේ රැසැයුම් සවිය වැඩි කර ගැනීමට වඩා වදන් සවිය වැඩුමට යි-

කුසුම්සිරිඟර විරිත

මත් දහයකින් ද නැවැත මත් හයකින් ද එළිය සහ විරාමය යන දෙක ම තැබීම කුසුම් සිරිඟර විරිතෙහි ලකුණු යි- මෙවිරිතින් මිහිරි කවි පබැඳිය හැකියි- ගණ ගැන මන නො යොමන බැවින් සද රසය මෙන් ම අරුත් රසය ද පහසුවෙන් තැබිය හැකිය-

සහ සිරි තඹුරු කැලී, පිරුණු විලී, උපුල් මලී
රමණී ගඟුල් හැලී, හොයළ වැලී, යොහොඹු මැලී
ගිරි නිල් සුපුල් මලී, උඳුල ගලී, කිණිරි මලී
දඟරන් දරණ වැලී, මෙවන කලී, කෙළෙ කුහුලී

කුසුම්සිරිඟර විරිතෙහි මත් 22ක් තිබේ-

කමලා විරිත

කමලා විරිත ස-න-ද-න-බ-ස ගණ හයෙන් යුතුය- මත් හයෙන් හය යතිය තැබිය යුතුයි-

සන දන බස මේ – සගණින් යති වත්,
කෙළතෙහි න ගණ ය ගණින් – තුරඟරඟ නම් වනුයේ

වරලින් ගුලු, කුසුමෙන් බර, ගලසන් කිසි සමතී
නුවනින් රත, ලවනින් සල, මඳ සෝ සුලු තුනිනී
කොකු මෙන් පිසි, තනරන් කිසැ, ගෙලැ දුන් නිය රදිනී
ලිය ගෙන් එන, එළඳුන් හට, මන කා කිසෙ, නොතිනී

සමුදුරු ගොස්, නරඟරඟ, මිණිරිළු, වියන්, නළහව්, තුරඟරඟ, කුසුම්සිරිඟර, කමලා යන විරිත් අටෙන් කවි පබැඳ ඒ ඒ විරිතට හුරු රසය පිරික්සන්න- මේ විරිත් අටෙන් ඔබ පබැඳි කවි ගය ගයා විරිතට කන හුරු කිරීම ද ඉතා වැදගත් වේ- අද හවස තුනේ සිට හතර දක්වා රුහුණු සේවය ඔස්සේ සරසවි සඳැස වැඩ සටහනට සවන් දී ඔබේ කිවි සවිය දියුණු කර ගත හැකිය- නම, පාසල සහ ලිපිනය සඳහන් කර සිහල හවුල, වලහන්දූව උප තැපැල් කාර්යාලය බාරේ, වලහන්දූව යන ලිපිනයට ඔබේ රැසැයුම් එවන්න-

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/ අත්‍ථදස්සි ක- වි-
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment