සරසවි සඳැස 09

345

ඉදිරි කාලයේ සරසවි සඳැස කියලා පොතක් පළ කරන්න අදහසක් තියෙනවා- අදත් විරිත් කිහිපයක් හඳුනා ගනිමු-

සෝදෑමිණි විරිත

අවසන ය ගණයක් තබා මත් විසි දෙකකින් පබඳින විරිත සෝදෑමිණි විරිත යි-

එලෙනා මැ එකස්බා දෝපතෙහි සිනහ ගත්තා
රදවේ හින තනැ දැදුරුම් වෙයින් මුළහ සිත්තා
නරසී එරෙල්ලෙන් දුක් මුහුණින් කඳුළු ගත්තා
පෙරෙවි උවමියහට මෙසේනි කී වඳුරු මුත්තා

දිගෝවිලි විරිත

ලුහු ගුරු නියමයක් නැත- මත් විසි දෙකකින් පබැඳි කල දිගෝවිලි විරිත යි- යතිය තබන තැන් අනියත යි-

දිගහුරු විරිත

මත් අටෙන්, හයෙන් සහ නවයෙන් යතිය තැබීම දිගහුරු විරිතේ ලකුණු යි-

අටින් සයින් නෙවෙන් – තුන් තැන විරම් දුට හොත්
දිගහුරු නමැයි දන්නේ – නිදසුන් එයට මේ වේ
මේ අනුව දිගහුරු විරිතට මත් 23ක් තිබේ-

පමදා විරිත

පමදා විරිතෙහි මත් 25ක් තිබේ- ජ ගණයකින් සහ ගුරු අකුරකින් ද නැවැත ජ ගණයකින් සහ ගුරු අකුරකින් ද, නැවැතත් ජ ගණයකින් සහ ගුරු අකුරකින් ද පසු මත් හතකින් එළිසමය තබා මත් 25කින් යුතු ව මේ විරිතින් කවි පැබැඳීම ලකුණ යි- මෙවිරිත ප්‍රමදා නමින් ද හැඳින් වේ-

යහන් අ රා වියත් අ රා එවෙන් අරා මුහුදු මැඳුරා
උරන් අ රා එපස් ස රා කෙසක් හරා කෙලෙස පවරා
දහම් ස රා වියන් හ රා සතක් කරා විමන් තඹරා
මෙදෙව්ව රා තටා පු රා සිරින් ව රා දියනෙත් පු රා

නුපුන්සඳ විරිත

මත් විසි හයකින් යුතු නුපුන්සඳ විරිත දිගු විරිතකි- මත් දහ අටකින් පසු ව ගුරු දෙකක් තබා පබඳින මේ විරිතෙහි නැවැත අග ද ගුරු දෙකක් ඇත-

අටර මතින් දෙගුරු – යති දෙගුරින් පිරියත
නුපුන්සඳ විරිත් මේ – නිදසුන් මෙලෙස දන්නේ

මේ අනුව මත් විසි දෙකකින් පසු ව යතිය පිහිටීම ලකුණ යි- නුපුන්සඳ විරිතට දුන් නිදසුන් කවිය පිරික්සමු-

පැහැපත් නිල් වරල් සුනිල් කසමල් පැහැ පත්තා සිත්තා
තඹල වනෙහි සුලඹ මඳ සිනෙහි සල ගත්තා ළත්තා
ගඳ ගජනත් වටොර සුරතතුල් හෝපලු පත්තා රත්තා
සුවනබරණිනුදුල ඒ කොමළ ලිය ගී ලත්තා සිත්තා

ගඟහැලි විරිත

න ගණ පහක් සහ ර ගණ දෙකක් ද අවසන ගුරු අකුරක් ද තබා අවසන විරාම දෙකක් ද තබා පබඳින විරිත ගඟහැලි විරිත යි- මේ අනුව ගඟහැලි විරිත මත් විසි හතකින් පබඳින විරිතකි-

සපු සලලි වකුලි මුරුති පියගෙදි නා සුපුල්ලා විසල්ලා
කොඳ කිණිහිරි පුවඟි කොළඹි දොඹි තළා තුමුල්ලා විසල්ලා
පිරි තඹරිඳුවර කුමුදු බිහිලි සරා සිහිල්ලා පිහිල්ලා
මෙකලැ මෙවලැ කෙළි මහිමියනි ඇත මල් කෙහෙල්ලා විසල්ලා

පුණුඅතිපුණු විරිත

මත් විසි අටකින් යුතු වීම යි පුණුඅතිපුණු විරිතෙහි ලකුණ වනුයේ- මේ විරිතෙහි මත් විසි අටක් ඇති බව මිස වෙනත් ලකුණක් එළු සඳැස් ලකුණෙහි සඳහන් නො වේ-

අට විසි මතක් ලා – බඳ පුණුඅතිපුණු නම්

පුණුඅතිපුණු විරිත මත් විසි අටකින් යුතු බව මිස සෙසු ලකුණු නො සඳහන් වුව ද කවියාට ඇවැසි ලෙස සද මිහිරෙන් පිරැවියැ හැකිය-

අණවු දඬු විරිත

තිස් මතින් පබඳින විරිතට අණවුදඬු යන නම එළු සඳැස් ලකුණෙහි සඳහන් වී තිබේ-

තිස්මතිනි බඳ විරම් – තුණෙක් කෙළත සම එළි,
දනු මේ අණවුදඬු නම් – නිදසුන් එයට මේ වේ.

මේ අනුව අණවුදඬු විරිතට විරාම තුනක් ද අවසන සම එළි ද තැබිය යුතුය-

සිසිවට පිරිවෙස් ලෙසුදුල, මුහුල මත පැලඳා සැදූ සොමි පඳ ලා
පැහැසපුදුල රන්පට ටුටු, නළල් තෙලෙහි බැඳා, සොඳ දුහුල් ඇඳ ලා
නලහුයිනවුනා දිය බිඳු, එකවැලෙව් වැලඳා, රන් කොඬල කණ ලා
ගහ තරඟ මුත්හර පුළුලු, උරබිතෙහි පැලඳා, වලඟ මෙවුල දු ලා

දණ්ඩක යනුවෙන් තිබෙන සකු විරිත් ඇසුරෙන් මේ දඬු යන නම පැමිණි බව සිතිය හැකිය- මේ දිගු විරිත්වලින් ද කවි තනා හුරුවීම වැදගත් වේ-

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/ අත්‍ථදස්සි ක- වි-

advertistmentadvertistment
advertistmentadvertistment