සරසවි සඳැස 10

282

සරසවි සඳැස නමින් දිවයින පුවත් පතේ පළ වූ ලිපි පෙළෙහි අවසන් ලිපියයි මේ- මේ ලිපි දහය සරසවි සඳැස නමින් පොතක් ලෙස ලබන මස පළවන අතර සරසවි පොත් හල්වලින් ඔබට එය මිල දී ගත හැකිය- සරසවි සඳැස නමින් රුහුණු සේවයේ කළ වැඩ සටහනද දැන් අවසන් කොට ඇත- සරසවි සඳැස රෙදෙවු වැඩ සටහනට සවන් දීමෙන් ද සරසවි සඳැස නමින් පුවත් පතේ පළ වූ ලිපි කියැවීමෙන් ද කිවි සවිය දියුණු කර ගත් ඔබට සරසවි සඳැස පොත බෙහෙවින් වැදගත් වනු ඇත-

සෙවියත්සර විරිත

මත් දහයකින් පබඳින මේ විරිතෙහි ද – න යන ගණ දෙකින් පසු ගුරු අකුරක් ද ලුහු අකුරකින් පසු ව සෑම පියකම විරාමය ද වේ-

සඳාය නුඹ සදාය – මදාය සර ම දා ය
සඳාය සද ම දා ය – සඳාය වත සදා ය

තිරියත්සර විරිත

තිරියත්සර විරිතෙහි ද මත් දහයක් තිබේ- න ගණ දෙකක් සහ ද ගණයකින් පබැඳීම තිරියත්සර විරිතෙහි දී සිදු වේ-

නනද මෙතුන් ගෙණෙන් – බඳ තිරියත්සර නම්

තිරියත්සර විරිතෙහි ලුහු ගුරු නියමයක් නැත-

බමර මොනර කුලී ය
සුවඳ සුළඟ බලී ය
එළඳ බොළඳ කලී ය
වසද මෙසඳ කලී ය

සිසු දරුවනට න ගණය සහ ද ගණය පහසුවෙන් වටහාගැනීමට ඉඩ සලසනු පිණිස මේ විරිතෙන් ඇබෑසිය දීමට මම හුරුව සිටිමි- ගණ වෙනස අවබෝධ කර ගැනීමට වඩාත් ඉවහල් වනුයේ කෙටි විරිත්වලින් ඇබෑසියෙහි යෙදීමයි-

කඳ විරිත

දස මත්නි බඳ හොත් – කඳ නම් විරිත් මේ වේ

මත් දහයෙන් පබැඳීම කඳ විරිත වන බවයි එළු සඳැස් ලකුණෙහි සඳහන් වනුයේ- ගණ හෝ ලුහු ගුරු නියමයක් එහි නැත-

සිසිකර දිගැ පැතිරී
රා බණ අතැ බැහැරී
මැයි හුන් දෙනා තිරී
වනනැස්දරින් පිරී

අරී විරිත

න ගණ දෙකකින් පසු බ ගණයක් ද ගුරු අකුරකින් ද පැබැඳීම අරී විරිත නම් වේ- අගට තබන ගුරු අකුරත් ඊට පෙර තබන බ ගණයේ මුල ඇති ගුරු අකුරත් හේතුවෙන් අරී විරිත සද මිහිරෙන් යුතුය-

මෙහෙසුරු දිය දී නැමියා
සුරගුරු පැන දී තෙමියා
දිවයුරු තෙද දී බිමියා
බඹ තට දිය දී නිමියා

බිඟුවෙණ විරිත

ස ගණ තුනකින් පබැඳි විට බිඟුවෙණ විරිත යි-

සමතන් සමතන් සරහා
බමරුන් ගිඟුරුම් සරහා
සරහා සරපත් සරහා
වියොවුන් බියවන් සරහා

බුජඟයා විරිත

සනද මෙ තුන් ගෙණෙන් – පස් මතෙකින් සැතපුම්
බුජඟයා නම් වේ – බර මතිනි වෙහෙලුලැඟි

සනද යන ගණ තබා පබඳින මේ විරිතෙහි විරාමය තැබිය යුත්තේ මත් පහකිනි- ස ගණයට මත් හතරක් අයත් බැවින් මත් පහකින් විරාමය තැබීමට නම් ස ගණයෙන් අනතුරු ව තබන න ගණයේ මුල් මතින් විරාමය තැබිය යුතුය-

මියුලීනි නෙත කලීනි
සුපුලීනි වන විලීනි
කෙවිලීනි මත කුලීනි
පියලීනි පිපි මලීනි

ගණ සමඟ විරාමය තබමින් කවි තැනීමට හුරු වන අයකුට මනා පුහුණුවක් ලැබිය හැකි බුජඟයා විරිත රසයෙන් අනූන ය-

සරසවි සඳැස නමින් ලිපි දහයක් පළකළ අතර කවි තැනීමට හුරුවන අයකුට දිරි දෙනු පිණිස විරිත් හතළිහක වෙසෙස් ලකුණු පැහැදු වෙමි- සරසවි සඳැස නමින් රුහුණු සේවයේ කළ වැඩ සටහනද දිවයින පුවත් පතට ලිපි ලිවීමද මෙයින් නිම කරමි-

ඉදිරි කාලයේ සරසවි සහ පාසල්හි දෙසුම් පෙළක් පැවැත්වීමට කටයුතු යොදන අතර එම දෙසුම් හිදී හමුවෙමු- ඔබේ කිවි සවිය වැඩී දැයට මෙහෙ කිරීමට සවි පතමි-

සරසවි සඳැස 10

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment