සර්වපාක්ෂික ආණ්ඩුවකට ජනපති කැමතියි – ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන

228

සුළු ඇමැතිමණ්ඩලයක් සහිත නව අගමැතිවරයකු යටතේ අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (29 දා) පැවසීය. කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

එම පිහිටුවන ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත්කරගැනීම සියලු පක්ෂවල නායකයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාව වෙත පැවරෙන බව ද හිටපු ජනාධිපතිවරයා කීය.

මේ සඳහා සියලු දේශපාලන පක්ෂ වෙත ජනාධිපතිවරයා ආරාධනා කරනු ඇතැයි ද හෙතෙම කීය.

සර්වපාක්ෂික ආණ්ඩුවකට ජනපති කැමතියි -  ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල නායකයින් අතර ඊයේ (29 දා) කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරයා සමග පැය 2ක පමණ සාකච්ඡාවක් පැවැති බව ද ඔහු සඳහන් කළේය.

රටේ පවතින ඉන්ධන, ගෑස්, විදුලිය ඇතුළු තවත් අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳවත්, රටේ ජනතාව පත්ව ඇති පීඩාකාරී තත්ත්වයන්ගෙන් ඔවුන්ව මුදා ගන්නේ කෙසේද? යන්න පිළිබඳවත් ජනාධිපතිවරයා සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ද සිරිසේන මහතා කීය.

වත්මන් රජයට මුක්කු ගැසීමේ බලාපොරොත්තුවක් නොමැති බවත්, රටේ ජනතාව පත්ව ඇති ආර්ථික පීඩනයෙන් මුදා ගැනීම එකම අරමුණ බවත් ඔහු මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුව සඳහා නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සහභාගි වූහ. ජනාධිපති සමග පැවැති සාකච්ඡාව සඳහා ද එම පිරිස සහභාගි වී ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment