සර්වපාක්ෂික ආණ්ඩුවකට යෝජනා 19 ක් ජනපතිට

329

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජාතික නිදහස් පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත වෙන වෙනම යෝජනා දහනවයක් ඉදිරිපත් කර ඇත.

ඉන් යෝජනා නවයක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ද ඉතිරි දහය ජාතික නිදහස් පෙරමුණ විසින් ද ඉදිරිපත් කර තිබේ.

කැබිනට් ඇමැතිවරුන් ගණන 30කට සීමා කිරීම, ඔවුනට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද පමණක් ලබාදීම, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් අමාත්‍යාංශ සඳහා අනුයුක්ත කිරීම, විෂය පිළිබඳ ප්‍රවීණ විද්වතුන්ගෙන් සමන්විත උපදේශන කමිටුවක් පත්කිරීම, ආණ්ඩුවේ ඉදිරි සැලසුම් සකස් කිරීමේ දී අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන් ද සහභාගි කරවා ගැනීම සහ ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ දී ඔවුන්ගේ ද යෝජනා ලබා ගැනීම, හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කිරීම, රට තුළ පවතින ආර්ථික අර්බුද පාලනය කළ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑම ඇතුළු යෝජනා රැසක් එම පක්ෂ දෙක ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යෝජනාවලි දෙකෙහි ඇතුළත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපතිවරයකු වන මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ සාමාජිකයන් පිරිසක් ඉකුත් 28 දා මුදල් අමාත්‍යාංශයේ දී ජනාධිපතිවරයා හමුවූ අතර එහිදී තම යෝජනා සම්බන්ධව ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දැක්වූ බව මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාර්ශ්වයේ නියෝජිත පිරිසක් ද ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත. ශ්‍රීලනිප මෛත්‍රී පිල සමග සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධ නැවත සාකච්ඡාවක් සති දෙකක් ඇතුළත ලබා දෙන බවට ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

සමගි ජනබලවේගය පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් කළ විමසුමේදී සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මේ දක්වා තම පක්‍ෂයට ජනාධිපතිවරයාගෙන් ආරාධනයක් ලැබී නැති බවය.

ආරාධනාවක් ලැබුණහොත් පක්‍ෂය එම සර්ව පාක්‍ෂික ආණ්ඩුවේ සැකසුම සලකා බලා යෝජනා ඉදිරිපත් කිරීමට තීරණයක් ගන්නා බවය.

මේ අතර රජයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂවලට ඉදිරියේදී විවෘත ආරාධනයක් කිරීමට බලාපොරොත්තු වන බවය.

උපාලි ද සේරම්, චමින්ද සිල්වා සහ අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment