සර්වපාක්‍ෂික ආණ්ඩුවක් වෙනුවට ජාතික එකගතා ආණ්ඩුවකට පොහොට්ටුවේ කැමැත්ත

278

‘අවලස්සන ඇමරිකානුවා’ සමග ඊයේ වාඩිවුණේ ඇයි?

සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් වෙනුවට ජාතික එකඟතා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංකල්පමය වශයෙන් එකඟතාව පළ කර ඇත.

රට තුළ පවතින අර්බුද විසඳීම සඳහා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් යෝජනා කළ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව ඉදිරිපත් කළ යෝජනාව අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සමග ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට ඊයේ (02දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නියෝජිතයන් හමුවිය.

මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී. ඇල්. පීරිස්, රමේෂ් පතිරණ. සංජීව එදිරිමාන්න සහ සාගර කාරියවසම් යන මහත්වරු සහභාගි වූහ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සම්බන්ධීකරණ කටයුතු සඳහා පත් කර ඇති මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.

මෙම සාකච්ඡාව සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත පැවසුවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම මගින් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂවලට සහායක් ලබාදීමට නොහැකි වන බැවින් ජාතික එකඟතා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම මගින් ඔවුනට ද සහාය දිය හැකි බවට මෙම සාකච්ඡාවේදී යෝජනා වූ බවයි.

ඒ අනුව තම පක්ෂය ප්‍රතිපත්තිමය වශයෙන් ඊට එකඟ වූ බවත් එම ආණ්ඩුවේ සැකැස්ම සම්බන්ධ සවිස්තර තොරතුරු ලැබුණු පසු පක්ෂයක් ලෙස ඒ සම්බන්ධව සාකච්ඡා කර එකඟතාව පළ කරන බවත් සඳහන් කළේය. මෙහිදී ඇතැම් පක්ෂවලට තනතුරු ලබා නොගෙන පාර්ලිමේන්තුව තුළ සහාය ලබාදීමට ද සිදු විය හැකි බව ද ඒ මහතා පැවසීය.

අවලස්සන ඇමරිකානුවා ලෙසින් චෝදනා කළ බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී හමුවීම සම්බන්ධව මාධ්‍ය කළ විමසීමේදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා පැවසුවේ අප කැමැති වුවත් ඇකැමැති වුවත් රටට හිතකර දේ සම්බන්ධ කාරණාවලදී එකට සිටීමට සිදුවන බවයි.

ඒ නිසා පාර්ලිමේන්තුව තුළ අප අකැමැති අය සමග ද කටයුතු කිරීමට සිදුවන බව ඒ මහතා සඳහන් කළේය.

අනුර බාලසූරිය, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment