සර්වපාක්‍ෂික ආණ්ඩුව මගහරින්නේ දුර්වල නායකයෝ – කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

184

දැන් රටට ඩොලර් එවීමේ ප්‍රශ්නයක් නෑ

මේ මොහොතේ රටේ පවතින තත්ත්වයෙහි යම් තරමක වෙනසක් දකින්නට තිබේ. තිබුණු පෝලිම්වල අඩුවක් දකින්නට ඇති අතර රට සාමාන්‍ය ජීවිතයට කෙමෙන් කෙමෙන් හුරුවෙමින් සිටින ආකාරයක් පෙනේ. එහෙත් ඩොලර් සංචිත සම්බන්ධයෙන් තවමත් රටේ පවතින්නේ අර්බුදකාරී තත්ත්වයකි. එය මඟහරවා ගැනීම පිණිස ආණ්ඩුව ඒ සඳහා දැඩි වෙහෙසක් ගන්නා ආකාරයක් පෙනෙන්නට තිබේ. මනුෂ නානායක්කාර ඇමැතිවරයා මේ වැඩපිළිවෙළෙහි ඉදිරියෙන් සිටින්නෙකි. මේ සියලු කාරනා ගැන ඇමැතිවරයා සමග කරන ලද සංවාදය මෙසේය.

දැන් රටේ ඇතිවී තිබෙන ප්‍රශ්න සියල්ලටම හේතු වෙලා තියෙන්නේ ඩොලර් අර්බුදයයි. විදේශගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ පහළ යෑමත් ඒ අර්බුයදයට බරපතළ ලෙස බලපා තිබෙනවා. ඒ සඳහා හේතු ඔබ ඇමැතිවරයා විදියට හඳුනාගෙන තිබෙනවාද?

පසුගිය කාලයේදී ඩොලරයට සාපේක්ෂව රුපියල පා නොකිරීම නිසා හවාලා, උණ්ඩියල් වෙළෙඳපොල පුළුල් වෙන්න ගත්තා. බැංකුවලින් ගෙවන මුදලට වඩා රුපියල් හැත්තෑවක් සීයක් වැඩියෙන් මුදලක් ලබාගැනීමට හැකියාව ලැබුණා. මේ නිසා නීත්‍යනුකූලව බැංකු හරහා මුදල් එවන්නේ නැතිව හවාලා, උණ්ඩියල් හරහා මුදල් එවන්න ගත්තා. ඒ අතරම රජය ගැන අවිශ්වාසයක් ඇතිවුණා. විදේශගත ශ්‍රමිකයින් මුදල් එව්වාම ඒ මුදල් නාස්ති කරනවා, හොරකම් කරනවා කියලා අදහසක් ඇතිවුණා. බැංකු හරහා ගෙවල්වලට එවන මුදල් කාටවත් හොරකම් කරන්න බෑ. ඒ අතරම ගෙවල් හදන්න සිමෙන්ති නැති වුණා. කම්බි ටික නැති වුණා. ගෙවල් හදන්න බැරි තත්ත්වයක් ඇති වුණා. වාහනයක් ගෙන්වා ගැනීමට නොහැකි වුණා. රට යන බොහෝ දෙනෙක්ගේ අපේක්ෂාව වෙන්නේ මේක. ඒ එකක්වත් කරන්න බැරි නම් රටට ඩොලර් එවන්නේ මොකටද කියලා හිතලා සල්ලි මේ රටට එවන්නේ නැතිව හිටියා. මම දැන් මේ වරද නිවැරදි කිරීමට කටයුතු කරනවා.

ඒ වරද නිවැරදි කරන්න මොකක්ද කරලා තියෙන්නේ?

අපි ගනිපු ආර්ථික තීන්දුත් එක්ක ඩොලර් එක හිර කරගෙන ඉන්නේ නෑ. ඒ නිසා උණ්ඩියල් මාර්කට් එකේ සහ බැංකුවල ඩොලරයට ගෙවන මිල අතර ලොකු වෙනසක් නෑ. ඒ අතරවාරයේදී බැංකු හරහා ඩොලර් එවන අයට විශේෂ වාසි ලබාදෙනවා. ඒ අතරම බැංකු හරහා ණය යෝජනා ක්‍රම ලබාදෙනවා. මීට අමතරව රාජපක්ෂවරු දැන් පාලනයෙන් ඉවත්ව තිබෙනවා. ඒ වගේම දූෂණ වංචාවලට වැට බඳින විගණන පනත පාර්ලිමේන්තුවට එනවා. ඒත් එක්කම අලුත් තාක්ෂණය එක්ක ඕනම මැති ඇමැතිවරයෙක් රාජ්‍ය නිලධාරියෙක් විගණනය කිරීමේ බලය කොමිසමට පැවරෙනවා. දැන් රටට ඩොලර් එවන්න පුළුවන්. විදේශගත ශ්‍රමිකයන්ට විශේෂ ප්‍රතිලාභ ලැබෙන කාඩ්පතක් හඳුන්වා දෙනවා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන් සඳහා වන ආයෝජන කලාපයක් හඳුන්වාදීම, විදේශගත ශ්‍රමිකයින් සඳහා වන ගම්මානයක් පිහිටුවීමත් අපි සැලසුම් කර තිබෙනවා. විදේශගත ශ්‍රමිකයන් සඳහා වන රක්ෂණයක්, විශ්‍රාම වැටුපක් අපි සැලසුම් කර තිබෙනවා.

විදේශගත ශ්‍රමිකයන්ට හා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට වාහන බලපත්‍රයක් සහ තීරු බදු සහන ඉහළ දැමීමට ඔබ ගත් තීරණයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

විදේශගත ශ්‍රමිකයන්ට ඉලෙක්ටි්‍රක් වාහනයක් ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාදීමටත් ගුවන්තොටුපොළේදී තීරු බදු සහන වැඩි කිරීමටත් කටයුතු කරන බවට මම පොරොන්දු වුණා. එම පොරොන්දුව අපි දැන් ඉටු කර තිබෙනවා. ඒ අනුව මාසයකට ඩොලර් තුන්දහසකට වඩා වැඩියෙන් මුදල් එවා තිබෙනවා නම් එවා තිබෙන මුදල වගේ බාගයක වටිනාකමකින් යුත් ඉලෙක්ටි්‍රක් යතුරුපැදියක් ගෙන්වීමට අවසර දෙනවා. ඒ වගේම ඩොලර් විසිදහසකට වඩා වැඩියෙන් එවන අයට ඉලෙක්ටි්‍රක් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදෙනවා. ඒ අනුව මෝටර් රථයක්, ජීප් රථයක් හෝ ඕනෑම වාහනයක් ගෙන්වීමට අවසර ලබාදෙනවා.

දැනට විදේශගත වෙලා ඉන්න ඕනම අයෙක් ලංකාවට පැමිණීමේදී ඔවුන් විදේශගතව සිටි කාලය අනුව තීරු බදු සහනයක් ලබාදෙනවා. ඒ සහනයට අමතරව මෙරටට මුදල් එවන අයට එසේ එවා තිබෙන මුදල් ප්‍රමාණය අනුව අතිරේක තීරු බදු සහනයක් ලබාදෙනවා.

ඔබ කියන්නේ තීරු බදු රහිතව වාහන ආයනයනට අවසර දෙනවා කියන එකද?

නැහැ. දැන් වාහන ආනයනය කිරීමට අවසර දෙන්නේ නෑ. ඒ නිසා රටට ඩොලර් එවන විදේශගත ශ්‍රමිකයින්ට ලබාදෙන විශේෂ වරප්‍රසාදයක් විදියට තමයි ඉලෙක්ටි්‍රක් වාහනයක් ආනයනය කිරීමට අවසර ලබාදෙන්නේ. මේ වාහනය ආනයනය කිරීමේදී නියමිත තීරු බදු ගෙවීමට සිදුවෙනවා.

ඔබ විදුලි වාහන ආනයනය කිරීමට අවසර දුන්නට ඒ වාහනවල බැටරිය ආරෝපණය කරන්න සූර්ය බලශක්තිය භාවිත කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ වාහනයක් සමග සෝලා පැනල් එකකුත් ගේන්න කියලාද ඔබ කියන්නේ?

ජාතික විදුලි බල පද්ධතියට බරක් නොවන ආකාරයට කටයුතු කිරීමට තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ නිසා තමයි සූර්ය බලශක්තියෙන් මෙය ආරෝපණය කළ යුතු බවට යෝජනා කළේ. ඒත් අපිට දිගින් දිගටම ලැබුණ ඉල්ලීම් සමගින් අපි ඒ කොන්දේසිය යම් ආකාරයකට ලිහිල් කරනවා. ඒ අනුව ඉදිරි මාස හයේදී ආනයනය කරනු ලබන වාහන සඳහා එය අනිවාර්ය වන්නේ නෑ. අපි මාස හයකින් පසුව අපි මෙහි ප්‍රගතිය සමාලෝචනයකට ලක් කරනවා.

රට තුළ විරැකියාවෙන් පෙළෙන මෙන්ම ඌණ සේවා නියුක්තියෙන් පෙළෙන සැලකිය යුතු තරුණ පිරිසක් ඉන්නවා. ඔවුන් විදේශ රැකියා සඳහා යොමු කළහොත් විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගත හැකියි. ඒ සඳහා ඔබ ගැනීමට අපේක්ෂිත පියවර මොනවාද?

මම විදේශ රැකියා ඇමැතිවරයා වගේම කම්කරු ඇමැතිවරයා නිසාත් රටේ ශ්‍රම බළකාය සම්බන්ධයෙන් මට වගකීමක් තිබෙනවා. එහිදී ශ්‍රමිකයන්ගේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා අපි වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ සිදුකරනවා. ඒ වගේම විදේශ රැකියා අවස්ථාවන් රටේ ශ්‍රම බළකායට විවෘත කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අලුත් රැකියා අවස්ථා අලුත් රැකියා වෙළඳපොළක් විවෘත කිරීමට අපි කටයුතු කරනවා.

පසුගිය තුන්වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පවත්වමින් සෙසු පක්ෂවලට ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස ආරාධනා කළා. මේ මේ වන විට එම ආරාධනාවට ලැබී තිබෙන ප්‍රතිචාරය කුමක්ද?

රටේ ඇතිවෙලා තියෙන අර්බුදයට දේශපාලන පක්ෂ පාට පැත්තකින් තියලා හැමෝම එකට එකතුවෙන්න ඕන කියලා මුලින්ම කිව්වේ මම. මමත් හරින් ප්‍රනාන්දු ඇමැතිතුමාත් මේ සඳහා සමගි ජන බලවේගය ඇතුළේ ඉඳගෙන සටන් කළා. ඊට පස්සේ පෙබරවාරි මාසයේදී මාධ්‍ය හමුවට ඇවිත් එකතුවෙන්න ඕන කියලා කිව්වා. පාර්ලිමේන්තුවේදී කතා කරලා හැමෝටම එකට එකතුවෙලා මේ අර්බුදයට විසඳුම් ගේන්න ඉදිරිපත් වෙන්න කියලා කිව්වා. එදා අපි කියපු දේ, එදා අපි සටන් කරපු දේ යථාර්ථයක් බවට පත් කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලුම පක්ෂවලට ආරාධනා කළා. දැන් එයට හැම පක්ෂයකින්ම සුබවාදී ප්‍රතිචාර ලැබිලා තිබෙනවා. ජනාධිපතිතුමා ඒ සියලුම පක්ෂ එක්ක සාකච්ඡා කරලා තියෙනවා. මේ වෙලාවේ දේශපාලන පක්ෂ පාට පැත්තකට තියලා රටට වැඩක් කරන්න ඕන කියලා හිතන හැමෝම එකට එකතුවෙලා ඉන්නවා.

මේ වෙලාව තමයි මේ රට ගොඩ ගැනීමට තිබෙන ස්වර්ණමය අවස්ථාව. රට වැටිලා තියෙන කුජීතම වෙලා තියෙන වෙලාවක තමයි රනිල් වික්‍රමසිංහ මේ රට භාරගත්තේ. අපි ඒකට ඔහුට ශක්තිය ලබාදුන්නා. මන්ත්‍රීවරුන් 134 දෙනක්ගේ සහාය ලබාගැනීමට වන යෝජනාව ඉදිරිපත් කරලා මම ඒ යෝජනාව ස්ථිර කළා. රටේ වගකීම අවදානම් වෙලාවක තමයි ඔහු ජනාධිපතිධූරය ලබාගත්තේ. මේ වෙලාවේ රටේ ආයෝජන ප්‍රතිපත්තිය, අධ්‍යාපන ප්‍රතිපත්තිය, කම්කරු ප්‍රතිපත්තිය හදන්න ඕන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕන. ඒ සඳහා සියලු දෙනාම එකතු වෙලා තීන්දු තීරණ ගත යුතුයි. ඒ සඳහා තමයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නේ මේ රට ඔබ කියන වළට ඇද දැමීමට දේශපාලඥයන් වගකිව යුතු බවට හැමතැනින්ම චෝදනා එල්ලවෙනවා. රට වළපල්ලට ඇද දාපු අය එකතු කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදූ පලියට රට යළිත් ගොඩ ගන්න පුළුවන්ද?

මේ රට අද වැටිලා තිබෙන අගාධයට ඇද වැටුනේ එක් අයෙක්ගේ දෙන්නෙක්ගේ වැරදි නිසා නෙමෙයි. මේකට හැමෝම වග කිව යුතුයි. දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ජනතාව මේ සියල්ලටම වග කිව යුතුයි. ජනතාව තමයි දේශපාලඥයන් පත් කරලා එවලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි හැමෝම එකට එකතුවෙලා මේ රට ගොඩ ගැනීමට කටයුතු කළ යුතු වන්නේ. දේශපාලඥයන්ගේ විතරක් නෙමෙයි ජනතාවගේ සිට වෙනස් වෙලා රට ගොඩ ගැනීමට දායකත්වය ලබාදිය යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ජනාපධිතිවරයාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ වගේම ඔවුන් චෝදනා කරනවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ කෙතරම් කාලයකට කියන එක ජනාධිපතිතුමන් සඳහන් නොකළ බව. ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

රටක් හැදෙනවාට ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් කැමති නෑ. හිඟන්නට හම්බ කරන්න පුළුවන් වෙන්නේ තුවාලය තියෙනකම් විතරයි. ඒ නිසා හිඟන්නා කවදාවත් තුවාලය හොඳ වෙනවාට කැමති නෑ. ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණත්. ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය කරන්න පුළුවන්කම තියෙන්නේ ඔවුන්ගේ මතවාදය අරගෙන යන්න පුළුවන් වෙන්නේ රටේ ප්‍රශ්න තිබුණොත් විතරයි. සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනතා විමුක්ති පෙරමුණ එන්නේ නෑ කියන එක අපිට පුදුමයක් නෙමෙයි. රටේ ප්‍රශ්න විසඳෙනවාට කැමැති කවුරු හරි ඉන්නවා නම් මේ වෙලාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එනවා. හැබැයි විවේචනය කිරීම රස්සාව බවට පත් කරගනිපු අය කවදාවත් ඒ රස්සාව අතහැරලා මෙතැනට එන්න කැමැති වෙන්නේ නෑ.

දෙමළ ජාතික සන්ධානය සර්ව පාක්ෂික ආණ්ඩුවට එකතු වෙනවාද?

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට රනිල් වික්‍රමසිංහ තරම් නායකයෙක් නෑ. අද සියලුම පක්ෂ පොදු මතයකට එකතු වෙලා ඉන්න වෙලාවක අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියලා එකතු වෙලා රට ගොඩ ගැනීමට මේක හොඳ අවස්ථාවක් කියන එක දෙමළ ජාතික සන්ධානය වටහා ගනීවි. දෙමළ ජාතික සන්ධානයත් අපිට සුබවාදී ප්‍රතිචාර දක්වා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙක් සියලුම පක්ෂ මේ සඳහා සුබවාදී ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට පුද්ගලිකව ලිපියක් යොමු කරමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙසට ආරාධනා කළා. එම ලිපිය පදනම් කරගනිමින් සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරනවා ආණ්ඩුව මැති ඇමැතිධුර ප්‍රදානය කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට සූදානම් වන බවට. එම චෝදනාව ගැන ඔබේ ස්ථාවරය කුමක්ද?

ඔය කතාව කියපු පක්ෂයේ නායකතුමා ජනාධිපතිතුමාගේ රාජාසන කතාවෙන් පසුව කමිටු මට්ටමින් සහාය ලබාදීමට සූදානම් බවත් ප්‍රකාශ කළානේ. මේ වෙලාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතුවෙලා රටේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ඉදිරියට එන්නේ නැත්තේ අදක්ෂකයන්. එහෙම නැතිනම් දුර්වල නායකයෝ. අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් බියෙන් පසුවන අය. ඒ නිසා වැඩක් කරන්න පුළුවන් හැමෝම මේ වෙලාවේ ඉදිරියට ඇවිත් වගකීම් ගනීවි කියලා මම විශ්වාස කරනවා.මේ රටේ ඡන්ද තියන වෙලාවක් නෙමෙයි. ඒ නිසා අපි මේ වෙලාවේ කඩිනම් මැතිවරණයක් පවත්වන්නේ නෑ.

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment