සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට ශ්‍රී ලනිපය මූලිකත්වය ගත්තා නම් පක්‍ෂය දෙකඩ වෙන්නේ නෑ

135

ඇමැති මහින්ද අමරවීර

රට පත්ව තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට මුලින්ම යෝජනා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළා නම් පක්ෂය දෙකඩ නොවන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳව සාකච්ජා කිරීම සඳහා පෙරේදා (10දා) අනුරාධපුර පශු අස්වනු තාක්ෂණ ආයතනයේදී පැවති ගොවි සංවිධාන නියෝජිත හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

එසේ වූවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ නොවී පක්ෂ අභ්‍යන්තරයේ ගැටලු ඇති නොවීමටත් ඉඩ තිබුණා. ඒ නිසා ඉදිරියේදි එය ගැටලුවක් කර නොගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වී කටයුතු කිරීමට නායකතුමා කැප වෙයි කියා මා බලාපොරොත්තු වෙනව.

මේ වනවිට විරුද්ධ පක්ෂයට පක්ෂ ගොඩක් තිබෙනවා. තව පක්ෂ හැදෙන්නත් තිබෙනවා. හතු පිපෙන්නා වගේ විරුද්ධ පක්ෂ හැදුවාම කවුද විපක්ෂයේ කියල හොයා ගන්න බැරි වෙනවා. ආණ්ඩුවේ ඇමැතිවරුන් වැඩිවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට පමණක් වගකීම පවරන්න බෑ. ඒක නිසා තමයි මම හැම වෙලාවකම කිව්වෙ සර්ව පාක්ෂික ආණ්ඩුවට ඇවිත් කිව්ව නම් ආණ්ඩුවේ සිටිය යුතු ඇමැති මණ්ඩලය සහ රාජ්‍ය ඇමැතිවරුන් මෙපමණයි කියල පසුව එය නිවැරදි කර ගැනීමට අවස්ථාව තිබුණා. ඒ කිසි දෙයකට ආණ්ඩුවට උදව් නොකර එළියෙ සිට ආණ්ඩුව විවේචනය කිරීමෙන් ඵලක් නෑ. එය කිසිවකුටත් වැඩක් වෙන දෙයක් නොවෙයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment