සර්ව පාක්ෂික කැළඹිල්ල සහ ජනතාවගේ විඳවිල්ල!

294

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට දේශපාලන වශයෙන් කිසියම් ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට සමත්ව සිටින බව පෙනේ. විදෙස් රාජ්‍ය නායකයන්ගේ හා ජගත් සංවිධානවලින් ද ඔහුට තවමත් සුබ පැතුම් ද හිමිවෙයි. ඒ හා සමගම අපේ නායක නාහිමිවරුන්ගේ මෙන්ම ඔහුගේම දේශපාලන විවේචකයන්ගේ ද ආශිර්වාද හා සහයෝගය ලැබෙන බවද පෙනේ. පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ජනාධිපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි තේමාව බවට පත්වූ සර්ව පාක්ෂික පාලන සංකල්පය පිළිබඳව ද දැනටමත් සකච්ඡා වට කීපයක්ම පවත්වා අවසන් කිරීමට ද ජනාධිපතිවරයාට හැකිවී තිබේ. අවස්ථා කීපයකදීම දේශපාලන කණ්ඩායම් සමග සිදු කළ සාකච්ඡාවලදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සියලුම පක්‍ෂවලට ලබා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. මේ සර්ව පාක්ෂික පාලනයක අදහස දැන් සෑහෙන කාලයක් මුළුල්ලේම සංවාදයට ලක්ව තිබෙන්නකි. ඉවත්ව ගිය ජනාධිපති ගෝඨාභය ද ඒ යෝජනාව සමග එකඟව සිටියේය. එහෙත් එහි වූ ගුප්ත බව හෝ ඔහුගේ ප්‍රතිචාරයෙහි තිබුණු උදාසීනත්වය නිසා හෝ එය යථාර්ථයක් බවට පත් වූයේ ද නැත. අන්තිමේදී ගෝඨාභයට සිය ධුරය ද අහිමි වන තැනට දේශපාලන විරෝධතා උත්සන්න විය.

ජනාධිපති රනිල් අතට පත්ව තිබෙන එම යෝජනාවට ඉහත සඳහන් කළ පරිදිම ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ද ප්‍රමුඛස්ථානයක් හිමි විය. ප්‍රධාන විපක්‍ෂය වන ස. ජ. බ. මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරයෙහි ද කිසියම් අපැහැදිලි බවක් ඇත. විපක්‍ෂ නායක සජිත් මුලින්ම පැවසුවේ එම යෝජනාවට එකඟව රට වෙනුවෙන් කැප වුවත් එහිදී තම පක්‍ෂය කිසිදු ඇමැති ධුරයක් භාර නොගන්නා බවක්ය. එසේම ඔහු මේ ආණඩුව හැඳින්වූයේ රාජපක්‍ෂවරුන්ගේ කුණු ලොරියක් ලෙසය. එහෙත් ඔහු එහි සාධනීය. ක්‍රියාකාරකම්වලට අනුග්‍රහයක් දක්වන බවය. එයින් ගම්‍ය වන්නේ අතින් නාසය වසාගෙන හෝ ඒ කුණු ලොරිය ඉවසා සිටිය යුතු බවක්ද? එසේම සජිත් පසුව සිය පාක්‍ෂිකයන් අමතා (දැදිගමදී) ප්‍රකාශ කර තිබුණේ අද පවතින දේශපාලන විකෘතිය නිවැරදි කර ගැනීමට අලුත් ජනවමරක් ලබා ගත යුතු බවය. ඔහු එහිදී ජනාධිපති රනිල්ගේ පත්වීම හා එහි පසුබිම පිළිබඳ දැක්වූ අදහස්වලින් ගම්‍ය වන්නේ තවමත් ඔහුට රනිල් ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳ කිසියම් විරෝධයක් ද තිබෙන බවය.

සර්ව පාක්ෂික කැළඹිල්ල සහ ජනතාවගේ විඳවිල්ල!

මේ ප්‍රතිවිරෝධතාව විසින් මඬින ලද සජිත්, සර්ව පාක්‍ෂික පාලනයකට හවුල් නොවීම අපට තේරුම්ගත හැකිය. ඔහු මෙහිදී නිර්දය ලෙස දැක්වූයේ සර්ව පාක්‍ෂික සංකල්පය කිසිසේත් ඇමැති ධුර හුවමාරු කරගන්නා ගනුදෙනුවක් නොවිය යුතු බවය. ඔහුගේ වචනවලින්ම කිවහොත් එය ඇමැති කටු සූප්පු කිරීමේ ක්‍රියාවලියක් නොවිය යුතු බවය. මේ ආණ්ඩුව රාජපක්‍ෂවරුන්ගේ කුණු ලොරියක් ලෙසම හඳුන්වන ස. ජ. බ. කිරිඇල්ල ද මේ ඇමැතිකම් ලබා නොගත යුතු බව අවධාරණය කරයි. එහෙත් හර්ෂගේ අදහස වී ඇත්තේ රනිල් සමග එක්වී මේ ආර්ථික ව්‍යසනයට විසඳුම් සෙවිය යුතු බවය. ජනාධිපති රනිල් යන මාර්ගය නිවැරදි බව ද ඔහු පිළිගනී එසේම ඔහුට අනුව මේ ප්‍රතිපත්ති මාලාව මෙයට පෙර එනම් 2015 දී තමන් ඇතුළු කීපදෙනකුගේම අනුමැතිය ලද කරුණුවලින් ද සමන්විත වූවකි. හර්ෂගේ ස්ථාවරය අනුව එදා ජයවර්ධන හඳුන්වා දුන් (1977) ආර්ථිකය සමාජ වෙළඳපොළක් ලෙස වර්ධනය විය යුත්තකි.

ජ. වි. පෙ. නායක අනුර කුමාර මේ සර්ව පාක්‍ෂික යෝජනාව සෘජුවම ප්‍රතික්ෂේප කර තිබේ. ඔහුගේ විවේචනය ද සාධනීය එකකි. ඔහු සෘජුවම පවසන්නේ ජනාධිපති රනිල්, රාජපක්‍ෂ කඳවුර වෙනුවෙන් ඒ පන්ති වුමවනා ඉටු කිරීමේ දොරටුපාල භූමිකාව පණගන්වා තිබෙන බවය. විශේෂයෙන් රාජපක්‍ෂවරුන්ට එරෙහිව තිබෙන දූෂණ චෝදනා මෙන්ම, ගෝඨාභය පාලන කාලයේදී ප්‍රතික්‍ෂේප කරන ලද දූෂණ අල්ලස් නඩු පිළිබඳව ද ජ. වි. පෙ. නායකයා දැඩි අවධාරණයක් කර ඇත. මේ විවේචනය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද ඉදිරියට රැගෙන ගියේය. ස. ජ. බ. නියෝජිත හා ජනාධිපති හමුවේදී ඔහු මේ පිළිබඳව ප්‍රශ්න කර තිබුණි.

ජනාධිපති රනිල්ට රාජපක්‍ෂවරුන්ගේ දූෂණ අක්‍රමිකතා පිළිබඳව සෘජු මැදිහත්වීමක් කළ හැකිද? මේ දේශපාලන සන්දර්භය ගොඩනැඟී ඇත්තේ ද දූෂණ, අක්‍රමිකතා, නාස්තිය ඇතුළු සකලවිධ විනාශකාරී හා ගර්හිත කරුණු මත බව රටම දන්නා කරුණකි. එහෙත් මේ දේශපාලන අවිචාර සමය තුළ ඒ දූෂණ ක්‍රියාන්විතය මඳක් නතර කිරීමට සිදුවේ. එහෙත් එය කිසිසේත් යටපත් කළ යුතු හෝ කාපට් එක යට සැඟවිය යුතු නොවන බව ද අපගේ දැඩි අවධාරණයකි. මේ දූෂිත දේශපාලන ක්‍රමයම විසිකර දමා නව දේශපාලන සංස්කෘතියක් ඉල්ලා ගෙනයන
ගාලුමුවදොර අරගලයේ හඬ ප්‍රබලය. එයට සවන් දෙමින්ම, පළමුව යම් ප්‍රමාණයක දේශපාලන ස්ථාවරයක් ගොඩනැඟීම අද සිදුවිය යුතුය.

මේ වන විට පොහොට්ටුව තුළ වුව ද විවිධ බෙදීම් තිබේ. එහි සභාපති ජී. ඇල්. හා භාණ්ඩාගාරික ඩලස් ඇතුළු පිරිසක් වෙනම සිටිති. තවත් ස්වාධීන කණ්ඩායම් කීපයක් ද වෙති. පොහොට්ටුවේ ලේකම් ඇතුළු පිරිසක් ජනාධිපති රනිල් සමගය. පසුගියදා තිබුණු පොහොට්ටු හමුවකදී එහි නිර්මාතෘ බැසිල් පවසා තිබුණේ ද මේ අවස්ථාවේ ජනාධිපති රනිල්ට සහාය වෙමින් ක්‍රියා කිරීම යැයි ද වාර්තා වී ඇත. ඇත්ත වශයෙන්ම අද පොහොට්ටුව රැකෙන්නේද රනිල් නිසා බව පැහැදිලිය. එහි සිටි රනිල් විරෝධීහු ද අද සෘජුවම මේ අර්බුදය විසඳීමට ජනාධිපති රනිල්ට සහාය දිය යුතු බව ප්‍රකාශ කරති. එය දේශපාලන සරදමක් වුවත් අද ඒ හැර පොහොට්ටුවට ද වෙනත් මගක් නැත.

ජනාධිපති රනිල් එක් අතකින් දේශපාලන ස්ථාවරත්වයක් සඳහා කැපවෙන අතර අනෙක් අතින් සිය ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ ක්‍රියාන්විතයක නිරතව සිටින බවක් ද පෙනේ. ගාලුමුවදොර අරගලකරුවන් පමණක් නොව එම භූමිය ද ඔහුට හිසරදයක් වී තිබෙන බව පෙනේ. ගාලුමුවදොර භූමිය අරගලකරුවන්ගෙන් නිදහස් කර ගැනීමේ මෙහෙයුම ඔහුට තාවකාලිකව නතර කිරීමට සිදු විය. අරගලකරුවන් සමබන්ධයෙන් ඔහුගේ ප්‍රතිචාර බොහෝ දෙනෙක් විවේචනය කරති. ඔහු පෙන්වා දෙන්නේ නීතිය හා ව්‍යවස්ථා රාමුව තුළ සියල්ල සිදු විය යුතු බවය. එහෙත් ප්‍රබල හා සාමකාමී විරෝධතාවකදී මහජන මතයෙහි පිළිබිඹුව වෙනස් ස්වරූපයක් ගන්නා බව ද අමුතුවෙන් කිව යුතු නැත. එනිසා විරෝධතාකරුවන් දඩයමට ප්‍රජාතන්ත්‍රවාදී සළු පිළි පැළඳවා ජනතාව මුළා කළ නොහැකි බව පමණක් සඳහන් කළ යුතුය.

මේ වන විටත් සමාජ දේශපාලන අංශවල දැඩි අවධානයට යොමුව තිබෙන ගුරු වෘත්තීය සමිති නායකයකු වන ජෝෂප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය දෙස බලමු. එහිදී එදා ඔහු සමග එක්ව සිටි සමන් රත්නප්‍රිය අද ජනාධිපතිගේ වෘත්තීය සංගම් ක්‍ෂේත්‍රයට අදාළ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයකට පත්ව සිටියි. එහෙත් ඔහුගේ සටන් සගයකු ලෙස සිටී ජෝෂප් හිර ගෙදරය. මෙහි නීතිමය තත්ත්වය විවාදයක් නැත. එහෙත් එහි තිබෙන දේශපාලන අශීලාචාර බව සැඟවිය නොහැක. මේ පිළිබඳව ජනාධිපති රනිල්ට සෘජුවම විවේචන එල්ල වී තිබේ. සමන් රත්නප්‍රියට හිමිවූ ප්‍රතිලාභය මෙරටේ වෘත්තීය සංගම් ව්‍යාපාරයේ කුණුවීමේ පරිමාව හෙළි කරන්නක් පමණක් නොව ආණ්ඩුවේ සාධාරණ හා යුක්තිය පිළිබඳ ඇඟවීමක් ද වේ. මෙම විවේචන නිසා ජෝෂප් ස්ටාලින්ට ඇප ලැබීම වෙනම කරුණකි. එහෙත් එබඳු කියාකාරකම්වලින් පැහැදිලි වන්නේ මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයේම බිහිසුණු මුහුණක් නොවේද? එය නිසැකයෙන්ම වෘත්තීය සමිති ප්‍රමුඛ බහුජන සංවිධානවලට නිකුත් කරන මර්දනයේ රතු එළියක් නොවේද?

ජනාධිපති රනිල් මේ දේශපාලන කැළඹීම්, හැලහැප්පීම් නිවැරදිව කියවා ගත යුතුය. මේ වන විට පාර්ලිමේන්තුවේ දේශාපලනය ඒ අයුරින්ම ඉන් පිටත ද තිබේ යැයි සිතන්නේ නම් එය මහත් මුළාවකි. හිටපු ඇමැති ඩලස් උපුටා දක්වමින් කිවහොත් දියවන්නා දූපත් දේශපාලනය මේ මහපොළවේ නැති බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. පොහොට්ටුවේ දේශපාලනය විසින් රටට සිදු කරන ලද ආර්ථික විනාශය ද ගාලුමුවදොර අරගලකරුවෝ ඉඳුරා දනිති. කෝප් කමිටුවේදී හෙළි වූ රාජ්‍ය ආයතනවල දූෂණ, අක්‍රමිකතා ඇදහිය නොහැකි තරම්ය. රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් පාඩු ලබන ආකාරය ගණන් හිලව් ඇතිවම එහිදී දැක්විණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වෙන්ම වරාය හා ලංකා සතොස ද මේ රටේ ආර්ථිකය බංකොලොත් කළ ආකාරය ජනතාව ද දනිති. මේ ආයතනවලට අරක්ගත් හොර නඩ අදත් සුවසේ සිටිති. ඛනිජ තෙල් සේවකයන්ට කෝටි ගණනින් පාරිතෝෂික (බෝනස්) ගෙවීමට තරම් එහි පාලකයෝ වෙස්සන්තරලා වී සිටිති. අපට කිව හැක්කේ ජන වහරේ එන පරිදිම ‘නඩු නැති රටකට මොට පායනවද සූරියා’ යන්න පමණි.

ජනාධිපතිගේ කතාවේ හැටියට ඇමැතිකම් ගන්න තියා ආණ්ඩුව කිට්ටුවටවත් එන්න හිතෙන්නේ නැතැයි සන්ධාන ආණ්ඩුවලම කලක් සිටි ඇමැතිවරයකු වන වාසුදේව ආඩම්බර ප්‍රකාශයක් ද කර තිබේ. එසේ වුවත් වචනය ඉක්මවා ක්‍රියාව සිදුවන්නේ නම් සර්ව පාක්ෂික පාලනයකට තම අනුමැතිය ද ලැබෙන බව ඔහු පවසයි.

ශ්‍රීලනිපයේ අදහස ද සර්ව පාක්‍ෂික ආණ්ඩුවට සම්බන්ධ වීමය. එහෙත් මේ වනවිට ද එහි කීපදෙනෙක්ම මේ ආණ්ඩුවට එක්වී සිටිති. එයින් ප්‍රකාශ වන්නේ ද ශ්‍රීලනිපය පක්‍ෂයක් වශයෙන් කෙබඳු අස්ථානයකට එළැඹුණත් එහි පිරිසක් ආණ්ඩුව සමග ගමනකට සැදී පැහැදී සිටින බවය. මේ තත්ත්වය ස. ජ. බටද තිබේ. පක්‍ෂ නායක සජිත් හා කිරිඇල්ල පැහැදිලිවම ඒ ආණ්ඩුවේ ඇමැති ධුර ප්‍රතික්‍ෂේප කළත් තවත් කීපදෙනෙන්කම ජනාධිපති රනිල්ට එක්විය හැකි බව ද අපගේ අදහසය. දේශපාලන ආරංචිමාර්ග සැබෑවක් නම් පොහොට්ටුවේ තවත් පිරිසක් ද ඇමැති ධුර අපේක්‍ෂාවෙන් සිටිති.

කෙසේ හෝ සර්ව පාක්‍ෂික පාලනයකට එක් නොවන බවට ප්‍රකාශ කරන ජ. වි. පෙ. අනුර කුමාරගේ එක් විවේචනයක් වූයේ ඒ පාලනයේ කාලසීමාව හා ඇමැති සංඛ්‍යාව පිළිබඳ කිසිවක් පළ නොවීමය. ජවිපෙට අනුව මේ කිසිවකින් දේශපාලන ස්ථාවරත්වයක් ලබා ගත නොහැකිය. හැකි ඉක්මනින්ම මහ මැතිවරණයකට යා යුතුය යන්න ඔවූහු යෝජනා කර සිටිති. ජ.වි.පෙ. සර්ව පාක්‍ෂික ක්‍රමය පිළිනොගන්නා නුමුදු එහි ඇමැති මණ්ඩලය 10කට සීමා විය යුතු බවට යෝජනාවක් ද කර ඇත. (ඇමැතිකම් ඉල්ලන දේශපාලන ගිජුලිහිණියෝ එයට එකඟ වෙත්ද?)

සැබැවින්ම ජ. වි. පෙ. දක්වන අදහස්වලට ද තාර්කික පදනමක් තිබේ. මේ වනවිට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයක් ද පත්කර ගෙන පාලනය මෙහෙයවයි. එහි තිබෙන එකම වෙනස අගමැති ලෙස දිනේෂ් සිටීම පමණි. ගෝඨාභයගේ අසාර්ථක පාලනයට දායක වූ පැරැණි ඇමැති මුහුණු විනා එහි පැහැදිලි වෙනසක් ද නැත. ඇත්ත වශයෙන්ම තිබුණේ තාවකාලික ඇමැති මණ්ඩලයක් පත්කර එහි විවෘත අවකාශයක් තබා ගැනීමය. යම් හෙයකින් අලුත් සර්ව පාක්‍ෂික පාලනයක් ඇති වුවහොත් මේ ඇමැති මණ්ඩලය තවත් පුළුල් වීම නිසැකය. එබඳු කාර්යයකින් ජනතාව මත පැටවෙන බර තවත් වැඩි වේ. මේ නිසා සජිත් කියන ඇමැති තරගය ද වළක්වා ගත නොහැක.

මේ අනුව ජනාධිපති රනිල්ගේ දේශපාලන චිත්‍රය අපැහැදිලිය. මහජන වරමක් නැති පාර්ලිමේන්තුව සවිබල ගැන්වීමට ඔහු දරන උත්සාහය මහ පොළොවේ දේශපාලනයට ප්‍රතිවිරෝධී වේ. ව්‍යවස්ථාවට එකඟ වුවත් මේ පාලන තන්ත්‍රයට කිසියම් කාලරාමුවක් අත්‍යවශ්‍ය ය. ජනාධිපති රනිල්ට අද තිබෙන මේ සංකීර්ණ දේශපාලන ආර්බුදය වටහා ගැනීමට බාහිර උපදේශ, විශ්ලේෂණ වුවමනා නැත. සියල්ල ව්‍යවස්ථාවට එකඟය. ඔහු එය සුරකින බවට කරන ප්‍රතිඥාව ද අගය කළ යුතුය. එහෙත් මේ දේශපාලන විකෘතිය මහජන වරමකින් විනා නිවැරදි කර ගත නොහැකිය. දැනට ඒ සඳහා ස්ථාවර සමාජ ආර්ථික හා දේශපාලනයක් ද නැත. සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට වඩා පාර්ලිමේන්තුවම විධායක බලයකින් සාමූහිකව ක්‍රියා කිරීම ද ප්‍රායෝගික යෝජනාවකි. සර්ව පාක්‍ෂික පාලනයකට වුවමනා දේශපාලන එකඟතාවක් ගැන වුවද ජනතාවට ඇත්තේ අවිනිශ්චිත බවකි. පාර්ලිමේන්තුවම කුණු ලොරියක්, කුණු වී ගිය අච්චාරුවක් නම් එයින් අපේක්ෂා කළ හැකි යහපත හා සුබවාදී බලාපොරොත්තුවක් ද නැත. ජ. වි. පෙ කියන සර්ව පාක්ෂික අටමගල කතාව ගැන ද මෙහිදී සිහිපත් කළ යුතුය. කුමක් වුවත් මේ දේශපාලන ව්‍යාකූලත්වය තුළ සර්ව පාක්‍ෂික කැඳ හැළියට හාල් මිටක් දැමීමට විපක්‍ෂයට වුවමනා නැති බව ද පැහැදිලිව පෙනේ.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment