සර්ව පාක්‍ෂික සමුළුව ඇස්බැන්දුමක් – ඉමිතියාස් බාකීර් මාකර්

131

රටේ ආර්ථික අර්බුදය කතා කළ යුතුව ඇත්තේ මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුවේදී බවත් එසේ නොකොට ජනාධිපතිවරයා නීත්‍යනුකූල නොවන ලෙසට කැඳවූ එම සමුළුවට සමගි ජන බලවේගය සහභාගි නොවුණු බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉමිතියාස් බාකීර් මාකර් මහතා ඊයේ (24දා) පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ ඉමිතියාස් බාකීර් මාකර් මන්ත‍්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් කැඳවූ ඒ සර්ව පාක්ෂික සමුළුව කිසිම නීත්‍යනුකූල පදනමක් නැති එකක්. කිසිම බැඳීමක් නෑ. නීතිමය තත්ත්වයක් නෑ. පාර්ලිමේන්තුව හෝ අමාත්‍ය මණ්ඩලය වගේ නිසි වැඩපිළිවෙළක් ඇති දෙයක් නොවෙයි. නීත්‍යනුකූල, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන දුර්වල කරලා තම බලය දැඩි කර ගන්නට කරපු ඇස්බැන්දුමක් ලෙස මම මේ සර්ව පාක්ෂික සමුළුව සලකනවා.

රටේ ආර්ථිකය ගැන කතා කරන්නයි මේ සමුළුව කැඳවලා තිබෙන්නේ, මූල්‍ය පාලනය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. නමුත් පසුගිය කාලය තුළ මේ රටේ පැවති උග‍්‍ර ආර්ථික අර්බුදය ගැන මුදල් ඇමැතිතුමා පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළේ නෑ. පාර්ලිමේන්තුවට ඒ ගෞරවය ලබා දුන්නේ නෑ. රටවල් සමග අත්සන් කළ ගිවිසුම් ගැන පාර්ලිමේන්තුව දැනුවත් කළේ නෑ. අඩු ගානේ එතුමා පාර්ලිමේන්තුවටවත් ආවේ නෑ. පාර්ලිමේන්තුවත් බාල්දු කළා.

ආර්ථික ප‍්‍රශ්න ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ ඇයි ජනාධිපතිතුමා කැඳවන්නේ? පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාටත් ආසනයක් තිබෙනවා. ඇයි ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන දුර්වල කරන්නේ? අපි දිගටම පාර්ලිමේන්තුවේදී මේවා ගැන කතා කරන්න කිව්වා. අපි සහයෝගය දෙන්නම් කිව්වා. නමුත් ආණ්ඩුව ගණන් ගත්තේ නෑ. ආණ්ඩුව පත්වූ ගමන් බදු සහන දුන්නා. සෘජු බදු අඩු කළා. ඒකෙන් ධනවතුන්ට පමණයි සහන සැලසුණේ. මෙහෙම රටක පාලනයක් ගෙනයන්න පුළුවන්ද?

මේ සර්ව පාක්ෂික සමුළුවේ යටිපෙළක් තිබෙනවා. සැබෑ ලෙසම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරනවා නම් මේව පාර්ලිමේන්තුවේදී කතා කළ යුතුයි. මම කනගාටු වෙනවා හිටපු අගමැතිතුමාත් මේ සමුළුවට සහභාගි වීම ගැන. මාධ්‍ය සංදර්ශනවලින් අපේ විපක්ෂයේ අය වල්මත් විය යුතු නෑ.

හිටපු ජනාධිපති තුමා කරන ලද ඉල්ලීමක් අනුව තමයි මේ සමුළුව කැඳවූයේ. මේක කළේ ආණ්ඩුවේ සිටින හවුල්කාර පක්ෂ ටික ආණ්ඩුවේ තබා ගන්නයි. මේක පොඩි උපායක්. මේක කරගන්න පාර්ලිමේන්තුව අමතක කළා. 20 වැනි සංශෝධනයෙන් පසුව තමන් සියලූ බලය අතට ගත්තු එකේ ප‍්‍රතිවිපාක තමයි අද අත්විඳින්න වෙලා තිබෙන්නේ.

ආණ්ඩුව දැන්වත් සද්භාවයෙන් කටයුතු කළ යුතුයි. රටේ තිබෙන ප‍්‍රශ්න මේ ආණ්ඩුව ඇති කරපු ඒවායි. මේ ජනාධිපති බලයට එන විට අපේ ඩොලර් සංචිතය ඩොලර් බිලියන 07ට වඩා වැඩියෙන් තිබුණා. අද ඒවා විනාශ කරගෙන. කසළ නැව්වලටත් ඩොලර් ගෙව්වා. මේ අර්බුදයට ජනාධිපති වගකිව යුතුයි. එදා හාල් පෝලිම් තිබුණු කාලයක තමයි ජේ. ආර්. ජයවර්ධන මහතා රට භාරගෙන ඒ පෝලිම් යුගය නැති කළේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment