සරුංගලයේ වෛරයෙන් මරණ 7 ක්

1023

මිනුවන්ගොඩ ගමන්ගෙදරට කඩාවැදුණු පාතාලයෝ
පිය – පුතු තිදෙනා මරා පලායති

ඩුබායිවලින් ලැබුණු පාතාල කොන්ත්‍රාත්තුවක්
සැකකරුවෝ තිදෙනෙක් බස්රථයක දී අත්අඩංගුවට
එක් සැකකරුවකු පොලිසියට සමාන ඇඳුමක් ඇඳන් ඉඳලා
දොර ඇරගෙන තියෙන්නේ පොලිසියෙන් කියලා
ගෙදර සිටි මව සහ නැගණිය කාමරයකට දාලා වහලා
ඊයේ ඝාතනය වූ තිදෙනා ඇප මත සිටි අය

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී ඊයේ (06 දා) පෙරවරු 7.00 ට පමණ සිදුවූ ත්‍රිත්ව ඝාතනය සරුංගල් යැවීමේදී දෙපිරිසක් අතර වසර 05 ක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ. මෙම සරුංගල් ආරවුල හේතුවෙන් වසර පහකදී පුද්ගලයන් හත් දෙනෙකු (7) ඝාතනයට ලක් වී ඇති බව පොලිසිය පවසයි.

මෙම ත්‍රිත්ව ඝාතනය සිදුකර පලායමින් සිටි පාතාල සාමාජිකයන් තිදෙනෙක් ගලේවෙල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.

ඝාතකයන් මගී ප්‍රවාහන බස් රථයක නැගී අනුරාධපුරයට පලායමින් සිටියදී එම බස් රථය ලුහුබැඳ ගිය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් පවසා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින පාතාල නායකයකුගෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවක් මත මෙම ත්‍රිත්ව ඝාතනය සිදු කළ බවයි.

අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පාතාල සාමාජිකයන් තිදෙනා මිනුවන්ගොඩ පොලිසියට භාරදීමට කටයුතු කර ඇත.

මෙම ත්‍රිත්ව ඝාතනයට පැමිණි තවත් පාතාල සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ පෙරවරු 7.00 ට පමණ මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි ටී 56 අවිවලින් සන්නද්ධ වූ පාතාල සාමාජිකයන් පිරිසක් මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට කඩාවැදී එහි සිටි පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබිණි.

සරුංගලයේ වෛරයෙන් මරණ 7 ක්

මෙම ත්‍රිත්ව ඝාතනය සඳහා පාතාල සාමාජිකයන් පස්දෙනෙකු පැමිණ ඇති අතර ඉන් එක් අයකු පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිට ඇත.

තමන් පොලිසියෙන් බව කියමින් නිවසේ දොර විවෘත කරගෙන ඇති පාතාල මැරයන් පසුව පියාට සහ පුත්‍රයන් දෙදෙනාට ටී 56 අවියකින් වෙඩි තබා ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් පුද්ගලයා විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඝාතනයට ලක්වූ පුතුන් දෙදෙනාගේ මව සහ නැගණියද නිවසේ සිට ඇති අතර ඔවුන්ට අනතුරක් සිදුවී නැත. ඝාතකයන් ඔවුන් දෙදෙනා නිවසේ වෙනත් කාමරයකට දමා පියා සහ පුතුන් දෙදෙනා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ කරෝල ව්‍යාපාරයක් සහ මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් කරගෙන යන 50 හැවිරිදි අකලහන්දි ලක්‍ෂ්මන් පුෂ්පකුමාර හෙවත් රාලහාමි නමැති අයෙකි. ඝාතනයට ලක්වූ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා වන්නේ 25 හැවිරිදි අකලහන්දි සුරේෂ් ජීවන්ත සහ 23 හැවිරිදි අකලහන්දි රොෂාන් මධුවන්ත යන අය බව හඳුනාගෙන ඇත.

සරුන්ගල් යැවීමේදී ඇති වූ ආරවුලක් හේතුවෙන් ඉකුත් 2017 වර්ෂයේදී සිදුවූ ද්විත්ව ඝාතනයකට ඊයේ මරාදැමුණු රාලහාමි සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා සම්බන්ධ බව පොලිසිය පවසයි.

ඊයේ පෙරවරුවේ සිදුකළ මෙම ත්‍රිත්ව ඝාතනයට පැමිණි පාතාල මැරයන් පළාගිය මෝටර් රථය බඩල්ගම ප්‍රදේශයේ මහමග දමාගොස් තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබිණි. එම මෝටර් රථය කුලී පදනම මත ලබාගෙන තිබූ එකක් බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඉකුත් 2017 වර්ෂයේ අගෝස්තු 26 වැනිදා මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දෙපිරිසක් අතර සරුංගල් ඇරීමේදී ආරවුලක් ඇති වී තිබිණි. මෙම ආරවුල දුරදිග යෑමෙන් පසු එදිනම පියා සහ පුතා තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර තිබිණි. එහිදී ඝාතනයට ලක් වූයේ කරවල ව්‍යාපාරිකයකු වන 50 හැවිරිදි ලාල් සිල්වා සහ ඔහුගේ පුත්‍රයා වන සුරාජ් ධනංජය ප්‍රේමසිරි සිල්වා යන පිය පුතු දෙපලයි.

මේ අතර එම ද්විත්ව ඝාතනය මෙහෙයවූ බව කියන 65 හැවිරිදි විජේසූරිය ජස්ටින් රත්නසීල නමැත්තා 2018 වර්ෂයේ අගෝස්තු 08 වැනිදා මිනුවන්ගොඩ යටියනදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.

සරුංගල් සිද්ධිය මුල්කර ගත් ආරවුල තවත් දුර දිග යෑමෙන් පසු 2021 වර්ෂයේ ජුනි 20 වැනිදා කොටගෙදර ප්‍රදේශයේදී 23 හැවිරිදි ලක්‍ෂිත ලක්මාල් ද සිල්වා කපා කොටා ඝාතනය කරන ලදී.

ලක්මාල් නමැත්තා යතුරුපැදියක යද්දී ඒ පසුපස පන්නාගෙන ආ රාලහාමි සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා ඔහුට තියුණු ආයුධවලින් පහරදී කපා කොටා ඝාතනය කර තිබිණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් රාලහාමි සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබිණි. මාස කීපයකට පසු මොවුන් තිදෙනා ඇපමත මුදාහැරීමෙන් පසු නැවත මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයට පැමිණ තිබේ.

මොවුන් තිදෙනා ඊයේ පෙරවරුවේ ඝාතනයට ලක්වන්නේ ඒ අතරතුරදීය.

මෙම ත්‍රිත්ව ඝාතනය මුදල් කොන්ත්‍රාත්තුවක් මත පාතාල කල්ලියක් විසින් සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරි අසිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති සාලිය පතිරාජසූරිය, පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. පී. එන්. කරුණාරත්න ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

හේමන්ත රන්දුණු සහ ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment