සල්ලිත් නැති විදුලි බිලත් නැගපු රටක කර්මාන්ත වළපල්ලට

87

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල සේවකයන් ලක්‍ෂ පහළොවකට රැකියා අහිමි වෙලා…

වැසුණු ගාමන්ට්වල සේවය කරපු සමහර කාන්තාවන් දැන් ස්පාවල වැඩ…

ඉදිරියේදී තව කර්මාන්තශාලා වැසී රැකියා අහිමි වන සංඛ්‍යාව වැඩි වෙනවා…

භාණ්ඩ වර්ග 983ක ආනයනය අදටත් සීමා කර තියෙනවා…

ආසියානු කලාපයේ රටවල් අතරින් විදුලි ගාස්තු වැඩි කිරීමෙන් ලංකාව දෙවැනි වන්නේ සිංගප්පූරුවට විතරයි…

මෙරට ආර්ථිකය විනාශ කිරීමේ පළමු බෝම්බය 2019 වර්ෂයේ සහරාන්ගේ පාස්කු ප්‍රහාරයයි. ඒ අන්ධකාර දිනයෙන් පසු මෙරට සිටි විදේශීය සංචාරකයෝ ද මරණ බියෙන් සලිත වී යන්න ගියහ. කොටි ත්‍රස්තවාදයේ අවසානයත් සමඟ දවසින්, දවස දියුණු වෙමින් තිබූ මෙරට සංචාරක කර්මාන්තය චණ්ඩ මාරුතයකට හසු වූ මහා රුක්ෂයක් සේ කඩා වැටිණි. සුද්දන්ට තැඹිලි කැපූ, වෙස් මුහුණු විකිණූ අහිංසක වෙළෙන්දාගේ සිට සංචාරක කර්මාන්තයට සේවා සැපයූ සුළු හා මධ්‍ය පරිමාණ සියලු ව්‍යාපාර කඩා වැටිණි. 2018 වර්ෂය තුළ මෙරට ට පැමිණි මිලියන තුනකට ආසන්න විදේශීය සංචාරකයන් සංඛ්‍යාව, එම වර්ෂය තුළ මෙරට ආර්ථිකයට එකතු වූ ඩොලර් බිලියන පහකට ආසන්න ආදයම දරාගත නොහැකි ලෙස පහළ වැටිණි. එමෙන්ම සංචාරක කර්මාන්තයේ කඩා වැටීමත් සමඟ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අඟුළු වැටීම ආරම්භ විය. මෙරට සමස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ කඩා වැටීමට සහරාන්ගේ පාස්කු ප්‍රහාරය 8% ක පමණ සෘජු බලපෑමක් සිදු කර ඇති බව සැබෑය.

අනතුරුව ලොව පුරා පැතිර ගිය කොවිඩ් වෛරසය 2020 – 21 වර්ෂවලදී මෙරට ව්‍යාප්තවීමත් සමඟ ආනයන, අපනයන වෙළෙඳාම නතර විය. එහි ප්‍රතිඵලයක් ලෙස මහා පරිමාණ කර්මාන්තවලට සාපේක්‍ෂව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට දැඩි බලපෑමක් එල්ල විය. විදේශීය අමුද්‍රව්‍ය මත යැපුණු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇණහිටිණි. ආනයන නතර වී නැව් ගමනාගමනය සීමා වීම තුළ විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කොටගෙන භාණ්ඩ නිෂ්පාදනය කළ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ අපනයන වෙළෙඳාම නතර විය. විසිතුරු භාණ්ඩ, විසිතුරු මසුන්, මත්ස්‍ය මෙකී නොකී සියලුම සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට හතේ හත වැදිණි. සියලු ක්‍ෂේත්‍ර අකර්මන්‍ය කර කොවිඩ් වසංගතය සාමාන්‍ය බෝ වන රෝගයක් තත්ත්වයට පත්වන පසුබිමක ලෝක ආර්ථික අර්බුදය මෙරට ට දැඩිව දැනෙමින් තිබිණි. ක්‍රමයෙන් උත්සන්න වූ ආර්ථික අර්බුදය තුළ ඩොලරයේ අගය ඉහළ ගොස්, භාණ්ඩ ආනයනය සීමා කිරීමත් සමඟ අමුද්‍රව්‍ය ලබාගැනීමට ඇති නොහැකියාව නිසා අමාරුවෙන් කරගෙන ගිය ඉතිරි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ද අගුළු වැටිණි. ආනයන සීමා කිරීම, අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ ණයවර ලිපි නිකුත් කිරීම අවම වීම තුළ මහා පරිමාණ කර්මාන්ත ද අපහසුවෙන් පවත්වාගෙන යන තත්ත්වයට පත් විය.

සල්ලිත් නැති විදුලි බිලත් නැගපු රටක කර්මාන්ත වළපල්ලට
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ

කලට වෙලාවට ගල්අඟුරු ආනයනය කරගැනීමට නොහැකිවීම, ගල්අඟුරු මිල අධික ලෙස ඉහළ යෑම තුළ මෙරට යකඩ උණු කර භාණ්ඩ නිෂ්පාදනය කරන බොහෝ ආයතන වසා දැමිණි. පොලිතින්, ප්ලාස්ටික් කර්මාන්තයට ද ඒ නස්පැත්තියම සිදු විය. ඒ තුළ දේශීය ඇසුරුම් කර්මාන්තය කඩා වැටීම මෙරට සමස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයට මරු පහරක් වැදිණි. කඩදාසි ආනයනය සීමාවීම තුළ මුද්‍රණ කර්මාන්තයේ මහා පරිමාණ කර්මාන්ත ඉතිරි වෙන්න සුළු කර්මාන්ත නැවත ගොඩනැඟිය නොහැකි තත්ත්වයට අගුළු වැටිණි. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අවශ්‍ය යකඩ ඇණයේ සිට ආනයන සීමා කිරීම, මෙරට යකඩ නිෂ්පාදන මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම, සිමෙන්ති වෙළෙඳාම ඒකාධිකාරියක්වීම තුළ සමස්ත ඉදිකිරීම් ක්‍ෂේත්‍රය කඩා වැටිණි. 2015 වර්ෂය වන විට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයෙන් මෙරට ආර්ථිකයට ලබාදුන් 17% ක දායකත්වය 2018 වර්ෂය වන විට 6% ට ද, මේ වන විට බින්දුවට ද වැටී තිබේ. ඉදිකිරීම් කර්මාන්තය අකර්මන්‍යවීම තුළ දේශීය උළු කර්මාන්තය, ගඩොල් කර්මාන්තය, සිමෙන්ති ගල් නිෂ්පාදන කර්මාන්තය, විසිතුරු කොන්ක්‍රීට් ගල් නිෂ්පාදනය, වෙනත් කොන්ක්‍රීට් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත කඩා වැටිණි.

රසායනික පොහොර, කෘමි නාශක තහනමත් සමඟ සමස්ත වැවිලි කර්මාන්ත ක්‍ෂේත්‍රයට මරු පහරක් වැදිණි. වී ගොවිතැනක්, එළවළු කොරටුවක් කරගෙන ජීවත් වූ මිනිසුන් නන්නත්තාර විය. හාල්, එළවළු මිල පමණක් නොව කුණු කාණුවෙන් කඩාගෙන මිටි බැඳ විකුණන කංකුං මිටියේ මිලත් තෙගුණයකින් වැඩි විය. රසායනික පොහොර, තෙල් බෙහෙත් අර්බුදය සමනය වන පසුබිමක ඉන්ධන, ගෑස් අධික මිලකින් ඉහළ ගොස් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු විය. ඉන්ධන මිල ඉහළ යෑම තුළ යාත්‍රා මුහුදට යැවීමට වත්කමක් නැති ධීවරයන්ගේ බහුදින යාත්‍රා ගස් බැඳිණි. සමස්ත ධීවර කර්මාන්තය ම අකර්මන්‍ය විය. එමෙන්ම ඉන්ධන, ගෑස් මිලේ අධික වැඩිවීම මෙරට සමස්ත ක්‍ෂේත්‍රයන්ට මෙන්ම ජන ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කෙරිණි. සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියහ. පාන් පිටි, සීනි, බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම තුළ පිටි කෑම නිෂ්පාදනවල මිල තෙගුණයකින් පමණ වැඩි විය. භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ජනතාවගේ ආදයම් තත්ත්වය වැඩි නොවෙන පසුබිමක මිල දී ගැනීමේ හැකියාව අවම වී මෙරට සමස්ත බේකරි කර්මාන්තයේ 60% කට වැඩි ප්‍රමාණයක් ඈවර කිරීමට සිදු විය.

එමෙන්ම රටේ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව හිනවීම නිසා දේශීය සෙරමික් කර්මාන්තයේ මහා පරිමාණ කර්මාන්ත පහක් අසීරුවෙන් කරගෙන යන පසුබිමක සුළු හා මධ්‍ය පරිමාණ සියලු සෙරමික් කර්මාන්ත වැසී ගියහ. සත්ව ආහාර ආනයනය නතර කිරීම, මෙරට බඩඉරිඟු අස්වැන්න අඩුවීම, හාල් මිල වැඩිවීමත් සමඟ දහයියා ගෝනියේ සිට සියලු සත්ව ආහාර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා සුළු හා මධ්‍ය පරිමාණ සත්ව ගොවිපළවල් 80% ට ආසන්න ප්‍රමාණයක් වැසී ගියහ. මස්, බිත්තර පිටරටින් ආනයනය කරන තත්ත්වයක් රට තුළ නිර්මාණය විය. මෙරට සමස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ 50% ට ආසන්න සංඛ්‍යාවක් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් තුළ පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේදී කර්මාන්තශාලාවල විදුලි ගාස්තුව 75% කින් වැඩි කෙරිණි. එම විදුලි ගාස්තු වැඩිවීමත් සමඟ ගහෙන් වැටී හතර හන්දි කැඩි සිටින පුද්ගලයකුට ගෝනා ඇන්නා වැනි දෙයක් මෙරට කර්මාන්ත ක්‍ෂේත්‍රයට සිදු විය. එම බර කර්මාන්තකරුවන් විසින් පාරිභෝගික ජනතාව මත පටවා සැහැල්ලු විය. එහෙත් භාණ්ඩ මිල වැඩිවී, මිලදී ගැනීමේ හැකියාව තවත් දුර්වල වීම තුළ ජනතාව මත පැට වූ විදුලි ගාස්තුව නැවත කර්මාන්තකරුවන් දෙසට විතැන් විය. ඒ අල්ලපනල්ලේ රජය විසින් සියලු බදු අනුපාත වැඩි කර, බැංකු පොලී අනුපාත ද වැඩි කෙරිණි. 6% ට 7% ට ලබාගත් බැංකු ණයවල පොලිය 30% ට 32% වැඩි කෙරිණි. 12% ට 13% ට තිබුණු තාවකාලික ආනයනික ණය පොලී අනුපාතය 32% – 33% න් ඉහළ දැමිණි. තාවකාලික බැංකු අයිරා පහසුකම් ලබාදීම බැංකුවලින් නතර කෙරිණි. 7% ට 8% ට පොලී අනුපාතයන් යටතේ ලබාගත් බැංකු ණයවල පොලිය 20% දක්වා වැඩි කෙරිණි. ගලා ගෙන ආ ආර්බුද ගංගාවකින් යට වී දිවි ගලවාගැනීමට අත්තටු ගහමින් සිටින මිනිසුන් සහිත රටක නැවත 63% න් විදුලි ගාස්තු ඉහළ දැමිණි. වැඩි වූ විදුලි ගාස්තු මහා පරිමාණ කර්මාන්තශාලාවලට ද දරාගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව දැනගැනීමට ලැබේ. විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තශාලාවල සේවා කාලය අඩු කරන තත්ත්වයට විදුලි ගාස්තු වැඩිවීම ඛේදවාචකයක් බවට පත් වී ඇත. මෙරට පවත්වාගෙන ගිය සුළු, මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලා වැසී ගොස් එම ආයතන තුළ සේවය කළ කාන්තාවන් ස්පාවල සේවයට යන තත්ත්වයට පත්ව සිටින බව වාර්තා වන විට ගත සිත සලිත විය. එමෙන්ම සමස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ කඩා වැටීම තුළ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල සේවයේ නියුක්තව සිටි ලක්‍ෂ දහයකට, පහළොවකට ආසන්න පිරිසකට රැකියා අහිමි වී තිබේ. එම කර්මාන්තවලින් වක්‍රාකාරයෙන් යැපුණු පිරිස ඊට වැඩි විනා අඩු නොවන බවත් කරුණු ඉදිරිපත් කළ ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ සහ සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර යන මහත්වරු අප සමඟ පැවසූහ.

“පාස්කු ප්‍රහාරයෙන් පසු මේ වෙනකොට මෙරට කර්මාන්ත ක්‍ෂේත්‍රයේ විශාල හැකිළීමක් සිද්ධ වෙලා තියෙනවා. බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැසී ගොස් තියෙනවා. පවත්වාගෙන යන කර්මාන්තශාලාවල සේවකයන් දෙතුන්, දෙනකුට වඩා වැඩ කරන්නේ නෑ. ඒ වගේම පවත්වාගෙන යන කර්මාන්තවලට අමුද්‍රව්‍ය හිඟතාවය, දේශීය, විදේශීය වෙළෙඳපොළ අහිමිවීම තවම යථාවත් වෙලා නෑ. භාණ්ඩ වර්ග 983 ක් ආනයනය අදටත් සීමා කර තියෙනවා. භාණ්ඩ නිෂ්පාදනය අවශ්‍ය අමුද්‍රව්‍ය වර්ග රාශියක් ඒ තුළ තියෙනවා. ප්‍රග්ධන හිඟය, නවීන තාක්‍ෂණ දැනුම ලබාගැනීමට තිබෙන නොහැකියාව දැඩි ලෙස වර්ධනය වෙලා තියෙනවා. පහුගිය දිනවල රත්නපුර දිස්ත්‍රික්කයේ අප කළ සමීක්‍ෂණයකදී ඉදිකිරීම් කර්මාන්ත ක්‍ෂේත්‍රයේ පමණක් ව්‍යාපාර ස්ථාන තුන්දහස් ගාණක් වැසී ගොස් තිබෙන බව වාර්තා වුණා. සිමෙන්ති ගල් නිෂ්පාදන ආයතන, ගඩොල් කපන ස්ථාන, ගල් වළවල්, වැලි තොටුපළවල්, ලී මඩු වැසී ගොස් තිබෙනවා. එම ස්ථානවල සේවය කරපු අය වගේම වඩු බාස්වරු, මේසන් බස්වරු, විදුලි කාර්මිකයන්, අත්උදව්කරුවන් විශාල පිරිසකට රැකියා අහිමි වෙලා තියෙනවා. ඒ රත්නපුර දිස්ත්‍රික්කය තුළ පමණයි. සමස්ත රටේ රැකියා අහිමිවීම ගැන තවම ගණනය කිරීමක් නෑ…” රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ කතාවට විරාමයක් තබා අපි නැවත කතාව පටන් ගත්තෙමු.

කර්මාන්ත කඩා වැටීම, රැකියා අහිමි පිරිස වැඩිවීම තුළ රටේ මුදල් සංසරණය විශාල වශයෙන් ඇණහිට තිබේ. එමෙන්ම මොනයම් ක්‍රමයකින් හෝ රුපියලක ආදායමක් නොලබන පිරිස විශාල වශයෙන් වැඩි වෙමින් සිටින බව ද වාර්තා වේ. එවැනි ඛේදනීය තත්ත්වයක් තුළ දේශීය කර්මාන්ත නඟාසිටුවීමට, සමස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයට සිදුව ඇති අගතිය පිටුදකින සාර්ව ආර්ථික මූලධර්ම ක්‍රියාත්මක කිරීමක් රජයේ අයවැය ප්‍රතිපත්තිය තුළ දකින්නට නොලැබේ. අයවැය ප්‍රතිපත්තියත්, මුදල් ප්‍රතිපත්තියත් කේන්ද්‍රගතව ඇත්තේ බදු අය කිරීම් තුළින් ජනතාවගේ මුදල් කොල්ලකෑමටය. ඒ තුළ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව, ආයෝජන හැකියාව තව, තවත් හීන වෙමින් තිබේ. පොලී අනුපාතයන් වැඩි කිරීම තුළින් ජනතාවගේ මුදල් තව, තවත් බැංකුවලට එකතු කරති. එහි අවසාන ප්‍රතිඵලය ලෙස ආර්ථිකය විශාල හැකිළීමකට ලක් වේ. එමෙන්ම ඇමෙරිකන් ඩොලර් මිලියන හාරසීයක ණය මුදලක් ලැබීමත් සමඟ ඩොලරයේ අගය පහළ ගිය ද එම වාසිය රටේ කර්මාන්තකරුවන්ට, රට වැසියන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් ගැන ද රජය තවම කතා නොකරයි. ඉහළ ගිය නිෂ්පාදන වියදමට 63% න් නැවත විදුලි ගාස්තු වැඩි කිරීම තුළ භාණ්ඩ නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කර ඵලක් නැති බව කර්මාන්තකරුවන්ගේ අදහසය. මෙරට භාණ්ඩ මිලට සාපේක්‍ෂව ඉන්දියාව, බංගලාදේශය සහ වියට්නාමය වැනි රටවල භාණ්ඩ මිල ඉතා අවමය. එවැනි පසුබිමක විදේශීය වෙළෙඳපොළ ද අපට අහිමි වී අවසානය.

සල්ලිත් නැති විදුලි බිලත් නැගපු රටක කර්මාන්ත වළපල්ලට

එමෙන්ම රටේ ජනතාවගේ විදුලි පරිභෝජනය 25% ට වඩා අඩු වී තිබේ. ජල පරිභෝජනය, ආහාර පරිභෝජනය විශාල වශයෙන් අඩු වී ඇත. මිලදී ගැනීමේ හැකියාවට සාපේක්‍ෂව රටේ ජනතාවගේ ඇඳුම්, පැළඳුම් සියලු අවශ්‍යතා සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබේ. සමස්ත ආර්ථිකය ශීඝ්‍රයෙන් හැකිළෙමින් තිබේ. භාණ්ඩ හා සේවා සඳහා තිබෙන සමස්ත ඉල්ලුම 30% න් පමණ අඩු වී තිබේ. ඉල්ලුම අඩුවීම තුළ වෙළෙඳාම අඩු වේ. හිතා මතා රටේ ආර්ථිකය සංකෝචනය කරමින්, විදේශීය ණය මත යැපීම හැර පවතින රජය ඩොලර් උපයන සැලසුම් ඉදිරිපත් නොකරයි. හුරු පුරුදු පරිභෝජන රටාවට යෑමට නොහැකි මිනිස්සු විශ්වාසභංගත්වයට පත්ව සිටිති. හිස මත වැටී තිබෙන ආපදාවෙන් මෙරට ජනතාව හිරි වැටී සිටී. මේ කිසිවක් අහඹු නොවේ. පවතින ආර්ථික අවපාතය, රටේ කර්මාන්ත ක්‍ෂේත්‍රය අකර්මන්‍ය කිරීම, ජන අරගල, ආණ්ඩු පෙරළීම්, සමාජ තත්ත්වය උඩු යටිකුරු කිරීම, බෞද්ධ දර්ශනයට පහරගැසීම, දේශපාලන පක්‍ෂ ඉස්මතු වීම දීර්ඝකාලීන ජාත්‍යන්තර කුමන්ත්‍රණවල විවිධ පැතිකඩයන්ය. පවතින රජය දැන හෝ නොදැන මේ රටේ සම්පත් කොල්ලකෑමට වෙර දරන ලෝක බලවතුන්ගේ උපායශීලී කුමන්ත්‍රණවලට සහාය දෙමින් සිටින බව පෙනේ.

රුපියල් බිලියන 40 ක රසායනික පොහොර වෙළෙඳපොළ කම්බස් කර රුපියල් බිලියන 190 ක හාල් වෙළෙඳපොළක් නිර්මාණය කිරීම, මස්, බිත්තර පිටරටින් ආනයනය කරන තත්ත්වයට පත් කිරීම, අලුත් වෙළෙඳපොළවල් නිර්මාණය කිරීම පිටුපස සිටිනුයේ දේශපාලන ශක්තිය මත ක්‍රියාත්මක වන මෙරට මහා පරිමාණ තොග ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් පමණි. එමෙන්ම ජනතාව මත බදු බර වැඩි කර, රටේ ජනතාවට දරාගැනීමට නොහැකි ලෙස විදුලි ඒකකයක මිල රුපියල් හතළිස් ගාණකින් වැඩි කර ඇත. ආසියානු කලාපයේ විදුලි ගාස්තු වැඩියෙන්ම අය කරනු ලබන රටවල් අතර ලංකාව දෙවැනි වනුයේ අසිංගප්පූරුවට පමණි. එහෙත් සිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 54000 කි. මෙරට ඒකපුද්ගල ආදායම ඩොලර් 2500 කි. මේ ආකාරයෙන් විදුලි ගාස්තු වැඩි කිරීම, කර්මාන්තකරුවන් සූරාකන බදු ප්‍රතිපත්ති අනුගමනය කිරීම තුළ ඉදිරියේදී කර්මාන්ත තව තවත් වැසී යෑමට ඉඩ තිබේ. රැකියා අහිමි වන පිරිස වැඩි වේ. දුප්පත්කම වැඩි වේ. මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන ළමයි සංඛ්‍යාව වැඩි වේ. පෙළගැසෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණවල අවසාන ප්‍රතිඵලය කායික සහ මානසික දුබලතාවයන්ගෙන් පෙළෙන අනාගතයක් මෙරට නිර්මාණය කිරීමකි. මේ රට හයිටියක්, සිරියාවක් බවට පත් කිරීමය. එවැනි රටක ජීවත්වන මිනිස්සු කෑම ඉල්ලා අරගල කරනවා විනා මේ රටේ ආර්ථික මර්මස්ථාන විකුණනවාට විරුද්ධව අරගල නොකරති.

ගෝත්‍රික ලෝක බලවතුන්ගේ කුමන්ත්‍රණ තවම අවසාන නැත. හොඳ, හොඳ සෙල්ලම් එළිවන ජාමෙට කියනවා වගේ මෙරට ජනතාව පීඩාවට පත්කරවන විවිධ අර්බුද ඉදිරියටත් රට තුළ මතු වෙයි. බුද්ධියෙන් මුහුණදෙනවා විනා එම කුමන්ත්‍රණ හමුවේ අපට කළ හැකි වෙනත් කෙන්ගෙඩියක් නැත.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment