සල්ලි අච්චු ගසා පන්දහස දුන්නොත් රටට වෙන දේ සිතාගත නොහැකියි – කාවින්ද ජයවර්ධන

197

ආණ්ඩුව රුපියල් පන්දාහක් දෙන්නේ නම් රටේ සෑම කෙනකුටම එම රුපියල් 5000 දිය යුතු බවත් එහෙත් එම මුදල් අලූතින් අච්චු ගසා ලබා දුනහොත් රටට සිදුවන දෙය පිළිබඳ සිතා ගත නොහැකි බව සමගි ජන බලවේගය ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මේ නව වසර සුබ නව වසරක් කියලා ප‍්‍රාර්ථනා කළාට එය මොනතරම් දුරට මල්ඵල ගනියිද කියන එක පිළිබඳව වර්තමාන රජය රට කරගෙන යන විදියෙන් සාධාරණ සැකයක් තියෙනවා. 2021 වසරට සාපේක්ෂව ගත්තම ඒ වසර තුළ පමණක් දෙලක්ෂ විසි දාහකට ආසන්න ශ‍්‍රී ලාංකික ප‍්‍රමාණයක් රට අතහැර ගිහින් තියෙනවා. එහිදී අපට කල්පනා කරන්න පුළුවන් ආණ්ඩුව පත් වෙච්ච දවසෙ ඉඳන් සෑම වසරකම ලක්ෂයක් පන්නලා මේ රට අතහැරලා යනවා. හේතුව මේ රට තුළ ජීවත් වීමේ හැකියාව රටේ ජනතාවට අහිමි වෙමින් පවතිනවා. බලාපොරොත්තු නෑ.

රට තුළ ආර්ථික අර්බුද ගණනාවකට ජනතාව පත්වෙලා. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. සෞඛ්‍ය කඩාගෙන වැටිලා. ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය කඩාගෙන වැටිලා. රාජ්‍ය යාන්ත‍්‍රණය කඩාගෙන වැටිලා. සාමය නීතිය පිළිබඳ ජනතාව තුළ සැකයක් ගොඩනැගෙමින් පවතිනවා. ඒ සියල්ලක්ම ගත්තම රට අතහැරලා යනවා මිසක් වෙන විකල්පයක් නැති තත්ත්වයට රටේ ජනතාව පත් වෙලා.

ඒ විදිහටම 2022 වුණොත් රටේ කවුරු ඉතුරු වෙයිද කියන එක පිළිබඳව සාධාරණ සැකයක් ඇති වෙනවා. මේ වෙනකොට මේ රට දැවැන්ත ආර්ථික අර්බුදයකට පත් වෙලා තියෙනවා. උද්ධමනයට පත්වෙලා හැම භාණ්ඩයකම මිල තුන් ගුණයකින් වැඩි වෙලා. මේ වෙන විට අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොවේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිල වැඩි වෙලා. එවන් තත්ත්වයක් තිබියදී මුදල් ඇමැතිතුමා ඇමරිකාවේ ඉඳන් ඇවිත් නින්දෙන් අවදිවෙලා වගේ එකපාරම රුපියල් පන්දාහක් දුන්නා. ඒ ගැන අපි සතුටුයි. හැබැයි ප‍්‍රශ්නය තියෙන්නෙ පන්දාහක් මදි කියන එක. ඒකෙන් කරන්න පුළුවන් මොකක්ද ගෑස් සිලින්ඩරයක් අරගෙන, සැමන් ටින් කිහිපයක් ගත්තම, හාල් කිලෝ පහක් දහයක් අරන් එළවළු කිහිපයක් ගත්තම පන්දාහයි ඉවරයි. එළවළු ගන්න වෙලා තියෙන්නෙ ග‍්‍රෑම් ගණන්වලට. ඒ තරම් ගණන්. ඒ නිසා ආණ්ඩුවට කියනවා රුපියල් 5000ක් දීලා ඒ විජ්ජාවෙන් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න උත්සාහ ගන්නවා නම් ඒ 5000න් අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ.

ඒ වගේම මේ රටේ රාජ්‍ය සේවකයෝ ඉන්නවා මිලියන 1.5 ක්. මේ රටේ ඉන්නවා විශ‍්‍රාමිකයන් 650000 ක්. සමෘද්ධිලාභීන් මිලියන 2.2 ඉන්නවා. මේ අයට බියගම තියෙන සල්ලි අච්චු ගහන මැෂිමෙන් අච්චු ගහලා දෙයි. රාජ්‍ය නිලධාරීන්ට විතරක් මේ 5000 වැඩි කිරීමෙන් බිලියන 9.48ක් අච්චු ගහන්න වෙනවා. එහිදී පෞද්ගලික ක්ෂේත‍්‍රයේ වැඩ කරන අය කම්කරුවෝ, ශ‍්‍රමිකයෝ, ධීවරයෝ, මේ රටේ තේ දලූ නෙලන කාන්තාවගේ ඉඳන් රෙදිපිළි කර්මාන්තයේ නියැලෙන, සංචාරක ක්ෂේත‍්‍රයේ නියැළෙන අයට මොකද වෙන්නේ. මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න මාධ්‍යවේදීන්ගේ බඩගින්න තේරෙන්නේ නැද්ද මේ ආණ්ඩුවට. ඒ නිසා අපි කියනවා මේ විජ්ජාව කරන්න එපා. මේ රටේ සල්ලි මැෂිම තියෙනකං අච්චු ගගහා බෙදයි. හැබැයි එය බෙදන්නේ කොටසකට පමණයි. අනිත් කොටසට මොකද වෙන්නේ. අපි දන්නවා මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න වැඩපිළිවෙළක් කරන්නේ නැතිව සල්ලි අච්චු ගහලා බෙදලා කරන්න මේ ආණ්ඩුව හිතෙනව නම් රටට වෙන්නේ මොකක්ද කියන එක පිළිබඳව ආර්ථික විශේෂඥ වෙන්න ඕන නැහැ එය තේරුම් ගන්න පුළුවන්.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment