සල්ලි පිල්ලි ගිය ආර්.එම්.වියේ පාඩුව ලයිසන් ගාස්තුවෙන් වැසීම

155

ප්‍රවාහන අමාත්‍යාංශය මගින් නව රියැදුරු බලපත්‍ර ලබාගැනීම, පවතින රියැදුරු බලපත්‍ර අලුත්වැඩියා කිරීම ඇතුළු ඊට අදාළ සියලුම ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරනු ලැබීය. මේ සමග රියැදුරු බලපත්‍ර ලබාගැනීමේදී ලිඛිත ප්‍රායෝගික පරීක්ෂණ අලුත් වාහන පංති එකතු කිරීම, බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඇතුළු සියලුම ගාස්තු දෙගුණයක් වැඩිවනු ඇත. මේ වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු විදුලිය, ජලය, ඉන්ධන ඇතුළු මෙකී නොකී සියලුම භාණ්ඩ හා සේවාවල මිල රට්ටුන්ට දරාගැනීමට නොහැකි අයුරින් ඉහළ ගොස් ඇත. මේ අතරේ රියැදුරු බලපත්‍ර ගාස්තුව ද ඉහළ දැමීම නිසා ජනතාව දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත්තේය. රියැදුරු බලපත්‍ර ගාස්තුව ඉහළ දැමීමත් සමග අපේ මතකයට එන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවයි. මෙකී දෙපාර්තමේන්තුව ගැන රට්ටුන් තුළ ඇත්තේ එතරම් හොඳ චිත්‍රයක් නොවේ. මෙකී ආයතනය වංචා දූෂණ හා අක්‍රමිකතාවලින් පිරීගිය ආයතනයක් බව වාර්ෂික විගණන වාර්තාවලින් ද අනාවරණය වී ඇත.

මෙකී දෙපාර්තමේන්තුව තුළ සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා ස්වරූපයේ ගනුදෙනු රැසක් විගණන වාර්තාවලින් අනාවරණය කොට ඇත. කොමිස් මුදල් ගැනීම හා අතයට ගනුදෙනුවලට ප්‍රසිද්ධ මෙකී ආයතනය අවසානයේ ජනතාව මත බරපටවා තිබේ. රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදීම ද දූෂිත ගනුදෙනුවකි. රියැදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 1340 බැගින් සැපයීමේ කොන්ත්‍රාත්තුව එක්තරා පුද්ගලික සමාගමක් වෙත ලබාදී තිබුණේ 2009 වර්ෂයේ දීය. එකී කොන්ත්‍රාත්තුව 2016 වර්ෂයේ මාර්තු මස 26 වැනි දින අවසන් වී තිබුණි. එහෙත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවතින මිල ගණන් යටතේම අවස්ථා පහකදී ගිවිසුම් කාලය දීර්ඝ කරමින් 2020 වර්ෂයේ ජුනි මස 30 වැනි දින දක්වාම එකී සැපයුම්කරුවෙතම කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණි.

අවස්ථා පහකදී මාස 51ක කාලයක් සඳහා ගිවිසුම දීර්ඝ කළද එක් අවස්ථාවකදී හෝ මිල ගණන් සංශෝධනය කිරීම සඳහා අදාළ සමාගම සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සාකච්ඡාකොට නොතිබුණි. මෙකී දූෂිත ගනුදෙනුව තුළ 2009 වර්ෂයේ සිට 2019 වසර දක්වා වසර 10ක කාලයක් තුළ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම වෙනුවෙන් ගෙවා ඇති මුදල රුපියල් කෝටි 1131කි. කොමිස් කුට්ටි මත සකසුරුවම් නොවන අයුරින් මෙකී සමාගම වෙත රාජ්‍ය මුදල් කෝටි 1131 මේ අයුරින් ගෙවා නොදැමුවේ නම් මේ අයුරින් රියැදුරු බලපත්‍ර ගාස්තුව ඉහළ දැමීමට සිදුනොවනු ඇත. කොන්ත්‍රාත්තුවේ ගිවිසුම් කාලය 2016 වර්ෂයේ දී අවසන් වන බව ඊට වසර 07ක කාලයක සිට හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරු දැනුවත්ව සිටියහ. මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සිදුකළ යුතුව තිබුණේ දෙපාර්තමේන්තුව විසින් රියැදුරු බලපත්‍ර මුද්‍රණය පවරාගෙන එය පවත්වාගෙන යෑමට අවශ්‍ය පිළියම් යෙදීමයි. නැතිනම් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් නව සැපයුම්කරුවකු තෝරාගැනීමට කටයුතු කිරීමයි. මෙකී කරුණු දෙකම කිරීමට නොහැකිනම් අඩුම වශයෙන් අදාළ සැපයුම්කරු සමග මිල ගණන් අඩුකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම කළයුතුව තිබුණි.

කොමිස් කුට්ටිවලට වහවැටී සිටි ඇතැම් නිලධාරීන් එසේ කටයුතු කරනවා වෙනුවෙන් මෙකී කොන්ත්‍රාත්තුව අදාළ සැපයුම්කරු වෙතම ලබාදීමට කටයුතු කර තිබුණි. කොන්ත්‍රාත්තුවේ කාලය අවසන් වීමෙන් පසුවත් වසර 04කුත් මාස 03ක් සඳහා මෙකී සමාගමට එකසිය හතර කෝටි පනස්හත් ලක්ෂ දොළොස්දහස් පන්සියයක මුදලක් ගෙවා රියැදුරු බලපත්‍ර (1,045,712,500) මුද්‍රණය කරවාගෙන තිබුණි. මෙකී කාලය තුළ මුද්‍රණය කරවාගෙන තිබූ රියැදුරු බලපත්‍ර සංඛ්‍යාව 3,075,625කි. අනික් කාරණය වන්නේ රියැදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා වෙනත් සමාගම් විසින් රුපියල් 300ක මිලක් ඉදිරිපත් කොට තිබියදී එක් රියැදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 1751ක මුදලක් ගෙවමින් මෙකී සමාගමට කොන්ත්‍රාත්තුව ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් කටයුතු කර තිබුණි.

කෙසේ වුවද අදාළ සැපයුම්කාර සමාගම විසින් හිටිහැටියේම 2020 වර්ෂයේ ජුනි මස 01 වැනි දින සිට මාස හයක කාලයක් සඳහා රියැදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීමේ මිල රුපියල් 1000ක් වන පරිදි රුපියල් 340කින් අඩුකිරීමට කටයුතු කරණු ලැබීය.

මෙරට උද්ධමනකාරී තත්ත්වයක් දිගින් දිගටම තිබියදී රුපියලේ විදේශ අගය අඛණ්ඩව පහළ යමින් තිබියදී රියැදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීමේ මිල රුපියල් 340කින් එනම් සියයට 25කින් අඩුකර තිබුණි. මේ තුළින් පැහැදිලි වන්නේ 2009 වර්ෂයේ සිට රුපියල් 1340ක මුදලකට රියැදුරු බලපත්‍රයක් මුද්‍රණය කරදීම තුළින් අදාළ සමාගම අධික ලාභයක් උපයාගෙන ඇති බවය. මෙකී කොන්ත්‍රාත්තුව විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පූර්ව ගිවිසුම් කාලය තුළදී ක්‍රියාවට නැංවූයේ නම් අවම මිල ගණන් යටතේ රියැදුරු බලපත්‍ර මුද්‍රණයකර ගැනීමට හැකිව තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් රියැදුරු බලපත්‍රයක් නිකුත්කොට ඇත්තේ රුපියල් 2000ක මුදලකට වන අතර එම මුදලින් අදාළ සමාගමට රුපියල් 1571ක මුදලක් ගෙවා ඇත්තේ මුද්‍රණ ගාස්තු වශයෙනි. මින් එක් රියැදුරු බලපත්‍රයකින් රුපියල් 10ක කොමිස් මුදලක් දූෂිත නිලධාරියකුට ගෙවනු ලැබූවද දූෂිත නිලධාරියකුට මාසයකට රුපියල් ලක්ෂ 06ක පමණ මුදලක් ලබාගත හැකි බව විගණනයේ දී පෙනීගොස් ඇත.

මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මුල් ගැනුම් පිරිවැය වූ රුපියල් 1340 ක මුදල විවෘත හා තරගකාරී මිල ගණන් යටතේ අමාත්‍ය මණ්ඩල මට්ටමේ ප්‍රසම්පාදනයකදී තීරණය වූ මිලක් බව සඳහන් කොට ඇත. මෙම සෑම ගිවිසුම් දීර්ඝ කිරීමකදීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති බව සඳහන් කොටතිබේ. එමෙන්ම මුදල් අමාත්‍යාංශය, අමාත්‍ය මණ්ඩලය හෝ වෙනත් ආයතනයක් මිල අඩුකිරීම යන කාරණය මතුකොට නොතිබූ බව විගණනයට සඳහන්කොට ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් විගණනයට කුමන බයිලාවක් ප්‍රකාශ කළද රජ්‍ය මුදල්වල යහපත් භාවිතයක් වෙනුවෙන් කාර්යක්ෂමතාවයකින් යුතුව දෙපාර්තමේන්තුවේ කළමනාකාරීත්වය කටයුතු කළ යුතුය. මේ අතර කිව් ආර් කේතය සහිත රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. එය ද රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ජාවාරම මෙන් තවත් මුදල් උපයාගැනීමේ ජාවාරමක් විය හැකි බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනතුරු අඟවති.

රියැදුරු බලපත්‍ර මුද්‍රණය පමණක් නොව මෝටර් රථ සඳහා අංක තහඩු මුද්‍රණය කිරීමද තවත් දූෂිත ක්‍රියාවලියක් බව විගණන විමසුම්වලදී අනාවරණය වී තිබේ. මෝටර් රථ සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම විවිධ පරිමාණවලින් සිදුකරනු ලැබේ. ඒවායේ ගැනුම් පිරිවැය ද විවිධ මිල ගණන් යටතේ විය. එමෙන්ම අංක තහඩුවල සටහන් කරන මතුපිට සලකුණ සියල්ල සියලු අංක තහඩු සඳහා එකාකාරීවී තිබුණි. කෙසේ වුවද මි.මී. 500 – 110 අතර තහඩුවේ විකුණුම් මිල සැපයුම්කරු විසින් තීරණය කොට ඇත්තේ කිසියම් ලාභ ආන්තිකයක් සහිතවය. ඒ අනුව එම ගැනුම් මිල පදනම් ලෙස ගෙන ඉතිරි අංක තහඩුවලට කළ ගෙවීම් ගණනය කළ විට 2015 වර්ෂයේ මැයි මාසයේ සිට 2019 වර්ෂයේ ජුනි මාසය දක්වා කාලය තුළ නිකුත් කළ අංක තහඩු වෙනුවෙන් රුපියල් හැත්තෑ එක්කෝටි අනූඑක් ලක්ෂ අසූදෙදහස් හත්සිය දාහතරක (719182714) මුදලක් වැඩිපුර ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

පසුගිය වර්ෂ 03 ක කාලයක් සඳහා මෙසේ විතැන්වූ වාහන 376 233ක අංක තහඩු වෙනුවෙන් මුද්‍රණකරුවෙත රුපියල් 778,448,278ක මුදලක් ගෙවා තිබුණි. මෙකී මුදලේ ඵලදායිතාවය පිළිබඳ විගණනයේදී ප්‍රශ්නගත කරුණක් වී ඇත. එමෙන්ම ආනයනික තහඩු වෙනුවෙන් වාර්ෂිකව දළ වශයෙන් රුපියල් මිලියන 260ක් පමණ වැය කරනු ලැබේ.

ඒ විතරක් නොව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සාවද්‍ය ලෙස දත්ත ඇතුළත් කරමින් සුඛෝපභෝගි ජීප් රථ 11ක් ඇතුළු වාහන 14ක් නිත්‍යානුකූල වාහන ලෙස මෙරට භාවිතය සඳහා මුදාහැරීමට කටයුතු කර තිබුණි. එකී මෝටර් රථ සඳහා නිෂ්පාදන හා, සුඛෝපභෝගි බදු මෙන්ම අනිකුත් රජයේ අයකිරීම් ලෙස අයවිය යුතු රුපියල් හතළිස් නමකෝටි අනූපන්ලක්ෂ හැටනමදහස් තුන්සියයක (499,569,300) ආදායමක් රජයට අහිමි වී තිබුණි. රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ හෝ මෙරටදී නීති විරෝධී ලෙස එකලස් කළ හෝ වාහන 14ක දත්ත මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සාවද්‍ය ලෙස ඇතුළත්කොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

පරිගනක පද්ධතියට සාවද්‍ය ලෙස නව ලියාපදිංචි දත්ත ඇතුළත් කොට ඇති අතර කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අයකර නොතිබුණි. මේ නිසා රජයට අහිමිවී ඇති ලියාපදිංචි ගාස්තු ආදායම රුපියල් 335,300කි. එමෙන්ම සුඛෝපභෝගී ජීප් රථවලින් රජයට අහිමිවී ඇති සුඛෝපභෝගි බදු ආදායම රුපියල් 37,50000කි. මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකොට නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment