සසරින් එතෙර වන්නට සිය පවුලම පැවිදි බිමට… කතෝලික ආගමේ කුල දරුවෙකුත් පැවිද්දට…

847

එකම පවුලේ මව පියා දරුවන් දෙදෙනා ඥාති දියණියක් ඇතුළු කුල දරු දැරියන් හත් දෙනකු පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවයක් කතෝලික ආගමේ කුල දරුවකු ඒ අතර සසර කෙටි කරගන්න බොහෝ දෙනා පින් දහම් කටයුතු කළ ද බැඳීම්වලින් ඈත් වන්නට බොහෝ දෙනා අකමැත්තක් දක්වන බව සමාජය දෙස විමසිලිමත්ව බැලීමේදී අපට දැකිය හැකිය.

දෙනවාට වඩා එක්රැස් කරගැනීම බෙහෙවින් සිදුවන කාර්යයක්. එවන් පසුබිමක් තුළ තමන් සතු සියලු දේ අත්හරිමින් දරු පැටවුන් සමග සසුන්ගත වූ පවුලක් පිළිබඳ අපූරු පුවතක් අපට පසුගිය දා වාර්තා වුණා. තමන්ගේ සියලු දේ දන් දෙමින් සසර ගමන කෙටි කර ගැනීමේ අරමුණින් ඔවුන් ආගම අනුකූලව කටයුතු කිරීමට තීරණය කිරීම සහ සසුනට ඇතුළු වීම බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් වුණා. ඒ අපූරු සිදුවීම් වාර්තා වූයේ බිංගිරිය කරව්වැව ප්‍රදේශයයෙනි.

සසරින් එතෙර වන්නට සිය පවුලම පැවිදි බිමට... කතෝලික ආගමේ කුල දරුවෙකුත් පැවිද්දට…

එකම පවුලේ පියා වන වයස අවුරුදු 39 ක් වූ ලක්ෂ්මන් ආරියරත්න, අවුරුදු 37 ක් වූ ඔහුගේ ආදරණීය බිරිඳ වන රසිකා දිල්හානි, අවුරුදු 10 ක් වයසැති යසිත් දෙනුවන් හා අවුරුදු 07 ක් වූ නිම්සර දෙනුවන් යන එකම පවුලේ සිව්දෙනා සහ ඥාති දියණියක් වන 19 වන වියේ පසුවන තාරුකා උදානි යන අය මෙසේ සසුන්ගත වූහ.

මේ අය අතර මාරවිල තල්විල ප්‍රදේශයේ පදිංචි කතෝලික ආගමේ 38 වියේ පසුවන දිලූෂ රොහාන් නැමති අය මෙදින සසුන්ගත වීම ද විශේෂත්වයකි.

බිංගිරිය කරව්වැව අනීඝ සද්ධර්මෝද අසපු ආරාමයේ ප්‍රධාන අනුශාසක උඩුනුවර පසන්න මානස හිමිගේ සංකල්පයක් අනුව පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවය බිංගිරිය කරව්වැව අසපු ආරාම පරිශ්‍රයෙහි දී සිදුකෙරිණි.

ලක්ෂ්මන් ආරියරත්න සහ රසිකා දිල්හානි මීට වසර ගණනාවකට පෙර විවාහ දිවියට පිවිසීමෙන් පසු සයිප්‍රස් රටෙහි රැකියාවන් සඳහා පිටත්ව ගියේය. එහි වසර කීපයක් සේවය කර සිය කුළුඳුල් දරුවා පිළිසිඳ ගත් පසු බිරිඳ ලංකාවට පැමිණෙන්නට තීරණය කළාය. ඉන් පසු වසර තුනක් පමණ ගිය විට ලක්ෂ්මන් ආරියරත්න ද ලංකාවට පැමිණ වාහන සම්බන්ධව ව්‍යාපාරක් පවත්වා ගෙනයෑමට කටයුතු කළේය. බිරිඳ ද බිංගිරිය ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යෑමට කටයුතු කළාය. සිය දෙවන දරුවා මෙළොව එළිය දකින්නේ ඒ අතරතුරය. විදෙස්ගතව සිටියදී සහ මෙරට දී ඔවුන් හරි හම්බ කරගත් දේවලින් අන් අයට උපකාර කිරීමට ඔවුන් නොපැකිලිව කටයුතු කළේය. පවුලේ යම් අයකුගේ අඩුපාඩු මෙන්ම ගමේ කාගේ හෝ ඉල්ලීමට ඔවුන් ඇහුම්කන් දුන්නේ ඉතාම සංවේදී ලෙස ය. දරුවන් දෙදෙනා සමග ආගමික කටයුතුවලට බෙහෙවින් නැඹුරු වූහ. දරුවන් දෙදෙනා බිංගිරිය ජාතික පාසලේ ඉගෙනුම ලැබූහ. දරුවන් සමග ඔවුන් නිරන්තරයෙන් බිංගිරිය කරව්වැව අසපු ආරාමයේ දහහම් සිසිල විඳ ගැනීමට යෑමට කටයුතු කළෝය. කාලය ගතවීමත් සමග මෙසේ ආගම දහමට නැඹුරුව සියලු ලෞකික ආශාවන් සිතුම්, පැතුම් අතහැර පසුගියදා සසුන්ගත වීමට ඔවුන් තීරණය කළේ ජීවිතයේ කිසිදු කලකිරීමක් හෝ වෙනත් හේතුවක් නිසාවෙන් නොව මෙතෙක් කර ගත්තා වූ ලොකුම කුසලකර්මයක් වන බවට හා හතර වරිගයම නිවන් දකින්න හේතු වන බවට බැතිබර සිතක් පහළ වීම නිසාවෙන් විය හැකිය.

මේ අනුව ලක්ෂ්මන් ආරියරත්න බිංගිරියේ සතිමන්ත හිමි නමින්ද, රසිකා දිල්හානි බිංගිරියේ සිසුඋපචාලා නමින්ද, නිම්සර දෙනුවන් බිංගිරියේ අමරවංශ හිමි නමින්ද, යසිත් දෙනුවන් බිංගිරියේ කල්‍යාණවංශ නමින්ද, තාරුකා උදානි බිංගිරියේ උත්පලවණ්නා නමින්ද, දිලූෂ රොහාන් සන්තබෝධි හිමි නමින්ද සසුන්ගත වූහ.

දිවයින පුරා බොහෝ වෙහෙර විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා නොමැතිව සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යෑමට බුද්ධ පුත්‍රයන්ගේ අඩුවීම බරපතළ ලෙස වර්තමානයේ දැනෙමින් පවතින සමයක පැවිදිවීම බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා සිදුකළ කැපකිරීම කා අතරත් කතාබහට ලක් වූහ.

අමරපුර නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ නුවරඑළිය දිශාවේ ප්‍රධාන සංඝනායක, මහනුවර මාපනාවතුර සම්බෝධි විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ඇකිරියේ පඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේ හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි පුත්තලම දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හලාවත කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය හාල්පන්විල පාලිත ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම කුල දරුවන් පැවිදි කිරීම සිදු කළහ.

සසරින් එතෙර වන්නට සිය පවුලම පැවිදි බිමට... කතෝලික ආගමේ කුල දරුවෙකුත් පැවිද්දට…

බිංගිරිය කරව්වැව අනීඝ සද්ධර්මෝද අසපු ආරාමයේ ප්‍රධාන අනුශාසක උඩුනුවර පසන්න මානස හිමිගේ සංකල්පයක් අනුව කුල දරුවන් සසුන්ගත කිරීම සිදු වූ අතර අමරපුර නිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර අංකුඹුර ශ්‍රී සෝමානන්ද පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය ඉහළ මුල්ලේ සුගුණ වංශාභිධාන නාහිමිපාණන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment