සසර ගමන නිමා කරන්න එකම පවුලේ සිව්දෙනා එකම දින පැවිදි බිමට

1096

මම, මගේය, අපේය කියමින් ජීවිත කාලය පුරා විවිධ හැලහැප්පීම්වලට ලක්වෙමින්, සසර බැඳීම්වලින් වෙලී ගත කරනු ලබන ජීවිතය නිමා කරමින් ගේ, දොර, ඉඩකඩම්, යාන වාහන ආදී සියලු ලෞකික සැප සම්පත් හැරදමා ලෝකෝත්තර සුවය පතා එකම පවුලේ පියා, මව හා දරු දෙදෙනා එකම දින එකම ස්ථානයකදී හිස් මුඩුකොට, කසාවතින් සැරසී පැවිදි දිවියට ඇතුළත් වූහ.

එකම පවුලේ පියා වූ ලක්‍ෂ්මන් ආරියරත්න බිංගිරියේ සතිමන්ත නමින් ශාසනයට ඇතුළුවීමට සිවුරු පටිය පළඳවමින්

සසර ගමන නිමා කරන්න එකම පවුලේ සිව්දෙනා එකම දින පැවිදි බිමට
සිල් මෑණියන් වහන්සේ කෙනෙකුවීම සඳහා සුබ මොහොතින් කෙස් වැටිය බාමින්

පසුගිය දුරුතු පොහොයට සමගාමීව බිංගිරිය – කරව්වැව, අනීඝ සද්ධර්මෝදය කුටි සෙනසුනෙහි නිර්මාතෘ, පූජ්‍ය උඩුනුවර පසන්න මානස හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ඉහළමුල්ලේ සුගුනවංශ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම සෙනසුනෙහි පැවති මෙම ප්‍රවෘජා පුණ්‍යෝත්සවයේදී කරව්වැල පදිංචිකරුවන් වූ 39 හැවිරිදි ලක්‍ෂ්මන් ආරියරත්න (පියා) 36 හැවිරිදි රසිකා දිල්හානි (මව) හා ඔවුන්ගේ දරුවන් වන 10 හැවිරිදි නිම්සර දෙනුවන් හා 07 හැවිරිදි යසිත් දෙනුවන් යන සිය පවුලම මෙසේ පැවිදි දිවියට ඇතුළත්වීම විශේෂත්වයක් විය. පැවිද්දෙන් අනතුරුව බිංගිරියේ සතිමන්ත, බිංගිරියේ අමරවංශ හා බිංගිරියේ කල්‍යාණවංශ හිමිවරුන් ලෙස ද මෑණියන් බිංගිරියේ සිසූපචාලා මෑණියන් වහන්සේ ලෙස ද නම් කරනු ලැබීය.

සසර ගමන නිමා කරන්න එකම පවුලේ සිව්දෙනා එකම දින පැවිදි බිමට

මෙයට සමගාමීව මාරවිල දිලුෂ කුමාර (38) හා බිංගිරිය තාරක උදාරි (26) යන කුල කුමර කුමරියන් මාරවිල සන්ථබෝධි හිමි හා බිංගිරියේ උත්පලවන්නා මෑණියන් ලෙස ද පැවිදි දිවියට ඇතුළත් වූහ.

මෙම පැවිදි පිරිසෙහි ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ ලෙසින් අනුනායක ධුරන්දර පූජ්‍ය ඉහළමුල්ලේ සුගුණවංශ නාහිමියන් සමග නුවරඑළිය මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඇකිරියන්ගල පක්‍ඳ්ඤානන්ද හිමියන් සෙනසුනෙහි නිර්මාතෘ පූජ්‍ය උඩුනුවර පසන්න මානස හිමියන් කටයුතු කරනු ලබයි.

පැවිද්ද ලබාගත් සාමණේරයන් වහන්සේලා ඇතුළු පිරිස දහම් ඥානය ලබාදෙමින් අනීඝ සද්ධර්මෝදය කුටි සෙනසුනෙහි තාවකාලිකව ලැගුම් ගන්නා අතර පැවිදි දිවියට ඇතුළත් වූ මෑණිවරුන්හට ද ධර්ම ඥානය ලබාදෙමින්, වීරකොඩියාන – නාන්කඩවර මෙහෙණි ආරාමයේ ලැගුම් ගැනීමට හා වත්පිළිවෙත් පිරීම සඳහා යොමු කිරීමටත් කටයුතු යොදා ඇත.

මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා දායක දායිකාවන් ඇතුළු විශාල ගිහි පැවිදි පිරිසක් එක්ව සිටියහ.
බිංගිරිය – සෝමසිරි ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment