සහනාධාර ප්‍රතිලාභීන්  අලුතින් හඳුනාගැනීම

1801

ආර්ථික අර්බුදය හමුවේ පොදුවේ සියලු දෙනාම පීඩාවට පත්ව සිටින අතර විශේෂයෙන් අඩු ආදායම්ලාභීන්ගේ ජීවත්වීමේ ප්‍රශ්නය වඩාත් උග්‍ර වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී බදු වැඩි කිරීම සහ ඉන්ධන සහ විදුලිය යනාදිය සඳහා පිරිවැය ආවරණය වන මිල ක්‍රමයන් හඳුන්වා දීම යනාදී පියවරයන් නිසා අඩු ආදායම් ලාභීන් සහ තවත් අලුත් පිරිස් ද පීඩාවට පත්වනු ඇත. ඒ නිසා මේ කියන ආර්ථික ප්‍රතිසංස්කරණ කරගෙන යෑමේ දී එවැනි පිරිස්වලට සිදුවන බලපෑම් අවම කිරීමට ද පියවර ගත යුතු වේ. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පවසන කරුණකි. එනම් එම අරමුදලේ වැඩසටහනේ එක් අරමුණක් වන්නේ ද අවදානමට ලක් විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමයි. මේ අනුව පසුගියදා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම විසින් ඉකුත් සැප්තැම්බර් 01 වැනිදා ප්‍රකාශයට පත් කළ නිල නිවේදනයට අනුව මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රධාන අංග හතක් තිබේ. එහි තුන්වැනි කරුණ සඳහන් වන්නේ මෙසේය.

 ‘දුප්පතුන්ට සහ අවදානමට ලක් විය හැකි ජනතාවට වත්මන් අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා සමාජ වියදම් ඉහළ නැංවීමෙන් සහ සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන්වල ආවරණය සහ ප්‍රතිලාභීන් ඉලක්ක කිරීම වැඩි දියුණු කිරීම.’

 මෙහි සඳහන් වැදගත් කරුණක් වන්නේ ‘ප්‍රතිලාභීන් ඉලක්ක කිරීම වැඩි දියුණු කිරීම’ යන්නයි. එනම් සහන දිය යුත්තේ සහන ලැබිය යුතු අත්‍යවශ්‍යම කණ්ඩායම්වලට යන්නයි. එය ඉතාම අත්‍යවශ්‍ය සහ වැදගත්ම කරුණකි. මේ ලියුම්කරුගේ අදහස වන්නේ දැනට පවතින සියලු සුභසාධන සහනාධාර වැඩසටහන් නැවත සමාලෝචනයට ලක්විය යුතු බවයි. අතීතයේ පැවති ජනසවිය වැඩසටහන මෙන්ම වර්තමානයේ ක්‍රියාත්මක වන සමෘද්ධි ඇතුළු සහනාධාර වැඩසටහන් සම්බන්ධයෙන් ද නොයෙකුත් විවේචන තිබේ. ඒවා අඩුවැඩි වශයෙන් දේශපාලනීකරණය වී ඇති බවට චෝදනා තිබේ. මේ නිසා රට මුහුණ දී සිටින බලවත් ආර්ථික අර්බුදය හමුවේ ජනතාව බලවත් ලෙස පීඩාවට පත්ව සිටින මොහොතක මේ සහනාධාර මුදල් අවභාවිත වීමට ඉඩ දිය යුතු නොවේ. එසේ වුවහොත් වන්නේ එම මුදල් නුසුදුසු අයට ද ලැබී එම සහන ලැබිය යුතු අත්‍යවශ්‍ය පිරිසකට ඒවා නොලැබී යන තත්ත්වයක් ඇති වීමයි. ඒ නිසා පෙර නොවූ විරූ ලෙස ජනයා පීඩාවට පත්ව සිටින මෙවැනි මොහොතක එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගත යුතු වේ. මේ ගැන රජයේ ද අවධානයට ලක්ව තිබීම සතුටට කරුණකි. එනම් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් අලුතින් හඳුනා ගැනීමට රජය පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් ඉකුත් සැප්තැම්බර් 05 වැනිදා මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සහනාධාර ප්‍රතිලාභීන්  අලුතින් හඳුනාගැනීම

එහි දී ප්‍රකාශයට පත් වූ පරිදි 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 7 (1) වගන්තිය අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව දැනට පවතින මහජනාධාර වැඩසටහන් වන සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන් යටතේ දැනටමත් ප්‍රතිලාභ ලබන පිරිසක් සිටී. එසේම මෙම සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පිරිසක් ද සිටී. මේ සමග ඇති වගුවේ ඒ පිළිබඳ විස්තර සඳහන් වේ. මේ පිරිස්වලට අමතරව වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව රජයේ සුබසාධක අපේක්ෂා කරන පිරිසක් ද සිටී. මේ සියලු පිරිස් ඉලක්ක කරගෙන රජයේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් අලුතින් හඳුනා ගැනීමට වැඩසටහනක් දියත් කර ඇත. මේ හරහා පවුල් මිලියන 3.9 කට අධික පිරිසක් සහනාධාර සඳහා මේ වැඩසටහන යටතේ අයදුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සහනාධාර ප්‍රතිලාභීන්  අලුතින් හඳුනාගැනීම

මේ වැඩසටහන පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් බී. විජයරත්න මහතා විසින් කරුණු පැහැදිලි කළේය. ඔහු සඳහන් කළ පරිදි පියවර හයකින් මෙය ක්‍රියාත්මක කෙරේ. එම ප්‍රධාන පියවරයන් මෙසේය.

 1. වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම

 2. අයදුම්පත් පද්ධතිගත කිරීම

 3. ගෘහ ඒකක වෙත ගොස් දත්ත එක් රැස් කිරීම

 4. තෝරා ගැනීමේ නිර්ණායක සහ දර්ශක අනුව ලකුණු ලබා දීම

 5. අභියාචනා / විරෝධතා කැඳවීම

 6. ප්‍රතිලාභී නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීම

 සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මුදල් අමාත්‍යාංශ මාධ්‍ය හමුවේ දී මාධ්‍යයට ලබා දුන් ලේඛනයකට අනුව මේ පියවරයන් අපි සැකවින් පැහැදිලි කර ගනිමු. ඒ අනුව පළමු පියවර ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2022.08.30 දින ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කර තිබේ. එම පුවත්පත් දැන්වීමේ සඳහන් ආදර්ශ ආකෘතියට අනුව සකස් කළ අයදුම්පතක් අයදුම්කරුවන් විසින් සම්පූර්ණ කර තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දිය යුතුය. අයදුම්කරුගේ සම්පූර්ණ නම, ලිපිනය, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය හෝ වෙනත් හැඳුනුම්පත් අංකය, පළාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ග්‍රාම නිලධාරි කොට්ඨාසය, දැනට ප්‍රතිලාභ ලබන සුබසාධක වැඩසටහන් පිළිබඳ තොරතුරු, පවුලේ සිටින මුළු සංඛ්‍යාව, පොරොත්තු ලේඛනයේ සිටී නම් ඒ පිළිබඳ තොරතුරු, නව අයදුම්කරුවෙක්ද යන්න පිළිබඳ තොරතුරු ඇතුළත් අයදුම්පතක් අයදුම්කරු විසින් අදාළ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම/ සමෘද්ධි සංවර්ධන නිලධාරී හෝ සමාජ සේවා නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීගේ සහතික කිරීමක් ද සහිතව අදාළ නිලධාරියා හරහා හෝ අයදුම්කරු විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදිය යුතු වේ.

 දෙවන පියවර යටතේ අයදුම්පත් පද්ධතිගත කිරීම කරනු ලබයි. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සංවර්ධනය කර ඇති සුබසාධක ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය (Welfare Benefit Information System) සමඟ කටයුතු කිරීමට සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අනුයුක්ත කර ඇති සුබසාධක ප්‍රතිලාභ තොරතුරු නිලධාරීන් විසින් ලැබී ඇති අයදුම්පත් පද්ධතිය මඟින් ලබා දී ඇති යොමුව (ලින්ක්) හරහා පරිගණක ගත කළ යුතු වේ. සියලු ඉල්ලුම්පත් සඳහා කිව්ආර් කේතයක් වෙන් කරයි. පද්ධතියේ සහ වැඩසටහනේ ඉදිරි කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීම එහි අරමුණයි. මෙම පියවර සැප්තැම්බර් 15 දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

 තුන්වන පියවර වන්නේ ගෘහ ඒකක වෙත ගොස් දත්ත එක්රැස් කිරීමයි. ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් දත්ත එක් රැස්කිරීම සඳහා අනුයුක්ත කර ඇති ක්ෂේත්‍ර නිලධාරීන් (තේරීම් කමිටු) තම පෞද්ගලික ජංගම දුරකථනය භාවිතා කරමින් අයදුම්කරුවන්ගේ ගෘහ ඒකක වෙත ගොස් ජංගම දුරකථන යෙදවුමක් (මොබයිල් ඇප්) භාවිතා කරමින් දත්ත එක්රැස් කර පද්ධතිගත කිරීම තුන්වන පියවරයි. සියලු දත්ත එක්රැස් කරන නිලධාරීන් සුබසාධක ප්‍රතිලාභ පනතේ අංක 21 සහ 22 වගන්ති (රාජ්‍ය නිලධාරියන් විසින් කරනු ලබන වැරදි සහ වැරදි ගෙවීම්වලදී ආපසු අයකර ගැනීම) අනුව කටයුතු කිරීමට එකඟ විය යුතුය. දත්ත එක්රැස් කිරීම අවසන් වූ පසු ක්ෂේත්‍ර නිලධාරීන් විසින් අයදුම්කරුට දත්ත ලබා ගැනීම සහතික කරන කිව්ආර් කේතය ඇතුළත් පත්‍රිකාවක් තම අත්සන යොදා ලබා දිය යුතු වේ. අයදුම්කරු විසින් නිවැරදිව දත්ත ලබා දුන් බවට කිව්ආර් කේතය ඇතුළත් පත්‍රිකාවට අත්සන තබා සහතික කළ යුතුය. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් පළ කළ 2019.06.20 දිනැති ගැසට් පත්‍රයේ සඳහන් තෝරා ගැනීම සඳහා වන නිර්ණායක සහ දර්ශකවලට අදාළව ජංගම දුරකථන යෙදවුම් මෘදුකාංගයක් මඟින් අයදුම්කරු සහ පවුල පිළිබඳ සවිස්තරාත්මකව තොරතුරු එක්රැස් කරනු ලබයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙලෙස දත්ත එක්රැස් කරන ලද අයදුම්කරුවන්ගේ නාම ලේඛනයට ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය හිමි වූ පසු එම නාම ලේඛනය පද්ධතිගත වේ. ගෘහ ඒකක මට්ටමින් දත්ත එක්රැස් කිරීමේ මෙම පියවර සැප්තැම්බර් 30 වැනි දින සිට දීපව්‍යාප්තව ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

 හතර වන පියවර යටතේ තෝරා ගැනීමේ නිර්ණායක සහ දර්ශක අනුව ලකුණු ලබා දෙනු ලබයි. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් පළ කළ 2019.06.20 දිනැති ගැසට් පත්‍රයේ සඳහන් ප්‍රධාන නිර්ණායක 6 ක් (අධ්‍යාපනය/ සෞඛ්‍ය/ ආර්ථික මට්ටම/ වත්කම්/ නිවාස තත්ත්වය/ පවුලේ ජන විකාශනය) සහ ඊට අදාළ දර්ශක 22ක් යටතේ දරිද්‍රතාවය ගණනය කිරීම සූත්‍රගත ක්‍රමයකට සකස් කර ඇත. සුබසාධක ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය දරිද්‍රතාවය

 ගණනය කිරීමේ සූත්‍රයට අනුව සෑම අයදුම්කරුවකුටම ලකුණු ලබා දෙනු ලබයි. එම දරිද්‍රතා ලකුණු මත සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසුකම් ලැබූ තැනැත්තන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ප්‍රදර්ශනය කරනු ලැබේ. 2022 දෙසැම්බර් 15 වන දින වන විට මෙම අදියර අවසාන කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය බලාපොරොත්තු වේ.

 පස්වන පියවරට අනුව අභියාචනා/ විරෝධතා කැඳවීමට ඉඩ ලැබේ. සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ විරෝධතා සහ අභියාචනා කැඳවීම පිළිබඳ ප්‍රසිද්ධ නිවේදනයක් ද මණ්ඩලය විසින් සිදු කරනු ලබයි. යම් පුද්ගලයෙකුට හෝ වෙනත් අයදුම්කරුවකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති නම් ලැයිස්තුවල සඳහන් නම්වලට විරෝධතා පෑමක් හෝ හිමිකම් පෑමක් ඉදිරිපත් කළ හැකිය. පැමිණිලිකරු/අභියාචනාකරු විසින් විරෝධතා සහ හිමිකම්පෑමට අදාළ ඉල්ලුම්පත සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතු වේ. එම විරෝධතා හෝ හිමිකම්පෑම පිළිබඳ ඉල්ලීම් පරීක්ෂණය සහ විමර්ශනය කිරීමට සුබසාධක ප්‍රතිලාභ පනතේ අංක 12(1) වගන්තිය අනුව මණ්ඩලය විසින් අභියාචන කමිටු පත්කළ යුතු වේ. අභියාචන කමිටු විසින් අදාළ විරෝධතා හෝ හිමිකම්පෑම සම්බන්ධ ඉල්ලීම් පිළිබඳ විමර්ශන කොට තීරණය ප්‍රාදේශීය ලේකම්වරයාට සහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට දැනුම් දිය යුතු වේ. මෙම අභියාචනා කමිටු සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ප්‍රකාශිත විධිවිධාන සහ මාර්ගෝපදේශ සහ මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු වේ.

 හය වන සහ අවසන් පියවර ලෙස ප්‍රතිලාභී නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීම කරනු ලබයි. ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ අවසන් ප්‍රතිලාභී නම් ලැයිස්තුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු අතර එම මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා තෝරාගත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධයට පත් කරයි. සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනාගැනීමේ වැඩසටහන (2022) දියත්වන්නේ මේ ආකාරයට ය.

 රාජ්‍ය සුබසාධක සංකල්පය වඩාත් ඵලදායී, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතුව වැඩිදියුණු කිරීමේ මෙම වැඩසටහන ඉතා කාලෝචිත එකකි. මේ සහන සඳහා වැය කරන මුදල්වලින් නිසි ප්‍රතිපල ලැබෙන්නේ ඒවා අත්‍යවශ්‍ය අයට ලබා දීමෙනි. මේ වැඩසටහනට සහාය ලබාදෙන පාර්ශ්ව ආයතන වන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ මහලේකම් කාර්යාලය, ආබාධිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ නියෝජිතායතනයයි. මේ නව වැඩසටහන හරහා මෙතෙක් ක්‍රියාත්මක වූ සහනාධාර වැඩසටහන් ද නැවත සමාලෝචනයකට ලක් වී පවතින වැරදි හා අඩුපාඩු නිවැරදි වී (එනම් නුසුදුසු අය අදාළ සහනාධාර වැඩසටහන්වලින් ඉවත් වී) සුදුසු තැනැත්තන් වෙතම අදාළ සුබසාධක ප්‍රතිලාභ ඉදිරියේ දී ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඒ තුළින් මේ සඳහා වැය කරන මහජන බදු මුදල් මෙන්ම වත්මන් ආර්ථික අර්බුදය හමුවේ විදේශ ආධාර ලෙස ලැබෙන මුදල් ද වඩාත්ම ප්‍රතිඵලදායී වනු ඇතැයි සිතිය හැකිය.

 ● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment