සහන ණය ගන්න ලෝක බැංකු අනුමැතිය

86

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායි මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ලෝක බැංකුවේ අනුමැතිය හිමිවී ඇත.

මෙම අනුමැතිය ලැබීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර සංවර්ධන සංගමය යටතේ මූල්‍ය පහසුකම් ලබන රටක් වන බවය. අඩු පොලී අනුපාත යටතේ ලබාදෙනු ලබන මෙම මූල්‍යය පහසුකම් ආර්ථිකය ස්ථාවර කිරීමට සහ දුගී සහ අවධානමට ලක්වී ඇති ජනකොටස් ආරක්‍ෂා කිරීමට රජය ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණවලට උපකාරී වනු ඇතැයි ලෝකු බැංකුව කියයි.

පවතින ආර්ථික අභියෝගය හමුවේ නැවත රට යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලාංකික ජනතාවට උපකාර කිරීමට අපි කැපවී සිටින්නෙමු යැයි ලෝක බැංකුවේ සංවර්ධන මූල්‍ය පිළිබඳ උප සභාපති අකිහිතෝ නිෂියෝ පැවසීය.

තිරසාර ආර්ථික වර්ධනයට අඩිතාල යොදමින් රට තුළ දිළිඳුකම අඩු කිරීමට සහ නැවත ආර්ථිකය ගොඩනැඟීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකු සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමට සහ අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ලෝක බැංකුව ජාත්‍යන්තර සංවර්ධන සංගමය හරහා සහනදායි මූල්‍ය පහසුකම්, තාක්‍ෂණික සහාය සහ ප්‍රතිපත්තිමය උපදෙස් ලබාදීමට බලාපොරොත්තුවේ.

ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ සහනදායි මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශ වීමට හැකියාව ලැබීම නිසා ජාත්‍යන්තර සංගමය ලබාදෙන වඩාත් හිතකර කොන්දේසිවලට අනුව දැනට පවතින ණය සේවා පීඩනය සමනය වනු ඇත. ඒ සමගම ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ මෙයෙහුම් ප්‍රතිපත්තිවලට අනුකූල වීම අවශ්‍ය වේ.

“ශ්‍රී ලංකාවේ තීරණාත්මක අවශ්‍යතාවයන් පවතින මේ මොහොතේ, වාර්තා ගත කාලයක් තුළ මූලික අවශ්‍යතා සම්පාදනයට සහ ආයතන පද්ධති ශක්තිමත්ව පවත්වාගෙන යාමට සහයෝගය දක්වන ලද පළමු සංවර්ධන හවුල්කරුවා ලෙස ලෝක බැංකුවේ කඩිනම් ප්‍රතිචාරය සහ එහි දැක්ම අපි අගය කරන්නෙමු” යනුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment