සහල් තොග වෙළෙඳුන්ගේ ඒකාධිකාරිය බිඳීමට පාලකයන්ට ඕනෑකමක් නෑ – අනුර කුමාර දිසානායක (ජවිපෙ)

243

* වීවලට පාලන  මිලක් දැමීමෙන්  ගොවියාට සාධාරණ  මිලක් ගැනීමේ ඉඩකඩ ආණ්ඩුවෙන් ඇහිරුවා

මාධ්‍ය සංදර්ශනවලින් පමණක් රටක් පාලනය කරන්න නොහැකි බව වත්මන් ආණ්ඩුව මේ වනවිට සාක්ෂි සාධක සහිතව ඔප්පු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29 වැනිදා) සඳහන් කළේය.

බලයට පත් වන්නට ප‍්‍රථම විශාල ප‍්‍රතිරූපයත් සහිත ප‍්‍රබන්ධයක් ගොඩනඟමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැබෑ ස්වභාවය අයිස් කන්ද දිය වෙනවා සේ හෙළිවෙමින් ඇතැයිද හෙතෙම කීවේය.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ එම අදහස් පළකළේ පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

‘‘ලංකාවේ පළමුවැනි වතාවට වීවලට පාලන මිලක් දැම්මා. ඒ දක්වා තිබුණේ සහතික මිලක්. එයින් කියවෙන්නේ ඒ මිලට වඩා වැඩියෙන් කිරන්න පුළුවන් බව. නමුත් රුපියල් 50ට වඩා වැඩියෙන් වී කිරන්න බැහැ කියලා පාලන මිලක් දැම්මා. ගොවි ජනතාව විශාල වශයෙන් අසරණභාවයට පත්වුණා. සිංහල අවුරුද්දට කලින් මාස් කන්නයේ අස්වැන්න ලැබෙන කාලයේ රුපියල් 50 ට වඩා වැඩියෙන් වී මිලට ගන්න දෙන්නේ නැහැ කිව්වා. ගොවියෝ අස්වැන්න නෙළලා ගෙදර ගේන්න අක්කර දෙක හමාරකට රු. 40,000 ක් වත් වැය වෙනවා. නමුත් ඔවුන්ට වී දෙන්න වුණේ තුට්ටු දෙකට.

කෘෂිකර්ම ඇමැතිවරයා ගොවියාගේ පැත්ත වෙනුවට මෝල් හිමියන්ගේ පැත්ත නියෝජනය කරමින්  රු. 50 ට වඩා වැඩියෙන් වී කිරන්න දෙන්නේ නැහැ කීවා. දැන් මේ වෙනකොට ගොවි ජනතාව ළඟ තිබෙන්නේ කුඩා ප‍්‍රමාණයක්. වැඩිම වී පංගුව තිබෙන්නේ වී මිලදී ගන්නන් ළඟ. දැන් නාඩු රු. 50 ට, සම්බා රු. 52 ට, උපරිම වශයෙන් මිලදී ගෙන ඩඞ්ලි සිරිසේන සහල් මිල තීරණය කළා. මහා පරිමාණ මෝල් හිමියන් මාධ්‍ය හමුවක් තියලා නාඩු රු. 115 ට, සම්බා 140 ට, කීරි සම්බා 165 ට මිල නියම කළා. හැබැයි මේ මිලට විකුණන්නේ රු. 50ට ගත්ත වී තොගයි. ගොවි ජනතාවට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාගන්න තිබුණු ඉඩකඩ ආණ්ඩුවෙන් ඇහිරුවා.

සැබැවින්ම සහල් මිල පාලනය කළ හැක්කේ කොහොමද? අපේ රටේ ජනතාවගේ ප‍්‍රධානතම ආහාරය සම්බන්ධයෙන් වී මිලදී ගැනීමේ සහ සහල් වෙළෙඳපොළේ ඒකාධිකාරිය බිඳින්න ඕනෑ. ඉතා කුඩා කණ්ඩායමක් වී මිලදි ගැනීම සහ සහල් තොග වෙළෙඳාමේ යෙදීම නිසා සියල්ල තීරණය කිරීමේ බලය ඔවුන් වෙත තිබෙනවා. ආණ්ඩුව කරන්න ඕනෑ ගැසට් ගහන එක නෙවෙයි. ඒකාධිකාරිය බිඳ තරගකාරිත්වයක් ඇති කිරීමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම රජයේ මැදිහත්වීමක් ඕනෑ. නමුත් මේ පාලකයන්ට ඒ පිළිබඳ දැක්මක් හෝ ඕනෑකමක් නැහැ. මේ නිසා අසරණ වෙන්නේ අපේ රටේ පොදු ජනතාවයි.

රටේ සහල් නිෂ්පාදනය ප‍්‍රමාණවත්ව තිබෙනවා. නිෂ්පාදනය ක‍්‍රමවත්ව බෙදාහැරීම සඳහා ආණ්ඩුවට සැලැස්මක් නැහැ. හාල් මිල ඉහළ යනකොට රටේ හාල් නිෂ්පාදනය ක‍්‍රමානුකූලව බෙදා හරින්න විධිමත් සැලැස්මක් නැතුව, රටින් හාල් ගෙනත් ගොඩගහන්න පාලකයෝ ඕන නැහැ. අර පිටකොටුවේ තොග වෙළෙන්දෙකුට දෙන්නකො. එයා මීට වඩා ඒක කරයි. මේ ප‍්‍රශ්නයට කරන්න ඕනා ක‍්‍රමවත් මැදිහත්වීමක්. වී මිලදී ගැනීම, වී ගබඩා කිරීම, හාල් බවට පත් කිරීම, තොග වෙළෙඳාමේ පංගුවක් රජය අත්පත්කරගන්න ඕනා. ඒ ගොවි සමිති ජාලයක් හරහා, කුඩා මෝල් හිමියන්ගේ ජාලයක් හරහා මේක ප‍්‍රධාන වැඩක්. ක‍්‍රමිකව එහෙම මැදිහත්වෙලා කන්න දෙක තුනක් මහන්සි වුණා නම් අද මේ ප‍්‍රශ්නය රටේ නැහැ. ඒකයි කරන්න ඕනා. එහෙම නැතුව තරගකාරිත්වය ඇති කරන්න පිටරටින් සහල් ආනයන කිරීම නෙවෙයි කියලා අපි හිතන්නේ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment