සහල් මිලට එරෙහිව ඇරඹු 1953 අගෝස්තු හර්තාලය

902

ජනාධිපතිවරයා හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් පසුගිය 06 වැනිදා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වතු හා පෞද්ගලික අංශයේ වැඩ වර්ජන හා හර්තාල් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි. 1953 වර්ෂයේ පැවති හර්තාල් ව්‍යාපාරයෙන් පසු පැවැත්වූ විශාලතම හර්තාල් ව්‍යාපාරය ලෙස සැලකෙන්නේ මෙම හර්තාල් ව්‍යාපාරයයි. 1953 හර්තාලයේ ස්වභාවය හා වත්මන් හර්තාල් ව්‍යාපාරයේ ස්වභාවය කෙසේද යන්න පහත ලිපිය අධ්‍යයනය කිරීමෙන් ඔබට අවබෝධ කරගත හැකිය.

1948 නිදහස ලැබීමෙන් පසු ක්‍රියාත්මක වු ප්‍රථම බහුජන අරගල 1953 අගෝස්තු හර්තාලය යි. එම අරගලයට නායකත්වය ලබාදුන්නේ වාමාංශික දේශපාලන පක්ෂ විසිනි. එයට පසුබිම සැකසුණේ මෙසේය. 1952 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශ්ෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ලැබුවද වැඩකල් යන්නට මත්තෙන් ආර්ථික අර්බුදයක් පැනනැඟිණි. පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙරාතුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට තීරණය කිරීමට හේතු වූ එක් කරුණක් වූයේ ද රටේ ආර්ථික අර්බුදය උත්සන්න වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම ආණ්ඩුවට වාසිදායක වූ හෙයිනි. 1951 දී රුපියල් මිලියන 345 ක් වූ වෙළෙඳ අතිරික්තය 1953 වන විට රුපියල් මිලියන 200 ක හිඟයක් බවට පත් විය. 1952 පටන් රටේ විදේශ සම්පත් ක්‍ෂයවීමට මුල් වූ හේතු අනාවරණය කරමින් එවකට මුදල් ඇමැතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මෙසේ පැවසීය. ලෝක යුද්ධ සමයේ ඉහළ ගිය ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් කොරියානු යුද සමයේ ඇති වූ වෙළෙඳ වාසි නිසා ක්‍ෂය වීමට ඉඩ නොදී රැක ගත හැකි විය. 1952 ජනවාරි වන විට ශ්‍රී ලංකාව සතු විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1209 ක් දක්වා ඉහළ ගිය අතර කොරියානු යුද සමයේ සෞභාග්‍ය කෙළවර වීමත් සමග රුපියල් මිලියන 30 බැගින් එම ශේෂය සිඳී ගියේය. 1953 ජූලි අය – වැය ඉදිරිපත් කරන විට එය රුපියල් මිලියන 676 දක්වා පහත වැටී තිබිණි.

ඒ අතර ධාන්‍ය සඳහා අප ගෙවූ මිල වැඩි වූ අතර රබර්වලින් අප ලද ආදායම අඩු විය. හුදෙක් සියලුම විදේශ සබඳතා බටහිරට යොමු වී තිබූ හෙයින් සමාජවාදී රාජ්‍යයන් කෙරේ බලාපොරොත්තු තැබීම ද උගහට කරුණක් විය. එම රටවල් සමග ගනුදෙනු කිරීමේදී වාමාංශික කොටස්වලට දේශපාලන වාසි අත් වෙතැයි සිතු එ.ජා.ප. රජය ඒ රටවල් නොසලකා හරිනු ලැබීය. ඇමරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 50 ක ආධාර ලබා ගැනීමටත්, තේ හා රබර්වලට වැඩි මිලක් ලබා ගැනීමටත් ගත් පරිශ්‍රමයත් නිෂ්ඵල විය.

● ලෝක බැංකුවේ උපදෙස්

ලංකාව 1950 සිට ලෝක බැංකුවේ සාමාජිකත්වය ගෙන තිබිණි. ලෝක බැංකුව විසින් මහජන සුබසාධන කටයුතු කපා හැර, සමාජ ආරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම නතර කරන්න යැයි ආණ්ඩුවට නිර්දේශ කරනු ලැබීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1953 අය – වැය ලේඛනයෙන් පාසල් දිවා ආහාර වේල කපා හරිනු ලැබීය. අනාථ ආධාර දීමනා අඩු කරනු ලැබීය. දුම්රිය ගාස්තු හා තැපැල් ගාස්තු වැඩි කරනු ලැබීය. ආහාර සහනාධාර රුපියල් මිලියන 300 සිට 160 දක්වා 50% ක් පමණ අඩු කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සහල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්වා වැඩිවිය. (මෙයද ප්‍රමාණවත් නොවන බව ජේ.ආර්. ජයවර්ධන මුදල් ඇමැතිවරයා පැවසීය.) එකල දිවයිනට පැමිණ සිටි ලෝක බැංකු නියෝජිත පිරිසේ නායක සර් සිඩ්නි කේන් මෙම අය – වැය යෝජනා නිර්භීතව පිළියෙල කළ එකකැයි ප්‍රශංසා කරනු ලැබීය. එහෙත් මහජනතාවගේ ප්‍රතිචාරය මීට මුළුමනින්ම වෙනස් විය.

පොදුවේ මේ කරුණු සියල්ලෙන් විශේෂයෙන් සහල් මිල වැඩි වීමට විරුද්ධව වැඩකරන ජනතාවගේ පුළුල් උද්ඝෝෂණ ඇති විය. ආහාර සලාකය ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මිල ගණන්වලට වඩා අඩු මුදලකට ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ පොරොන්දුවක් විය. 1952 අගෝස්තු 1 වැනි දින එක්සත් ජාතික පක්ෂ පුවත්පත වූ “සියරට” සඳහන් කළේ මේ ආණ්ඩුව පවතින තාක් කල් හාල් සේරුව ශත 25 ක් බවයි. ලෝකයේ ආහාර තත්ත්වය කුමක් වුවත් ලක්වැසියා හාමතේ නොතබන බවයි. මේ සඳහන් හුදෙක් මැතිවරණ ජයග්‍රහණ සඳහා කරනු ලැබූ අතිශයෝක්ති ප්‍රකාශන වුවත් එම සහනාධාරය සදාකාලික නොවුවත් තව බොහෝ කලක් ඒ අයුරින්ම පවත්වාගෙන යනු ඇත යන්න ජනතා විශ්වාසය විය.

● හර්තාල් දිනය

1953 අගෝස්තු 12 වැනි දින හර්තාලය පැවැත්විණි. විවිධ වෘත්තීය සමිති එක්ව හර්තාලය මෙහෙයවනු ලැබීය. සමසමාජ, කොමියුනිස්ට් හා විප්ලවකාරී සම සමාජ පක්ෂය යන වමේ පක්ෂ එය සංවිධානය කරනු ලැබීය. පුළුල් ජනතා සහායක් ඊට ලැබිණි. දුම්රිය, බස්රිය ධාවනය ඇනහිටිණි. දොම්පෙ, අම්ලන්ගොඩ, බලපිටිය, කොස්ගොඩ, නුගේගොඩ ප්‍රදේශවල ජනතාවගේ ක්‍රියාකාරී සහාය විශේෂයෙන් කැපී පෙනිණි. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල හර්තාලය අතිශයින් සාර්ථක විය. නැගෙනහිර පළාතේ හැර දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ උද්ඝෝෂණ ව්‍යාපාර පැවැතිණි. කැබිනට් මණ්ඩලය හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇඳිරිනීතිය පැනවීමේ තීරණය ගනු ලැබුවේ ද වරායෙන් ඈත නවතා තිබූ එච්.එම්.එස්. නිවුපටුන්ස් නම් යුද නැවේදීය. රජය හර්තාලයට මුහුණ දෙනු ලැබුවේ ප්‍රචණ්ඩකාරී ස්වරූපයෙනි. පොලිස් රාජ්‍යයක ස්වරූපයෙනි. එහි ප්‍රතිඵලය වූයේ මහජනතාව ද ප්‍රචණ්ඩකාරී ස්වරූපයකින් ඊට මුහුණ දීමය. එහෙයින් මහජන දේපළ රජයේ ගොඩනැගිලි හා ප්‍රවාහන සේවාවලට දැඩි ලෙස අලාභහානි සිදු විය. රජය හා රජයට හිතවාදී පුවත්පත් මෙය දුටුවේ දාමරිකකම් පුළුල් ලෙස පැතිරීමක් ලෙසිනි. එහෙත් හර්තාලය නියම ජනතා නැඟිටීමක් විය. ආණ්ඩුව මැතිවරණ පොරොන්දු කඩකිරීමට එරෙහිව, ජනතාවගේ නැගීසිටීම තුට්ටුවකට මායිම් නොකිරීම හේතුකොට ගෙන කෝපාවිෂ්ට වූ ජනතාවගේ සැබෑ විරෝධය පළ කිරීමක් වූහ.

12 වැනිදා පැවැති හර්තාලය 13 වැනිදා තෙක් පැවැතිණි. නිදහසින් පසු පත්වූ ආණ්ඩුව ප්‍රථම වතාවට ජනතාවට වෙඩි තැබීමට නියෝගය දුනි. නව දෙනකු පොලිස් වෙඩි පහරින් මිය ගියහ. හදිසි නීතිය හා මහජන ආරක්ෂක පනත යටතේ හර්තාලය සම්බන්ධ ක්‍රියාකාරී කොටස් අත්අඩංගුවට ගැනිණි. දේපළ රජයට පවරා ගැනීම් සෝදිසි කිරීම් සිදුකෙරිණි. තැන තැන ඇඳිරි නීතිය පැණවිණි. වාමාංශික පුවත්පත් තහනම් කෙරිණි. ආණ්ඩු පක්ෂ පුවත්පත් පමණක් පළවුණි. එම පුවත්පත්වල ප්‍රවෘත්ති සියල්ලම පාහේ හර්තාල් විරෝධී විය. හර්තාලය තවදුරටත් ඉදිරියට ගෙන යෑම අනතුරක් වශයෙන් දුටු ඇන්.ඇම්. පෙරේරා(ල.ස.ස.ප) පිලිප් ගුණවර්ධන (වි.ල.ස.ස.ප.) පීටර් කේනමන් (කො.ප.) යන නායකයින් විසින් හර්තාලය නවත්වන ලෙස ආයාචනා කරනු ලැබීය.

එහෙත් සේවාවන් යථා තත්ත්වයට ගෙන ඒමට දින ගණනාවක් ගත වනු දැකිය හැකිය. වැඩ වර්ජන ජනතාවට අලුත් දෙයක් නොවීය. හර්තාලය ජනතාවට අලුත් දෙයක් විය. හර්තාලයේ දී වැඩ නැවැත්වීම වැදගත් ස්ථානයක් ගන්නේ වී නමුත් එය ප්‍රධාන වශයෙන් වැඩ වර්ජන සටනක් නොවී ය. කම්කරු ජනතාවට පිටින් සිටින පළාත්වල ජනතාව සහභාගී කරවා ගෙන කළ සැබෑ බහුජන සටනක් විය. කවදාවත් මෙවන් විරෝධයක් අත් නුදුටු ජනතාව මෙම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන් වමේ ව්‍යාපාරයට මහජන විශ්වාසයත් ප්‍රසාදයත් පළ කළහ.

එස්. සුදසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment