සහෝදරයා විදෙස්ගතව සිටිද්දී හොර ඔප්පුවක් හදා ඉඩම විකුණලා

149

* වර්තමාන හිමිකරුවන්ට අධිකරණයෙන් වාරණයක්

සිය සහෝදරයා විදේශ ගතවී සිටියදී ඔහුට අයත් කොළඹ නගරාසන්නයේ පිහිටි රුපියල් මිලියන 150කට අධික වටිනාකමක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකසා අලෙවි කළේ යැයි කියන පුද්ගලයෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කළේය.

එම ඉඩම් කොටස අලෙවි කිරීම, බදුදීම, අන්සතු කිරීම හෝ උකස් කිරීම වළකාලන වාරණ නියෝගයක් ද වර්තමාන හිමිකාරිත්වය දරන අධ්‍යාපන ආයතනය වෙත අතිරේක දිසා විනිසුරුවරයා නිකුත් කළේය.

කළුබෝවිල පන්සල පාරේ පදිංචි සපරමාදු මහවලගේ දොන් අරුණ ලංකාචන්ද්‍ර ජයතිලක නමැති ඉඩමේ පරම අයිතිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සේනක රුවන් පතිරණ මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා එම නියෝගය කළේය.

මේ වනවිට ඔස්ටේ‍්‍රලියාවේ පදිංචි දෙවන විත්තිකාර සපරමාදු මහවලගේ විමලනාත් ජයතිලක හෙවත් විමල් ජයතිලක නමැත්තා තමාට අයත් එම ඉඩම් කොටසේ අයිතිය අත්හැරීමේ ඔප්පුවක් ව්‍යාජ ලෙස සකසා දිවයිනේ ප‍්‍රධාන පෙළේ අධ්‍යාපන ආයතනයකට අලෙවි කර ඇතැයි පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

නීතිඥ සුභාෂිනි ජයසූරිය මහත්මියගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ සේනක රුවන් පතිරණ මහතා පැමිණිලිකාර ඉඩම් හිමිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

එම පැමිණිල්ලේ සෙසු විත්තිකරුවන් ලෙස ශ‍්‍රී ලංකා වරලත් පීරිස් කළමනාකරණ ආයතනය, ඬේවිඞ් ගමගේ හා සුජාතා කරුණාරත්න හෙවත් සුජාතා අලහකෝන් නම් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment