සළුපට අහසට බඩු මිල නහුතෙට!

380

පාන් ගෙඩියක් රු. 30 කින් වැඩිවන ලකුණු
සීනි රු. 10 – 15 මිලකින් ඉහළට
ගෑසුත් ගෑස් පෙන්වන්න හදයි
බෙහෙත් මිලත් වැඩිවෙන ලකුණු

ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 260ක් දක්වා ඉහළ යෑමත් සමඟ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් ඇත.

ඉන්දීය තෙල් සමාගම අලෙවි කරන ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ද එම සමාගමේ සෑම වර්ගයකම පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ද ඉකුත් 10 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට ඉහළ නංවන ලදි.

ඒ අනුව එම සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 254 ක් දක්වා ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 283 ක් දක්වා ද යුරෝ 03 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 283 ක් දක්වා ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 174 ක් දක්වා ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 249 ක් දක්වා ද එක්ස්ට‍්‍රා ඔයිල් ඩීසල් ලීටරයක මිල රුපියල් 220ක් දක්වා ද ඉහළ ගොස් ඇත.

පාන් පිටි කිලෝවක මිල ද සෙරන්ඩිබ් සමාගම රුපියල් 35කින් ඉහළ දමා ඇති බවත් ප‍්‍රීමා සමාගම රුපියල් 40කින් ඉහළ දැමීමට කටයුතු කරන බවත් සඳහන් ය. ඒ අනුව ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

සීනි කිලෝවක මිල ද රුපියල් 10ත් 15ත් අතර මිලකින් ඉහළ ගොස් තිබේ.

ගෘහස්ථ එල්. පී. ගෑස් මිල ද ඉදිරියේදී ඉහළ දැමීමට සිදුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඩොලරයේ ඉහළ යෑමට අනුව ඖෂධ මිල ද ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට අවසර ලබා දුන් බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

ඒ අනුව වෙළෙඳපොළේ සෑම ඖෂධ වර්ගයකම මිල ඉහළ නැංවෙනු ඇත.

මීට අමතරව බස් ගාස්තු, කුලී ත‍්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ද පෞද්ගලික බස් සංගම් සහ කුලී ත‍්‍රිරෝද රථ සංගම් සූදානම් වේ.

මෙලෙස භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යෑම නිසා පහළ මධ්‍යම පන්තියේ පුද්ගලයකු දිනකට ආහාරපාන සහ ගමන් වියදම් සඳහා වැයකරන මුදල තවත් රුපියල් 200කින් පමණ ඉහළ යන බව ආර්ථික විශේෂඥයෝ පවසති.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment