ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ  ‘බී’ කාණ්ඩයෙන් පෙරට

154

2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ‘බී’ කාණ්ඩයේ ඊයේ (17 වැනිදා) පැවැති තරග දෙකේදී ජය වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය. ඒ පිළිවෙලින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි.

 හෝබාට් ක්‍රීඩාංගණයේදී පැවැති අදාළ තරග දෙකේදී පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර ක්‍රියාත්මක විය. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය සිය පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 160ක් රැස් කිරීමට සමත්විය. ජයග්‍රහණය හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබා ගත හැකිවූයේ පන්දුවාර 18.3ක් තුළදී සියලු දෙනා දැවී ලකුණු 118ක් පමණි.

 ස්කොට්ලන්ත ඉනිමට සාර්ථක ආරම්භයක් ගෙනදුන් ජෝර්ජ් මන්සි සහ මිචෙල් ජෝන්ස් පළමු කඩුල්ලට ලකුණු 55ක් එක් කළේය. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජෝර්ජ් මුන්සි ස්කොට්ලන්ත ඉනිම පුරා සිය කඩුල්ල රැක ගනිමින් පන්දු 53කදී ලකුණු 66ක් රැස් කළේ සිය කණ්ඩායමට සටනක් දිය හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි.

 මිචෙල් ජොන්ස් ලකුණු 20ක් සහ කලූන් මැක්ලියෝන් ලකුණු 23කින් ස්කොට්ලන්ත ඉනිමට සිය දායකත්වය සැපයීය.

 ලකුණු 161ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කෙදෙව් ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු 20දී බිඳ දැමීමට ජොස් ඩේව් සමත්විය. ඒ අනුව කයිල් මයර්ස් ලකුණු 20ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්වූයේ කොදෙව් ඉනිමේ පරාජයට මං විවර කරමිනි.

ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ  ‘බී’ කාණ්ඩයෙන් පෙරට



 අනතුරුව එවින් ලෙවිස් සහ බ්‍රැන්ඩන් කිං දෙවැනි කඩුල්ලට ලකුණු 33ක් එක් කිරීමට සමත්වූවද එවින් ලෙවිස් ලකුණු 14කට දැවී යෑම මත කොදෙව් ඉනිම තව තවත් ගරා වැටිණි. බ්‍රැන්ඩන් කිං ලකුණු 17ක් රැස් කළේය.

 කොදෙව් පිතිකරුවෝ එකිනෙකා පසුපස නැවත ක්‍රීඩාගාරයට හැරී යද්දී හුදෙකලා සටනක් දියත් කළ ජේසන් හෝල්ඩර් පන්දු 33කදී ලකුණු 38ක් රැස් කළේ ස්කොට්ලන්තයේ ජයග්‍රහණය පමා කරමිනි.

 ස්කොට්ලන්තයේ මාර්ක් වෝට් ලකුණු 12කට කොදෙව් ඉනිමේ කඩුලු 3ක් බිඳ දැමීය. බ්‍රැඩ් වීල් සහ මිචෙල් ලීස්ක් කඩුලු 2 බැගින් බිඳ දැමීය.

 මේ අතර ඊයේ සවස පැවැති සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර තරගයේදී ලකුණු 31ක ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

 පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස් කළේය. ලකුණු හඹා ගිය අයර්ලන්ත ඉනිම පන්දුවාර 20කදී කඩුලු 9ක් දැවී මුළු ලකුණු 143කට සීමා කරමින් ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ සමත්වූහ.

 සිම්බාබ්වේ ඉනිම වර්ණවත් කළ සිකන්දර් රාසා පන්දු 48කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 82ක් රැස් කළේය. ඒ හැරුණු කොට වෙස්ලි මාධෙවෙර ලකුණු 22ක් සහ ලූකා ජොංවේ නොදැවී ලකුණු 20ක් රැස් කළේය.

 කණ්ඩායම් දෙකේම පළමු කඩුල්ලේ සම්බන්ධතාවය එක් ලකුණකට සීමා විය. එහිදී අයර්ලන්ත ඉනිමේ පළමු කඩුලු 5 මුළු ලකුණු 64දී බිඳ දමමින් තරගයේ ජයග්‍රාහී මාවත විවිර කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

 බ්ලීසිං මුසරබානි අයර්ලන්ත ඉනිමේ ලකුණු 23ට කඩුලු 3ක් බිඳ දමද්දි රචර්ඩ් නගරවා සහ ටෙන්ඩයි චතාරා කඩුලු 2 බැගින් බිඳ දැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment