ස්‌ට්‍රීට්‌ ෆුඩ්වලට කෙළවන්න එපා

883

පාරවල් දෙපැත්තේ දැනට තිබෙන වීථි ආහාර වෙළෙඳසල් හෙවත් ස්‌ට්‍රීට්‌ ෆුඩ් කඩ සියල්ල ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මගින් පියවර ගන්නා බවත් ඒවා නිසි ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා පවසා තිබේ. මේ රටේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ තුළ අවම වශයෙන් ස්‌ට්‍රීට්‌ ෆුඩ් කඩ දස දහසකට වඩා ඇත. මේ එක කඩයක ඇතැම්විට තුන්හතර දෙනකු වැඩ කරන අතර එයින් එන ආදායමෙන් අවම වශයෙන් පවුල් පහළොස් දහසක්වත් ජීවත් වෙති. ස්‌ට්‍රීට්‌ ෆුඩ් කඩවල කෑම ඉතා ලාභය. එයට හේතුව එම කඩ වෙනුවෙන් විශාල බදු මුදල් ගෙවීමේ අවශ්‍යතාවයක් නැතිවීමය. එසේම ඒවායේ වැඩ කරන අයට අති විශාල මුදලක් දෛනික වැටුප් සඳහා ගෙවනු නොලැබේ. ස්‌ට්‍රීට්‌ ෆුඩ් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිටකොටුවේ ඕල් සේල් කඩවලින් ඉතා ලාබෙට ගැනීමට මෙම කඩ අයිතිකරුවන්ට පුළුවන. ඒ නිසා බොහෝ අවස්ථාවල ගෙදරින් කෑම කනවාට වඩා ස්‌ට්‍රීට්‌ ෆුඩ් අවන්හලකට ගොස් ආහාර ගැනීමෙන් ලාභයක් මෙන්ම ආතල් එකක් ද ලැබේ.

ලංකාවේ ස්‌ට්‍රීට්‌ ෆුඩ් අවන්හල් ඉවත් කරන බව කීමෙන්ම අපට ඉතා පැහැදිලි වන ප්‍රධාන කාරණය නම් බන්දුල ගුණවර්ධන ඊළඟ ඡන්දයෙන් පරදින බවය. ඒ නිසා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන වැඩපිළිවෙළක් ගැන ඔහු උනන්දු විය යුතුය. ඇමැතිතුමා කියන්නේ මේ ස්‌ට්‍රීට්‌ ෆුඩ් කඩ නිසි ප්‍රමිතියට අනුව නැවත විවෘත කරන බවය. එහෙත් ආණ්ඩුවෙන් යමක් වැහුවොත් මළාට එය නැවත විවෘත කරන්නේ නැත. මේවා මේ රටේ ජනතාවට ප්‍රායෝගික අත්දැකීම් වශයෙන් දිගු කලක් තිස්සේ ලැබී තිබේ. ආණ්ඩුව කිසියම් නිවසකට නළ ජලය සැපයීම සඳහා පයිප්ප ලයින් එක දැමීමට පාර හරහා කපන කාණුව කවදාවත් ආපසු වසන්නේ නැත. මෙහි ඇති නරකම පැත්ත වන්නේ කාණුව වැසීම සඳහා අවශ්‍ය මුදල ද ආණ්ඩුව මගින් ජල සැපයුම දෙන මුල් අවස්ථාවේදීම පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමය. ආණ්ඩුව කැඩුණු ග්‍රාමීය පාරක් මළාට ආපසු හදන්නේ නැත. ආණ්ඩුවේ වෙළෙඳ බලපත්‍රයක් අහෝසි වූ විට එය නැවත ලබාගැනීම සඳහා පුදුම රස්තියාදුවක් කිරීමට සිදුවෙයි. විශේෂයෙන්ම බාර් ලයිසන් වැනි දෙයක් කල්පිරුණු පසු එය ලබාගැනීමට විශාල පගා දීමටත් දීර්ඝ කාලයක් වැය කිරීමට සිදුවෙයි. ශ්‍රී ලංකාවේ ස්‌ට්‍රීට්‌ ෆුඩ් අවන්හල් වසා දැමීමත් සමගම පැය 24ක් තුළ ඒවායේ අයිතිකරුවන් සහ සේවකයන් පාරට වැටෙනවා ඇත. මේ අයගේ කුස පිරවීම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් නැත. එනිසා යම්තම් රට ගොඩයමින් පවතින මෙවැනි වේලාවකදී ස්‌ට්‍රීට්‌ ෆුඩ් වෙළෙඳුන්ට කිරීමට යන අපරාධයෙන් එම වෙළෙඳුන් බේරාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් විය යුතුමය. අපගේ විශ්වාසය නම් ස්‌ට්‍රීට්‌ ෆුඩ් වෙළෙඳසල් ඉවත් කිරීමේ තීරණය පිළිබඳ ජනාධිපතිතුමා දැනුවත් කර නැත. ආර්ථික අර්බුදය සැරටම පවත්නා මෙවැනි වේලාවක මේ රටේ වැසියකු නීතිගරුක ලෙස කීයක් හෝ උපයා ගැනීමට ගන්නා උත්සාහය ව්‍යර්ථ කිරීමට ජනාධිපතිතුමා කිසිවිටකත් ඉඩ දෙන්නේ නැත. ස්‌ට්‍රීට්‌ ෆුඩ් අවන්හල් වැසීම සම්බන්ධයෙන් එම වෙළෙඳාමේ නිරත වන අය පළ කරන ශෝකජනක විරෝධය පසුගිය දිනවල රූපවාහිනිය මගින් පෙන්වන ලදි.

ආහාර යනු සංස්කෘතියකි. ස්‌ට්‍රීට්‌ ෆුඩ් යනු එම සංස්කෘතියේ උප සංස්කෘතියකි. යුරෝපයේ ජනයා වැඩියෙන්ම කෑම කන්නේ ස්‌ට්‍රීට්‌ ෆුඩ් කඩවලිනි. ඒ රටවල ලොකු හෝටල් ඇත්තේ විදේශීය සංචාරකයන්ට සහ ධනපති පන්තියට කෑම ගැනීම සඳහාය. උදාහරණයක් වශයෙන් ඇමරිකාවේ ලොකු හෝටලයකින් හොට් ඩෝග් එකක් කෑවොත් එහි මිල ලංකාවේ රුපියල්වලින් රුපියල් 5000 ඉක්මවයි. එහෙත් එම හොට් ඩෝග් එකම ලංකාවේ මුදලින් රුපියල් හාරසියයට මිලදී ගැනීමට ඇමරිකාවේ ස්‌ට්‍රීට්‌ ෆුඩ් අවන්හලකට යන පාරිභෝගිකයකුට පුළුවන. ඒ නිසා යුරෝපය, ඇමරිකාව, එංගලන්තය පමණක් නොව ඉන්දියාව වැනි රටවල ද ස්‌ට්‍රීට්‌ ෆුඩ් ආර්ථිකය රටේ දලදේශීය ආදායමෙන් සැලකිය යුතු පංගුවක් ලෙස පෙන්විය හැකි තරමට ඉදිරියෙන් සිටී. ලෝකයේ පළමුවෙනි ස්‌ට්‍රීට්‌ ෆුඩ් කඩ තිබී ඇත්තේ ග්‍රීසියේ ය. මීට අවුරුදු දෙදහසකට පමණ පෙර ග්‍රීක ජාතිකයෝ පාර දෙපැත්තේ තබාගෙන බැඳපු මාළු විකුණූහ. එහෙත් එම යුගයේදී ස්‌ට්‍රීට්‌ ෆුඩ්වලට එතරම් පිළිගැනීමක් තිබුණේ නැත. ඇරිස්ටෝටල්ගේ අනුගාමිකයා වූ තියෝෆරස්ටප් කියන පරිදි ගෙවල්වලම උයාගෙන කා පුරුදු වූ ග්‍රීකයෝ පාර දෙපැත්තේ විකුණන ආහාර පාදඩයන්ගේත් රස්තියාදුකාරයන්ගේත් ආහාර ලෙස සැලකූහ. එහෙත් කල් යත්ම ස්‌ට්‍රීට්‌ ෆුඩ්වලට පිළිගැනීමක් ඇති විය. විසුවියස් ගිනිකන්ද පුපුරා යෑම නිසා ලෝදියවලට සහ අළුවලට යටවී සම්පූර්ණයෙන්ම ඝනීභවනය වූ පොම්පෙයි නගරයේ පසුකාලීනව කරන ලද කැණීම්වලදී ස්‌ට්‍රීට්‌ ෆුඩ් අවන්හල් සිය ගණනක් මතු විය.

පුරාණ රෝමයේ දුප්පත් ගෙවල්වල උදුන් හෝ ලිප් තිබුණේ නැත. ඒ නිසා ඒවායේ නිවැසියෝ කම්කරු වෘත්තීන්හි යෙදෙමින් මහපාරේ අවන්හල්වලින්ම කෑමට පුරුදු වූහ. මේ ස්‌ට්‍රීට්‌ ෆුඩ් කඩවල වැඩියෙන්ම තිබුණේ කඩල සුප් සහ පාන්ය. චීනය ද මීට අවුරුදු දහස් ගණනකට පෙර ස්‌ට්‍රීට්‌ ෆුඩ් අවන්හල් විවෘත කළේ දුප්පතුන්ට ය. මේවායේ කෑම ඉතා රසවත් බව ආරංචි වූවිට ධනවත් පවුල්වල අය එම අවන්හල්වලට තම සේවකයන් යවා රහසින් කෑම ගෙන්වාගෙන කෑමට පුරුදුව සිටියහ. 19 වැනි සියවස වනවිට ස්‌ට්‍රීට්‌ ෆුඩ් සංකල්පය ලොව පුරාම පැතිර යයි. ලංකාවේ තිබූ ස්‌ට්‍රීට්‌ ෆුඩ් එකල හඳුන්වනු ලැබුවේ පෙට්ටි කඩ ලෙසය. පසු කාලයේදී මෙම පෙට්ටි කඩවලට ලයිට් සවිකර, බෝඩ් සවිකර, සින්දු දමමින් ඒවා කන අයට ආතල් දෙන්නට පටන්ගත් විට ස්‌ට්‍රීට්‌ ෆුඩ් සංකල්පය ඉතා ජනප්‍රිය විය. වසර 2000 න් පසු මේ රටේ හෝටල් සංකල්පයට වඩා ස්‌ට්‍රීට්‌ ෆුඩ් සංකල්පය ජනප්‍රිය වූ අවස්ථා තිබිණ. අද වනවිට ලංකාවේ බොහෝ තැන්වල ස්‌ට්‍රීට්‌ ෆුඩ් සැණකෙළි පවත්වනු ලැබේ. මේවාට ලක්‍ෂ ගණන් සෙනඟ එති. කොරෝනාවෙන් ඇදවී ගිය ශ්‍රී ලංකාව යළි ක්‍රියාත්මක කිරීමේ ගෞරවයෙන් යම් ප්‍රමාණයක් ස්‌ට්‍රීට්‌ ෆුඩ් වෙළෙඳුන්ටත් පේමන්ට් වෙළෙඳුන්ටත් හිමිවන බව අප මතක තියාගත යුතුය. ලංකාවේ ස්‌ට්‍රීට්‌ ෆුඩ් අවන්හල් තහනම් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කරන ලද බව කැබිනට් ප්‍රකාශක වශයෙන් බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා කියූව ද ඔහුට එහි කිසිදු වගකීමක් නැත. ඒ යන්නේ නාගරික සංවර්ධන ඇමැතිවරයා යටතට ය. එහෙත් මිනිසුන් හෙණ ඉල්ලන්නේ කොහෙවත් ඉන්න බන්දුල ගුණවර්ධනට ය.

advertistmentadvertistment
advertistmentadvertistment