ස්ටාලින්ගේ නිරෝධායනයට දරුවන්ගේ ගෙල සිර කිරීම

158

ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කර මේ වන විට දශක හතරක කාලයක් ගෙවී ගොස් ඇත. ආරම්භයේදී එය ආරක්ෂක අභ්‍යාස ආයතනයක් වශයෙන් ක‍්‍රියාත්මක වූ අතර පසුව උපාධි පිරිනමන ආයතනයක් දක්වා උසස් කෙරිණි. ඉන්පසු විශ්වවිද්‍යාලයක තත්ත්වය දක්වා උසස් කෙරුණු අතර සිවිල් සිසුන් ඇතුළත් කරගැනීමද සිදු විය. 1981 අංක 68 දරන ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක අභ්‍යාස ආයතන පනත යටතේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරම්භ වූ බව ඉතිහාසයේ ස`දහන් වේ. මෙම ආයතනයේ මේ වන විටත් වසරකට හමුදා හා සිවිල් සිසුන් 7,500 ක් පමණ ඉගෙනුම ලබන අතර ජාත්‍යන්තර තලයද අභිබවා ගොස් ඇති හෙයින් විදෙස් සිසුන් 200 කට ආසන්න ප‍්‍රමාණයක් ඉගෙනුම ලබති. ඇත්තෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ශ‍්‍රී ලංකාවේ සම්ප‍්‍රදායික විශ්වවිද්‍යාලවලින් වෙනස් ආයතනයක් වේ. එය බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, බුද්ධ ශ‍්‍රාවක භික්ඛු විශ්වවිද්‍යාලය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, සාගර විශ්වවිද්‍යාලය වැනි උසස් අධ්‍යාපන ආයතන හා සමානය. මේ දිනවල කොතලාවල ගැන වැඩියෙන් කතා වන්නේ 2021 අංක දරන ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත නිසාය. පසුගිය ජුලි අට වැනිදා මෙම පනත පාර්ලිමේන්තුවේ විවාද වන විට පාර්ලිමේන්තුව ඉදිරිපිට පෙරටුගාමීන් මෙන්ම සමහර ගුරු සංගම් යකා නැටූ බව අපට මාධ්‍ය මගින් ගන්නට ලැබිණි. මේ පිරිස් නිරෝධායනයට යොමු කර ඇති නිසාම මුලතිව්වල සිට ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මර හ`ඩ තලන්නේ ‘‘අපි අනතුරේ.. ඉන්දියාවෙන් බෝම්බ දැම්මොත් අපි මැරෙයි” යනුවෙනි. මොවුනට අවශ්‍ය රට ව්‍යාකූල කිරීමට මිස අන් දෙයක් නම් නොවේ. ස්ටාලින් නිරෝධායනයට යැවීමේ හිතේ අමාරුවට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ලක්ෂ හතළිහක් වන දරුවන්ටය. එහෙත් ගුරු සංගම් මාෆියාවෙන් මිදුණු ගුරුවරු අදත් අන්තර්ජාලය හරහා පංතිවලට එක්වෙති. ඔවුනට අපේ උපහාරය පිදිය යුතුය. සමහර ගුරුවරු සූම් පන්තියෙන් සැ`ගවෙන්නේ ස්ටාලින් සැනසීමටය. මේ ස්ටාලින් උගවන්නේ මොන විෂයද මොන පාසලේද යන්න අපි දන්නේ නැත. පසුගිය දිනක දියණියගේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ‘අන්තර්ජාල සංඥා’ ලබා ගැනීමට සිය ජීවිත අවදානම නොතකා අඩි 150ක් පමණ උස ගසක ‘රවුටරයක්’ සවිකළ පියෙකු ගැන බදුල්ල, පස්සර වරාදොළ ගම්මානයෙන් අසන්නට ලැබුණි. ඒ පියාගේ දියණියටත් අද සූම් පංති නැත. ගුරු වර්ජනය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ කාලකණ්ණි ප‍්‍රකාශය ගැන සමාජජාල ඔස්සේ වාදයක් හට ගෙන ඇත. ‘‘හතළිස් තුන් ලක්ෂයක් මේ රටේ ඉන්න ඒ දරුවන් බලාපොරොත්තු වෙන තමන්ගේ ගුරු දේවයන් විදිහට ඉන්න කණ්ඩායම මෙහෙයවනවා නම් කවුරු හරි කිහිප දෙනෙක්, ඉතාමත් කාලකණ්ණි කණ්ඩායමක් විදිහටයි මට සලකන්න වෙන්නේ” යනුවෙන් ඇමැතිවරයා පවසා තිබිණි. ඇත්තෙන්ම ගුරුවරුන් කාලකණ්ණි නොවේ. නමුත් මේ ගුරු සංගම්වල නම් දේශපාලන තක්කඩි හා කාලකණ්ණි සිටින බව නම් පැහැදිලිය. දරුවන් අනතුරේ දමන්නෝ කාලකණ්ණි වෙති. ඒ අයට චෝදනා කිරීම වරදක් නැත. චිංගීස් අයිත්මාතොව්, ගුරු ගීතය ගැන නිරන්තරව ප‍්‍රකාශ කරන පක්ෂ මේ වර්ජන පිටුපස සිටින බව පෙනේ. මොවුන්ට අවශ්‍ය වන්නේ රට අරාජික කිරීම පමණකි. ඇත්තෙන්ම ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත් වීම ‘‘ඉතාම ප‍්‍රාථමික මට්ටමේ ක‍්‍රියාමාර්ගයක් බව නොකියාම බැරිය. ස්ටාලින් සනසවන්නට දරුවන්ගේ ගෙල සිරකර තිබේ.
 
 කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත යනු හමුදාව යොදා ගනිමින් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමට සහ ‘මිලිටරිකරණය’ කිරීමට ගන්නා වූ උපක‍්‍රමික උත්සාහයක් බව ඊට විරුද්ධ පෙරටුගාමීන් මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සම්මේලනය කියයි. එහෙත් මේ පනත ගැන අදහස් දක්වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා මෙසේ කියයි.
 
 කොතලාවල විශ්වවිද්‍යාලය කියන්නෙ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයට. එතකොට මේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල සංකල්පය ලංකාවේ විතරක් ක‍්‍රියාත්මක වෙන එකක් නෙවෙයි. ලෝකයේ රටවල් හැටකට වැඩි ප‍්‍රමාණයක මේක ක‍්‍රියාත්මක වෙනවා. ඒ සෑම ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයකම උපකුලපතිවරයා වශයෙන් කටයුතු කරන්නෙ ඒ රටවල්වල සන්නද්ධ හමුදාවල ඉහළ නිලධාරීන්. ඒ ධුරය සිවිල් නිලධාරියකුට දරන්න බෑ. මොකද මේ විශ්වවිද්‍යාල විශේෂයෙන් පුහුණු කරන්නෙ කෙඩෙට් නිලධාරීන්. ඒ වගේම අපි කතා කරන්නෙ ජාතික ආරක්ෂාව ගැන. ඒ විෂයන් ගැන දැනුම තියෙන්නෙ ආරක්ෂක නිලධාරීන්ට. ඊළඟට මිලිටරීකරණය කරනවා කියන චෝදනාව ගැන කතා කළොත් මේකෙ අමුතුවෙන් මිලිටරීකරණය කරන්න දෙයක් නෑනෙ. මොකද මේක ආරක්ෂක විශ්වවිද්‍යාලයක්. අනිවාර්යයෙන්ම මේ විශ්වවිද්‍යාලය ඇතුළෙ තියෙන්නෙ හමුදා විනය. කොතලාවල විශ්වවිද්‍යාලය පිහිටුවපු පනත වගේම දැන් ඉදිරිපත් කරලා තියෙන පනත් කෙටුම්පතේ තියෙන විධිවිධාන අදාළ වෙන්නෙ කොතලාවල විශ්වවිද්‍යාලයට විතරයි. මේ පනත්වලින් වෙන කිසි තැනක් පාලනය කරන්නෙ නෑ.
 
 ඇත්තෙන්ම ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයට උපරිම පහසුකම් ලබා දිය යුතු සේම මෙම පනතද අනිවාර්යයෙන් සම්මත කළ යුතුය. කුහකයන්ගේ මතයට ඉඩදිය යුතු නැත. උදේ සිට ? වනතුරු ටියුෂන් පන්ති පවත්වන සමහරුද කොතලාවල පනත එපා යැයි මුහුණු පොතේ පෝස්ට් දමති. එය ගුරු වර්ජනයට සහය දෙමින් තමන්ගේ උපකාරක පන්තිය දිගටම කරගෙන යන ගුරුවරු මෙනි. ලංකාවේ නිදහස් අධ්‍යාපනය විනාශ වන්නේය යන්න හැමදාම කියන විලාපයකි. එහෙත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ කොතලාවල පනත සම්මත වුවහොත් උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව දැනටත් වඩා වරප‍්‍රසාදයක් බවට පත් වනු ඇති බවය. ‘‘මෙය හමුදාව පිළිබඳ ප‍්‍රශ්නයක් නෙමෙයි. රටකට හමුදාවක් තිබෙනවා, ඒ හමුදාවට නිශ්චිත වගකීමක් තිබෙනවා. නමුත් හමුදාවට අයිති නැති වැඩත් තිබෙනවා. මේක හමුදාවට දෙන ගරුත්වයක් හෝ වෙන කිසියම් දෙයක් නෙමෙයි. මේ තමන්ගේ වෙන අරමුණක් සඳහා හමුදාව පාවිච්චි කිරීමක්.” යනුවෙන් ඇය කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වා තිබුණාය. එහෙත් අධ්‍යාපනය මුදලට විකිණෙන්නේ අද ඊයේ සිට නම් නොවේ. රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීමට මෙන්ම තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීමට හමුදාව හා සිවිල් සමාජයේ සහයෝගිතාවන් බෙහෙවින් වැදගත් වෙයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයන් හරහා සිවිල් මිලිටරි සහයෝගිතාව පිළිබඳ සංකල්පය අභ්‍යාස කරන බව ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා කියයි. එය වඩා ප‍්‍රායෝගික කිරීම සදහා මේ පනත වඩා වැදගත් වේ.
 
 පසුගිය වසරේ ලොව හොඳම ආරක්ෂක විශ්වවිද්‍යාල එනම ‘Most Prestigious Military Academies In The World ශ්‍රේණිගත කිරීමේදී ලොව සියලූ රටවල ආරක්ෂක විශ්වවිද්‍යාල පරදවමින් ශ‍්‍රී ලංකාවේ එකම ආරක්ෂක විදුහල වූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 4 වැනි ස්ථනයට පත්වූ බව අප අමතක කළ යුතු නැත.
 
 පෙරටුගාමීන්ගේ පෙළපාලිවලට සහභාගි නොවී ඉකමනින් උපාධිය ගෙන ජීවිතය ජයගන්නට මෙරට විශ්වවිද්‍යාල ප‍්‍රජාවට අයිතිය ලබා දිය යුතුය. ඒ සදහා අන්තරේ නමැති පිළිලය ඉවත් කළ යුතුය.
 
 පෙරටුගාමීන්ගේ අලූත්ම සටන් පාටය වන්නේ කොතලාවල පනතයි. එදා රට පුරා ජේ.ආර්. මරමු ලෙස ලියූ අයුරින්ම දැන් කොතලාවල පනත එපා යැයි කළු අකුරින් ලියා ඇත. ජුලි අට වැනිදා පාර්ලිමේන්තුව ඉදිරිපිට පොලිසිය මගින් වයසක කාන්තාවක් ඔසවාගෙන යන සේයාරූ සමාජ මාධ්‍ය ජලා ඔස්සේ පළවිය. ඇය පැමිණියේ පන්සල් යෑමට නම් නොවේ. අරගල කිරීමටය. ඇය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකාවකි. අරගල බිමේ සගයන් අතර ඇය වඩාත් ප‍්‍රසිද්ධ ‘‘ලියනගේ”, නැති නම් ‘‘ලියනගේ අක්කා” නමින්ය. රට පුරා කළු අකුරු ලියන්නේද මේ ‘‘ලියනගේ අක්කා” ගේ සගයෝමය. ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහි විරෝධතාවට එක් වූ බෞද්ධ හිමිනමක් පොලිසිය විසින් ඔසවාගෙන වඩම්මන අයුරු දැකගන්නට හැකි විය. උන්වහන්සේද ප‍්‍රබල පෙරෙට්ටෙකි. බුදුන්ට වඩා ගෞරව කරන්නේ කුමාර ගුණරත්නම්ටය. ඒ ගැන අපට ප‍්‍රශ්නයක් නැත. නමුත් මේ සියලූ තක්කඩිකම් වෙනුවෙන් සිවුර අවභාවිතා කිරීම ගැන බෞද්ධයන්ට කම්පාවක් ඇත. නිවන් අවබෝධය සඳහා පිළිපන් භික්ෂු නමක් තුළ පළමුව ආරක්ෂා වී තිබිය යුත්තේ සීලයයි. සංඝ නාමයට ඇතුළත්වන උපසම්පදා භික්ෂු නමක් සඳහා නවකෙළදහස් එකසිය අසූ කෝටි පනස් ලක්ෂ තිස්හයක් වශයෙන් ලොකු කුඩා ශික්ෂා පද පනවා ඇත. නමුත් මොවුන් රඟ දක්වන්නේ කවර සීලයක්ද? රතු පෙළපාලියේ යන්නට අවශ්‍ය නම් සිවුර ගලවා එය සිදු කළ යුතුය. මේ ගමන් කරන්නේ බුදුන්ගේ මගට හාත්පසින් වෙනස් මෙන්ම රටට ජාතියට ද්‍රෝහී ගමනකි. සැමදාම අරගල කිරීම හැර රටට යහපතක් වන දෙයක් සිදුවනවාට මේ පිරිස කිසිම කැමැත්තක් නම් නැත. මොවුනගේ මතය ජයගන්නට කිසිම විටක ඉඩ දිය යුතු නැත.
 
 – චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment