ස්ටාලින් මෙහෙම නම් මාක්ස්, ලෙනින් කොහොම ඇත්ද?

682

රටේ මහත් සේ කරදර පවතින මේ දුෂ්කර අවස්ථාවේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත නමැති පනතක් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව සූදානම් වෙන්නේ මොන මඟුලකටදැයි අපට නොතේරේ. මේ පනතට එරෙහිව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් නමැති මානවකයෙක් කරණම් ගසමින් සිටී. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලික අංශයට පැවරීමේ යටි කූට්ටු ව්‍යාපාරයක් මේ පනත හරහා සිදුවන බව ස්ටාලින් ඇතුළු පිරිස ගේ අදහසය. එබැවින් ඔවුන්ගේ විරෝධයට කිසියම් පදනමක් තිබේ. මේ ආණ්ඩුව විපක්ෂයේ සිටි කාලයේදී සයිටම් එපා යැයි කී හැම විරෝධතා ව්‍යාපාරයකටම උපරිම සහයෝගයක් දුන්නේය. ඒ නිසා සයිටම් නමැති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සුනුවිසුනු කර දමන ලද අතර එම විශ්වවිද්‍යාලය පැවති පුද්ගලික රෝහල ආණ්ඩුවේ රෝහලක් බවට පත් කිරීම ද සිදුවිය. සයිටම් තහවුරු කර ගැනීමට ක‍්‍රියාකළ යහපාලන ආණ්ඩුවේ සියලූම දෙනාට ඉතා දරුණු ලෙස මඩ ගසන ලදී. අන්තිමේදී එහි අයිතිකාරයා වූ දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු ද මළේය. සයිටම් එපා නම් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතත් එපාම තමයි. ඒ පිළිබඳව අපේ තර්කයක් නැත. අප කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ජෝසෆ් ස්ටාලින් නමැති මානවකයා මුලතිව් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක සිට යූ ටියුබ් සහ ෆේස් බුක් ඔස්සේ මේ දිනවල පෙන්වන සර්කස් එක ගැනය. එසේම ස්ටාලින් නිරෝධායනය කිරීමට පළිගැනීම සඳහා ඔන් ලයින් අධ්‍යාපනයෙන් ඉවත්වීමට ස්ටාලින්ගේ පස්සේ යන ගුරු සංගම් කිහිපයක් කාලකණ්ණි තීන්දුවක් ගැනීම ගැනය. ජූලි 8 වැනිදා නිරෝධායන නීති කඩමින් මහපාරේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූ ස්ටාලින් ඇතුළු පිරිස උසාවියට ඉදිරිපත් කර ඇප දී මුලතිව් හමුදා කඳවුරේ පවත්වාගෙන යන නිරෝධායන කඳවුරට යවන ලදී. ඉන් පසු ස්ටාලින්ට පියුමි හංසමාලි වැහී ඇති බව පෙනේ. එහෙත් ඔහු තවමත් ඇඳුම් ඉල්ලා සරත් වීරසේකරට ටෙලිෆෝන් කර නැත. ශ‍්‍රී ලංකා ගුරු සංගම් ඉතිහාසය තුළ සිටි එච්. එන්. ප‍්‍රනාන්දු සහ ඒ. බී. සී. ද සිල්වා වැනි සටන්කාමීන් දෙස බලන විට ජෝසෆ් ස්ටාලින් ඒ තරමට ම රහක් ඇති මිනිහකු නොවේ. එසේ රහ වැටීමට අවශ්‍ය පසුබිමක් ද ඔහුට නැත. එච්. එන්. ප‍්‍රනාන්දු යනු විජේවීරගේ මස්සිනාය. එනම් බිරිඳගේ සහෝදරයා ය. පසු කාලයේදී විජේවීර සහ එච්. එන්. අතර මතවාදී අරගලයක් හටගත් හෙයින් එච්. එන්. උස්සාගෙන ගිය ජේ. වී. පී. කාරයෝ (අනුර දිසානායකගේ ජේ වී පී ය නොවේ.) ඔහුට පහර දී අත පය කඩා හිස පොළොවෙහි ගසා කාණුවක දමා පැන ගියහ. මේ නිසා එච්. එන්. මිය යන තුරුම සිටියේ මද සිහියෙනි. ඒ. බී. සී. ද සිල්වා යනු ආණ්ඩුව ශ‍්‍රී ලංකා වේවා ආණ්ඩුව යූ.එන්.පී. වේවා රටේ නායකයා සිරිමාවෝ මැතිනිය වේවා ජේ. ආර්. හෝ පේ‍්‍රමදාස වේවා මුහුණුට මුහුණ සිටගෙන ගේම ඉල්ලූ පුරුෂයෙකි. ඒ අතින් බලන විට ජෝසෆ් ස්ටාලින් කවට මුත්තෙකි. එම නමේ මුල් අයිතිකාරයා වන එක්සත් සෝවියට් සමූහ ආණ්ඩුවේ නායක නැසී ගිය ජෝසෆ් ස්ටාලින් ට කරන නිග‍්‍රහයකි.
 
 මෙහිදී රුසියාවේ ජෝසෆ් ස්ටාලින් ගැන මතක් කරදීම අපගේ යුතුකමය. ඔහු සෝවියට් සංගමය බිහි කළ වී. අයි. ලෙනින් ගේ හොඳම ගෝලයාය. එසේම ජර්මනියේ හිට්ලර්ගේ කපාපු සෝවියට් පලූවය. ඉතා කෲර මිනිසකු වූ ස්ටාලින් දේශපාලනය සහ බලය වෙනුවෙන් හැකි සෑම කුණු වැඩක්ම කළේය. එනිසා ඔහුගේ එකම දියණිය ඔහු අත්හැර ඇමරිකාවට පලා ගියාය. 1878 ඉපදුනු හෙතෙම 1953 මිය යන තෙක් ගතවූ කාලය තුළ තිස් අවුරුද්දක් රට පාලනය කළේය. කොමියුනිස්ට් ධජයට මුවාවුණු හෙතෙම සිය රහස් පොලිසියේ ලොක්කා වූ ලැවරෙන්ති බෙරියා යොදවා සෝවියට් සමූහාණ්ඩුව තුළ සිටි යුදෙව්වන් ලක්ෂ ගණනින් ඝාතනය කරවීය. ඔහුගේ චරිතය ද්විත්ව චරිතයකි. මේ පැත්තෙන් යුදෙව්වන් සංහාරය කරන අතර අනෙක් පැත්තෙන් ඔහු හිට්ලර් යුදෙව්වන් මරණ බව කියමින් ඔහු සමගද සටන් කළේය. මෙය ඉතා කෲර” අමන” දුෂ්ට” ගඳ ගහන වැඩක් බව ඇත්ත. හැබැයි එවැන්නක් කිරීමටත් කිසියම් නායකත්ව කොලිටියක් කෙනකුට තිබිය යුතුය. එහෙත් ගුරු සංගම් නායක අපේ ජෝසෆ් ස්ටාලින්ට එබඳු කොලිටියක් නැත. එබැවින් තමා රඳවා සිටින මුලතිව් නිරෝධායන හමුදා කඳවුරට ඉන්දියාව බෝම්බ දැමුවොත් තමා මිය යන බව අපේ ජෝසෆ් ස්ටාලින් ෆේස්බුක් ඔස්සේ ප‍්‍රකාශයක් කර තිබිණ. මෙය පිස්සුවේ හොඳ එක නොව හොඳම එකය. හමුදා කඳවුරක් වන මුලතිව් නිරෝධායන කඳවුරට තබා තම පරම සතුරා වන පකිස්ථානයට වත් බෝම්බ දැමීමට ඉන්දියාවට මේ දිනවල අදහසක් නැත. ඔවුන් කල්පනා කරන්නේ චීනයට එරෙහිව ගේමක් ගසා ගන්නේ කෙසේද යන්නයි. ස්ටාලින් මේ සියල්ල මගින් කරන්නේ තම දේශපාලන ප‍්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට ගේමක් ගසා ගන්නේ කෙසේද යන්න ප්ලෑන් කරගැනීමටය. මේ බොළඳ නායකයා නිරෝධායනය කිරීමට විරුද්ධ වී ඔන් ලයින් අධ්‍යාපනයෙන් ඉවත්වීමට ගුරු සංගම් කිහිපයක් ක‍්‍රියා කිරීම ඉතාම කුණු වැඩකි. මේ නිසා අවුරුදු දෙකක් පමණ තිස්සේ පාසල් නොගිය දූ දරුවන් ලක්ෂ ගණනක් තවදුරටත් අමාරුවේ වැටෙති. එක පැත්තකින් මෙවැනි ලෙඩුන් නිරෝධායනය කිරීමෙන් ආණ්ඩුව ද ලොකු ලෙඩක් දාගෙන ඇත. කළ යුතුව තිබුණේ ඔවුන් රොත්ත පිටින්ම අල්ලා මානසික විශුද්ධිකරණ මධ්‍යස්ථානයකට යැවීමය.
 
 මාක්ස්වාදය බිහිකරන ලද්දේ කාල් මාක්ස් විසිනි. ඔහු මියයන තුරුත් මාක්ස්වාදී රාජ්‍යයක් ලොව පහළ වූයේ නැත. සෝවියට් දේශයේ ජෝසෆ් ස්ටාලින් යනු මාක්ස්වාදය විසින් බිහිකෙරුණු නරකම පාලකයෙකි. අපේ ජෝසෆ් ස්ටාලින් යනු නිරෝධායනය විසින් විකටයකු බවට පත් කෙරුණු මෝඩ මිනිසෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment