ස්ටුවර්ට් බ්‍රෝඩ්ට කඳුළු දී  ලාරාගේ වාර්තාව බුම්රා බිඳ දමයි

527

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පන්දුවාරයකට වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා සමත්විය. ඒ එංගලන්තය සමගින් ක්‍රියාත්මක පස්වැනි ටෙස්ට් තරගයේදී පන්දුවාරයකට ලකුණු 29ක් රැස් කරගනිමිනි.

 දෙරට අතර බර්මින්හැම් හි ක්‍රියාත්මක අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ඉන්දීය කණ්ඩායමේ 84 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ස්ටුවර්ට් බ්‍රෝඩ්ට එරෙහිව මෙම ලකුණු වාර්තාව තැබීමට බුම්රා සමත් විය. එම පන්දුවාරයේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කිරීමට බුම්රා සමත් වූ අතර දෙවැනි පන්දුව වයිඩ් පන්දුවක් ලෙසින් හතරේ සීමාවට ඇදී ගියේය. ඊළඟ පන්දුව නිපන්දුවක් ලෙසින් සටහන් වූ අතර ඊට හයේ පහරක් එල්ල කිරීමට බුම්රා සමත්විය. අනතුරුව බ්‍රෝඩ් යොමුකළ එම පන්දුවාරයේ නීත්‍යනුකූල අවසන් පන්දු 5ට පිළිවෙළින් 4,4,4,6 සහ 1ක් ලබා ගැනීමට බුම්රා සමත් විය. ඒ අනුව එම පන්දුවාරයේ පිත්තෙන් වාර්තා කළ ලකුණු 29ට අමතරව අතිරේක ලකුණු 6ත් සමගින් ලකුණු 35ක් ඉන්දීය කණ්ඩායමට හිමිවිය.

 ටෙස්ට් තරගයකදී පන්දුවාරයකට වාර්තා කළ ඉහළම ලකුණු වාර්තාවට හිමිකම් කීමට මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බ්‍රයන් ලාරා සමත් වී සිටියේය. ඒ 2003 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී පන්දුවාරයකට ලකුණු 28ක් රැස් කරමිනි.

 කෙසේ වෙතත් ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගයේදී බ්‍රෝඩ්ට එරෙහිව වාර්තා වූ ලකුණු 35 ටෙස්ට් තරගයකදී පන්දුවාරයකට වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොතට එක් වෙද්දී පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසයේදීද පන්දුවාරයකට ලබා ගත් ඉහළම ලකුණු වාර්තාව බ්‍රෝඩ්ගේ පන්දුවාරයක් ඉදිරියේ වාර්තා වීම කැපී පෙනේ. 2007 වසරේදී ඉන්දීය පිතිකරු යුවරාජ් සිං ස්ටුවට් බ්‍රෝඩ්ගේ පන්දුවාරයකට හයේ පහර 6ක් එල්ල කරමින් එම වාර්තාව තබා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment