ස්ථාවර රජයක් පිහිටුවනතුරු ජාත්‍යන්තරයේ කිසිම ආධාරයක් අපට ලැබෙන්නේ නැහැ

122

අතිපූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

රටට අවශ්‍ය මහ මැතිවරණයක්

පළාත් පාලන මැතිවරණයක් නොව මේ අවස්ථාවේදී රටට අවශ්‍ය කරන්නේ මහමැතිවරණයක්. ඒ සඳහා මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහජනතාවට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ සලසා දෙන්නට කටයුතු කරන්නැයි රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප්‍රධාන සංඝනායක විද්වත් සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කෑගල්ලේදී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළහ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමියන් මෙසේ පැවසූහ.

සංවිධානාත්මක දේශපාලන හොර වංචනිකයන් පිරිසක් නිසා රටේ ආර්ථිකය කඩා වැටී මහා ආගාධයකට ඇද වැටී බංකොළොත් වෙලා. ඒ නිසා ශ්‍රී ලංකාව අද ජාත්‍යන්තරයේ හිඟන්නෙක් බවට පත්වී අවසන්.

මෙවන් කනගාටුදායක දුෂ්කර වාතාවරණයක දී පළාත් පාලන මැතිවරණයකින් ඇති සෙත මොකක්ද. පවත්නා ආර්ථික අර්බුදය වැඩි දියුණු වෙනවා හැර වෙනත් දෙයක් සිදු වන්නේ නැහැ. මේ මැතිවරණයෙන් තෝරාගනු ලබන අටදහසක් පමණ මහජන නියෝජිතයන් යැයි කියන පිරිස රටට තවත් බරක් බවට පත්වෙනවා. ඒ අයගෙන් කිසිඳු දායකත්වයක් රටට ලැබෙන්නේ නැහැ. අර පරණ විදිහටම දේශපාලන වංචනිකයින් සහ කපටියන් තම තමන්ගේ දේපළ සම්පත් වර්ධනය කරගන්නට අවස්ථාවක් ලබාදීම හැර කිසිදු යහපතක් පළාත් පාලන මැතිවරණයකින් රටට සිද්ද වෙන්නෙ නැහැ.

යහපතක් වෙන්න නම් කළ යුතු එකම දේ මේ ජනාධිපතිවරයාට බලය තිබෙන පරිදි මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි. වත්මන් ජනාධිපතිවරයාට ඒ සඳහා බලය තියෙනවා කළ යුතු එකම දේ මහ මැතිවරණයක් පවත්වා නව රජයක් පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව සැලසීමයි. ස්ථාවර රජයක් පිහිටුවනතුරු ජාත්‍යන්තරයේ කිසිම ආධාරයක් උදව්වක් ලංකාවට ලැබෙන්නේ නැහැ.

කෑගල්ල – එම්. බී. පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment