ස්පා බෝඩ් එකට යටින් පවත්වා ගෙන ගිය දළුගම ගණිකා මඩමට පොලිසියෙන් පනී

269

කතුන් 3ක් සමග මැනේජර් නෝනා මාට්ටු

කැලණිය දළුගම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි කාන්තාවන් තිදෙනකු සමග කළමනාකාරිණිය කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය විසින් මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිස් උපාය දූතයකු යොදවා මෙම වැටලීම සිදු කරනු ලැබීය. මෙම කාන්තාවන් තිදෙනා අම්පාර හා දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර කළමනාකාරිණිය හාලිඇල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම කාන්තාවන් මහර මහෙස්ත්‍රාත් සමන් දිමුතු කුමාර පරණලියනගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව කළමනාකාරිණිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් හා රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් මත සහ කාන්තාවන් තිදෙනා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියම කරන ලදී. වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් මස 03 වැනි දිනට කල් තැබූ මහෙස්ත්‍රාත්වරයා එදිනට සමාජ රෝග පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද ඔවුනට නියෝග කළේය.

කිරිබත්ගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් මේ කාන්තාවන් නඩු මෙහෙයුම් අංශයේ සැරයන් අරුණ කුමාර (27909 ),පො. කො. රත්නායක (90071) හා කුලසිංහ (10789) යන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළහ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment