ස්මාර්ට් ලෙස අත පෑමේ කලාව

132

ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට යළි අඩු ආදායම් ලබන රටක් බවට නම් කිරීමට රජය පියවර ගෙන ඇත. එසේ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය ආධාර ලබාගැනීම, සහන ලබාගැනීම සඳහා යැයි ඊට හේතු දක්වමින් රජය පැහැදිලි කරයි. මෙලෙස රටක් පමණක් නොව ජනතාව ද ජීවත්වීම සඳහා මුදල් උපයා ගැනීමේදී විවිධ ක්‍රම අනුගමනය කරති.

රට මෙලෙස අන්රටවලින් හිඟාකන මට්ටමට වැටුණ විට රටේ ජනතාව ගැන කවර කථා ද කියා මේ වනවිට මහමග යනවිට දැකගත හැකිය.

මේ වනවිට අප නොසිතන ආකාරයේ පුද්ගලයන් ජීවත්වීම සඳහා අන් අයගේ අතපාන්නට යොමුවී ඇත. නමුත් ඔවුන් අතපාන්නේ අප බොහෝවිට දකින සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරමින් අතපාන අයමෙන් නොවේ.

ඔවුන් වර්තමාන සමාජයත් සමග නවීකරණය වී ඇත. ස්මාර්ට් ෆොන් පාවිච්චි කරන යුගය අනුව ඔවුන් ද ස්මාර්ට් වී තිබේ. එනිසා සාම්ප්‍රදායිකව නොයෙකුත් නැති බැරිකම් කියමින් අතපය කොරවී ඇති බව කියමින් අම්මාට තාත්තාට හෝ තම දරුවකුට සුවකළ නොහැකි ලෙඩ රෝග ඇති බව පවසමින් අතපාන සැබෑ සිඟන්නන් අතරට මෙවැනි ස්මාර්ට් පුද්ගලයින් දැමිය නොහැකිය. එනිසා ඔවුහු තමාගේ හැකියාවන් ඉදිරිපත් කරමින් ජනතාව පිනවා මුදලක් අයදිති.

අන් අය කරන්නේ දුක විකුණමින් ජනතාව හඬවා මුදලක් ඇයැදීමය.

මෙවැනි ස්මාර්ට් වූ පුද්ගලයෙක් පසුගිය දිනෙක මාහට හලාවත සිට කොළඹ බලා ධාවනය වන දුම්රියේ දී හමුවිය. ඔහුගේ එක ඇසක් අන්ධය. ඒ බව ඔහුද සඳහන් කරයි. එසේම තම බිරිද ද අන්ධ බව පවසන ඔහු රත්මලාන අන්ධ විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ බවද පවසයි.

නවීන පන්නයේ කැරෝකී ස්පීකර් යන්ත්‍රයක් සමඟ දුම්රියට ගොඩවන ඔහු ගීත ගායනා කරමින් මැදිරියෙන් මැදිරියට යයි. එක් මැදිරියකදී ඔහු ගීත තුනක් ගායනා කරයි. මා ගමන් කළ මැදිරියේදී ඔහු විශාරද ෂර්ලි වෛයිජයන්ත මහතා ගායනා කරන ජනප්‍රිය ගීතයක් වන ඈත සිතිජයේ හැඩට රුවින් ගීතයක්, ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායන ශිල්පියාගේ සඳකුමාරියක් දීගෙක යනවා ගීතයත් ධනපාල උඩවත්ත ගායන ශිල්පියාගේ වේග රිද්මයේ ගීතයක් වන ඈ නීල වරල පීරලා යන ගීතයත් ගායනා කළේය.

සිය ගායන දක්‍ෂතාවය අනුව ඔහු මගීන් පිනවා තමාටත් බිරිඳටත් ජීවත්වීම සඳහා හැකි අයුරින් මුදලක් ඇයැද සිටියේය. බොහෝදෙනා ඔහුට රුපියල් සීය, පනහ ලෙසින් මුදල් නෝට්ටු දුන්හ.

ඔහු අපගේ මැදිරියෙන් නික්ම ගියපසු තවමත් සාම්ප්‍රදායික ලෙස සිඟමනේ යෙදෙන පුද්ගලයන් කිහිපදෙනෙක්ම පැමිණියහ. එක් අයෙක් දරුවාට අසනීප බව කියා මුදල් යදින්නට විය. තවත් අයෙක් පාදයක ආබාධයක් ගැන පවසමින් පිහිටක් ඉල්ලා සිටියේය. තවත් අයෙක් තම පවුලේ අසරණ බව පවසමින් මුදල් ආධාර ඉල්ලා සිටියේය.

නමුත් ඔවුනට බොහෝ පිරිසකගේ යහපත් ප්‍රතිචාරයක් හිමි නොවුණි. මන්දයත් දුම්රියේ ගමන් කළ අප සියලුදෙනා ද සිටින්නේ විවිධ ආර්ථික අපහසුතා ලෙඩ රෝග පවුල් ප්‍රශ්න මැදය. එනිසා මේ සියලුදෙනාගේ දුකට පිහිටවීමට ගියහොත් අපට ද අවසානයේ ඉතිරි වන්නේ මුදල් පසුම්බියේ තිබූ සොච්චම් මුදල් අවසන්වීම නිසා අපගේ දුක කියමින් සිඟමන් යැදීමටය.

දුක්කම්කටොලු, ආර්ථික අපහසුතා මැද ජීවත්වන අප ද සිටින්නේ දැඩි පීඩනයකිනි. එවැනි පසුබිමක ඉඳහිට හෝ සිතට සතුටක් ගෙනදෙන ගීතයක රසවිඳීමට හෝ කිසියම් නිර්මාණශීලී යමක් ඉදිරිපත් කරනු බලා රසවිඳීමට හැකිනම් අපගේ දුක්කම් කටොලු ද තාවකාලිකව හෝ පහව යයි. එවිට ඇතිවන සතුට නිසා අපට සතුටක් ගෙන දුන් පුද්ගලයා ද සතුටට පත්කිරීමට කීයක් හෝ මුදලක් දෙන්නට අපට නොදැනීම මුදල් පසුම්බිය වෙත හෝ මුදල් දමාගෙන සිටින සාක්කුවකට අත යොමු වේ.

එනිසා එය හදවතින් දෙන පරිත්‍යාගයකි. එසේම මුදල දෙන්නේ යාචකයෙක් යැයි සිතා නොවේ. අප වැනිම තවත් අසරණ තම හැකියාවෙන් යමක් උපයා ගන්නා පුද්ගලයෙක් වෙත පිහිටක්වීම ලෙසිනි. එනිසා අතපෑවත් ස්මාර්ට් විදිහට සිදුකළහොත් ඊට ලැබෙන ප්‍රතිචාරද ඉහළ බව මට හැඟුණි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment