ස්මාර්ට් වෙන්න ගිහින් ජිල්මාට්කරුවන්ට බිලිවෙන මල් කැකුළු

1066

පසුගිය සතිය යෙදී තිබුණේ වෙසක් වෙනුවෙනි. බුදු තෙමඟුල සිහිපත් කරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවනට අනුව පින්කම් සිදුකරද්දී බුදුන් දෙසූ දහමට පටහැනි ශෝචනීය සිද්ධීන් කිහිපයක් ද මෙම සතියේම වාර්තාවීම කනගාටුවට කරුණකි.

එහි එක් සිද්ධියක් වූයේ 15 හැවිරිදි පාසල් දැරියක් 29 හැවිරිදි විවාහක පුද්ගලයකු සමග කළුතර ප්‍රදේශයේ හෝටලයකට ගොස් මත්පැන් පානය කරමින් අනාචාරයේ හැසිරෙද්දී හෝටලයේ පස්වැනි මහලින් බිමට පැන මිය යෑමය.

දෙවැන්න ද වාර්තා වූයේ කළුතර ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙක් පාසල් දැරියන් දහසය දෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් අනාවරණය වීමෙනි.

බුදුන් වැඩිය දේශයක බුදු තෙමඟුල සමරන සතියක මෙවැනි ශෝචනීය සිද්ධීන් වාර්තාවීම තුළින් හැගෙන්නේ බුදුදහම පරයමින් වෙනත් ආගම් සහ අපට නොගැළපෙන සංස්කෘතීන් හිස ඔසවන බවකි.

ඒ සඳහා පහසුවෙන්ම ගොදුරු කරගත හැක්කේ තරුණ වියේ පසුවන්නන්ය. අත්දැකීම් අඩු සහ ආවේගශීලී බවින් ඉහළ පිරිසක් වන මෙම පිරිස ඉතා පහසුවෙන් වරදට යොමුකරගත හැකිය.

පාසල් වියේ පසුවන හිරිමල් තරුණ තරුණියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, අපචාර ක්‍රියාවලට යොමුවීම පිළිබඳ සිද්ධීන් අප රට තුළ මේ වනවිට බහුලව අසන්නට දකින්නට ලැබේ.

පාසල් නිල ඇඳුම පිටින් පාසල තුළ මත්පැන්, දුම්වැටි පානය කරමින් සිටියදී හසුවූ සිසුන් ගැන පාසල් නිල ඇඳුමින් තානායම්වලට ගිය ශිෂ්‍යාවන් ගැන ද අසන්නට ලැබෙන සිද්ධීන් ඉහළ යෑම නිසා දැන් එය සාමාන්‍ය සිද්ධියක් බවට පත්වෙමින් තිබේ.

මීට වසර ගණනාවකට පෙර මෙවැනි සිද්ධීන් අසන්නට ලැබුණේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් වෙතිනි. දැන් එය නගරයෙන් ඔබ්බට ගොස් ගමේ පාසල්වලින් ද වාර්තාවන්නට පටන්ගෙන ඇත.

සෑම දෙමාපියෙක්ම තම දූ දරුවන් පාසල් යවන්නේ තමුනට වඩා හොඳින් ඉගෙනගෙන දීප්තිමත් අනාගතයක් සරිකරගන්නට මග පෑදීමේ අරමුණිනි. එනිසා දරුවා ඉපදීමටත් පෙර ඔවුන් යැවිය යුතු පාසල තීරණය කර ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාගැනීමට වෙහෙසෙති. එනිසා ජනප්‍රිය පාසල් අසල ඇති නිවාසවල ලිපිනයන්ගෙන් අදාළ පාසල්වලට ඇතුළු වූ දරුවන් ගණන අතිමහත්ය.

එසේ පාසලට ඇතුළුවන දරුවා වෙනුවෙන් දෙමාපියන් කරනු ලබන කැපවීම අවසන් වන්නේ දරුවා උසස් පෙළ විභාගය කර පාසලින් පිටවූ විටදීය.

කිලෝ ගණනක් බරැති පොත් බෑගයේ බර ද දරුවාට නොදී දෙමාපියන් ඒ බරද උසුලාගෙන පාසලට රැගෙන යන්නේ අපි වින්ද දුක් දරුවන්ට නොදිය යුතුයි යන පරම චේතනාවෙනි.

එලෙස පාසලට රැගෙන යන දරුවා ගුරුවරුන්ගෙන් බැණුමක් අසනවාට හෝ වරදකට වේවැල් පහරක දඬුවම විදිනවාට හෝ දෙමාපියන් අකමැතිය. එනිසා දරුවාට ගුරුවරයා පාසල තුළදී දඬුවම් කළ විට ඊට එරෙහිව මානව හිමිකම් යෑමට පොලිසියට ගොස් පැමිණිලි කර ගුරුවරයාට ද දඬුවමක් ලබාදීමට ඇතැම් දෙමාපියන් පෙළඹෙන්නේ එබැවිනි.

එනිසා ඇතැම් දරුවන් ද තම දෙමාපියන්ගේ එම රැකවරණය ප්‍රයෝජනයට ගනිමින් අසීමිත ලෙස පාසල් දිවියේ නිදහස භුක්ති විදිති. ඒ අනුව ඇතැම් දරුවන් දෙමාපියන්ගෙන් මුදල් ලබාගෙන විත් තම යහළු යෙහෙළියන් සමග එක්ව මත්පැන් මත් ද්‍රව්‍යවල පහස විඳිති.

ඊට එම දරුවන්ගේ ඇති කැමැත්ත තවත් වැඩිකරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පාසල් දරුවන් ඉලක්කකර ගනිමින් අයිස් වැනි මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට යොමුව සිටිති. පාසලේ වාර්ෂික ක්‍රීඩා තරග දිනයේදී හෝ ක්‍රිකට් තරගය දිනයේදී මෙම නිදහස අසීමිත ලෙස භුක්ති විඳින්නට ඔවුහු පෙළඹෙති.

වර්තමානයේ බොහෝ පාසල්හි මෙවැනි ක්‍රීඩා උත්සව පවත්වන්නේ දරුවන්ගේ ක්‍රීඩා කුසලතා එළි දැක්වීමේ අරමුණට වඩා තම පාසල අන් පාසල් අතරින් කැපී පෙනීමේ තරගයට යොමුවෙමිනි.

එනිසා ක්‍රීඩා තරගයට වඩා එහි ප්‍රචාරණයට සහ සැරසිලිවලට වැඩි වියදමක් දරති. අපේ දරුවා යන්නෙත් අහවල් ක්‍රිකට් මහා තරගය පවත්වන විදුහලට යැයි කියන්නට ඇතැම් දෙමාපියනට අවශ්‍යය. එය ඔවුන් මාන්නය ඇතිකර ගැනීමට ආභරණයක් කර ගනිති. එහි ප්‍රතිඵලය වී ඇත්තේ අද වනවිට පාසලේ අධ්‍යාපන කටයුතුවලට වඩා මෙවැනි ජනප්‍රිය විය හැකි බාහිර ක්‍රියාකාරකම්වලට වැඩි උනන්දුවක් දක්වන්නට විදුහල්පතිවරු ද පෙළඹී සිටිති.

අපිත් අහවල් පාසල් වගේ මහා ක්‍රීඩා තරග සංවිධානය කරමු. සංගීත වැඩසටහන් පවත්වමු. රථවාහන පෙළපාලි යෑම ආදී වැඩසටහන් පාසල් මහා සභා රැස්වීම්වලදී යෝජනා කරති. මෙහිදී දරුවන්ට ද අසීමිත නිදහසක් හිමිවේ. දෙමාපියන්, ගුරුවරුන් සහ දරුවන් එහිදී එකට එක්ව විනෝද වෙති. ගුරුවරයා සහ සිසුවා අතර පරතරය අඩුවී එකිනෙකා සමීප වෙති. මෙහිදී ඇතැම් සමීපවීම් අයථා ලිංගික සබඳතා අපචාර දක්වා දුරදිග යති.

මේ වනවිට එම නිදහසේ උච්ජතම අවධියට පත්ව ඇති බවක් දැනේ. අප සිටින්නේ යල්පැන ගිය සංස්කෘතියකය. ඉන් සමාජයට බිහිවන්නේ සමාජශීලී දරුවන් නොව කුලෑටි ගති ඇති වර්තමාන සමාජයට නොගැළපෙන පිරිසක් බවට ඇතැම් පිරිස් මතයක් ගොඩනැඟීමට උත්සාහ ගනිති.

අම්මා තාත්තා යනු විශේෂයෙන් ගරු කළ යුතු දෙදෙනෙක් නොව ඔවුන් තමුන්ගේ හැඟීම් සතපවාගෙන දරුවකු බිහිකර ඇති බවට ඇතැම් කොට්ඨාස නව රැල්ලේ විචාර කරති.

ගුරුවරුන්ගේ වගකීම දරුවන්ට ඉගැන්වීම පමණකි. එය ඔවුන්ගේ රැකියාවකි. ඊට ඔවුනට වැටුපක් ගෙවයි. එනිසා ඔවුනට විශේෂ ගරු කිරීමක් කළ යුතු නැතැයි රැඩිකල් යැයි කියන පිරිසක් පවසති.

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. එනිසා මත්පැන්, දුම්වැටි පානය කරන්න, ලිංගික සබඳතා පවත්වන්න වයස් සීමාවක් නැහැ. තමාගේ ආශාවන් සතපවා ගැනීමට ඇති නිදහසට බාධා නොකළ යුතු යැයි ද පිරිසක් පවසති. මෙවැනි මතවාද සමාජ මාධ්‍ය ඔස්සේ යොවුන් වියේ පසුවන දරුදැරියන් අතරට යැවීමට පිරිසක් සංවිධානාත්මකව කටයුතු කරති. ඉන් ඔවුන් බලාපොරොත්තු වන්නේ තම මත්ද්‍රව්‍ය ජාවාරම් රිසිසේ සිදුකර ගැනීමට අවශ්‍ය වෙළෙඳපොළක් බිහිකර ගැනීමටය.

අපි ස්මාර්ට් සමාජයකට යන්න නම් සිතුවිලිවලිනුත් ක්‍රියාවෙනුත් ස්මාර්ට් විය යුතු යැයි පවසමින් මෙම ජාවාරම්කරුවන් පාසල් දරු දැරියන්ගේ මනසට එක්කරන්නේ වැරදි ආකල්පය.

විනයගරුක සමාජයක් බිහිවුවහොත් මෙම ජාවාරම්කරුවනට තම මත්ද්‍රව්‍ය ජාවාරමට බාධාවකි. එනිසා හැකිතාක් දුරට විනය පිරිහුණු සමාජයක් ගොඩනැගීම මොවුන්ගේ අරමුණය. ඒ සඳහා ඔවුනට විවිධ ආගමික සංවිධාන, න්‍යායාචාර්යවරුන්ගේ ද සහාය ලැබෙති.

සිරුරේ අඟපසඟ පෙනෙන ලෙස ඇඳුම් පැළඳුම් ඇදීම නව විලාසිතාවක් බවට පත්කර ඇත. එසේ නොඅදින්නේ ගමේ ගොඩේ හැදිච්චි, කුළෑටි අය යැයි කියති. පොෂ් කෑලි වෙන්න නම් අඟපසඟ පෙන්විය යුතුය. මත්ද්‍රව්‍ය, දුම්වැටි, මත්පැන් ආදිය පානයට බිය නොවිය යුතුය ආදී සිතුවිලි වලින් යොවුන් මනස පුරවන මෙම පිරිස අවසානයේදී එම මල් කැකුළු කාමාතුරයන්ට බිලිවී මිලිනවී ගියවිට ඉන් සතුටක් ලබති.

එනිසා දැන්වත් අප සිහිනුවණින් කටයුතු කරන්නට අවදිවිය යුතුය. අප නොදුටු අපි නොවිදි ලෝකය දරුවන්ට විදින්නට දොර විවර කර දෙනවා යැයි කියා නොසිතා දරුවන් විනයගරුක සහ නීතිගරුක පිරිසක් ලෙස සමාජයට දායාද කිරීමට දෙමාපියන් පෙළගැසිය යුතුය. පාසල් ගුරුවරුන් ද මේ අපගේ අනාගත පරපුර යැයි සිතා දරුවන්ගේ නැණ නුවණ පෑදීමට අවධානය යොමු කළ යුතුය.

මුදල් උපයා ගැනීමේ අරමුණින් දරුවන්ට පහත් රසය ගෙන එන කතා පවසා අධ්‍යාපනයට වඩා විනෝදයට බර පාසල් දිවියක් ගෙවීමට හුරු කරන ටියුෂන් ගුරුවරුන්ගෙන් තම දරුවන් ඈත් කිරීමට දෙමාපියන් වගබලාගත යුතුය.

නීතිය රකින පොලිසිය ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට මිස පාසල් දරුවන්ගේ පොත් බෑග පරීක්‍ෂා කරමින් බාල ගණයේ විකට රංගනවල නිරතවීම දැන්වත් නතර කළ යුතුය.

රූපවාහිනි කැමරා ඉදිරියේ රඟපාමින් මත් ද්‍රව්‍ය වැටලීම් කරන බව පවසා නීති විරෝධී තානායම් පොළ පරීක්‍ෂා කරනවා යැයි පවසා තම උසස්වීම් සඳහා පිටපත් රංගනයේ නොයෙදිය යුතුය.

තම දරුවන්ගේ හොඳම මිතුරා සහ මිතුරිය විය යුත්තේ දෙමාපියන් මිස වෙනත් අය නොවේ. දුවට මවක මිස පමණක් නොව පුතුට පියෙකු ද සිටිය යුතුය.

තමුනට දරාගත නොහැකි සමාජ මට්ටමක් ඇතිකර ගැනීමට මුදල් සෙවීම සඳහා යොමුවී ඇති දෙමාපියන් වර්තමානයේ බොහෝ දැකගත හැකිය.

හොඳ ගෙයක්, ලොකු වාහනයක්, ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන දරුවන් පිරිසක් වෙනුවෙන් සිහින මවාගෙන දවසේ පැය 24 පුරා වෙහෙසවෙමින් දූදරුවන්ගෙන් දුරස්ව ජීවත්වීම වෙනුවට තමුනට හැකි පරිදි ජීවත්වීමට ප්‍රමාණවත් නිවසක්, වාහනයක් සහ හොඳ අධ්‍යාපනයක් ලබාගත හැකි පාසලක් වෙත දරුවන් ඇතුළත් කර පවුලේ සාමාජිකයන් ද සමග කාලය ගත කිරීමට දවසේ පැය භාගයක් හෝ වෙන් කළ හැකි දිවියකට හැඩගැසුන හොත් එම දිවිය සැබෑ ස්මාර්ට් දිවියක් වනු ඇත. එසේ වූ විට අපට නවාතැන් පොළට පාසල් නිල ඇඳුමින් සහ දූ දරුවන් ගැන, මත්ද්‍රව්‍ය, මත්පැන් දුම්වැටිවලට ඇබ්බැහි වූ පාසල් දරුවන් බිහිවීම අවම කළ හැකිය. සෑම සමාජයකම හොඳ මෙන්ම නරක ක්‍රියාවන් ද ඇත. එහිදී හොඳ සියයට 90ක් සහ නරක සියයට 10ක් ලෙස පවත්වාගත හොත් එම සමාජය යහපත් යැයි පවසනු ඇත. එසේ නොමැතිව සියයට සියයක් හොඳ පමණක් ඇති සමාජයක් ලොව කොහේ හෝ මෙතෙක් බිහිවී නැත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment