ස්ලිට් යළි මහපොළට ගන්න නියෝග කරන්න: විජයදාස ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

607

මාලඹේ ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය (ස්ලිට්) යළි මහපොළ භාරකාර අරමුදලට පවරා ගැනීමට බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (29 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මහපොළ භාරකාර අරමුදලේ භාරකාරත්වය යටතේ පිහිටුවනු ලැබූ තොරතුරු තාක්‍ෂණ ආයතනය මහපොළ අරමුදල් භාරකාර මණ්ඩලයේ කිසිදු යෝජනා සම්මතයකින් තොරව ස්ලිට් ගැරන්ට් ආයතනයට පවරා දීම නිසා රුපියල් මිලියන 400 කට අධික පාඩුවක් සිදුවී ඇති බවත් පෙත්සම්කරු එමගින් අධිකරණයට දන්වා තිබිණි.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නිර්දේශ අනුව එකී අතිවිශාල පාඩුවට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන ලෙසට නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ද හිටපු අධිකරණ අමාත්‍යවරයකු වන පෙත්සම්කරු එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

එමෙන්ම එකී ජනාධිපති කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇති පරිදි එකී අපරාධයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පවරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝගයක් නිකුත් කරනා ලෙසත් ස්ලිට් ආයතනය විසින් 2015 මැයි මස සිට උපයා ඇති සියලූම ලාභ මහපොළ අරමුදලට බැර කරන ලෙසට නියෝගයක් නිකුත් කරනා ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත. එයට අමතරව ස්ලිට් ගැරන්ට් සමාගමේ අධ්‍යක්‍ෂවරුන්ගෙන් මිලියන 100 ක වන්දියක් මහපොළ අරමුදලට අයකර දීමට නියෝගයක් කරනා ලෙසත් ඉල්ලා ඇති පෙත්සම්කරු සිය පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු ස්ලිට් ආයතනයේ වත්කම් විකිණීම, බැහැර කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරනා ලෙසත් අධිකරණයෙන් ඉල්ලා ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩලය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සෙසු කොමසාරිස්වරුන් හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට තිබේ.

හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් මහපොළ භාරකාර අරමුදල ආරම්භ කරනු ලැබුවේ උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය විශ්වවිiාලවලට ඇතුළත් වන ආර්ථික අපහසුතා සහිත සිසු සිසුවියනට ශිෂ්‍යත්ව ලබාදීමේ අරමුණ පෙරදැරිව බවත් පසුව එය 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත මගින් ව්‍යවස්ථාපිත භාරයක් බවට පත් කළ බවත් පෙත්සම්කරු අධිකරණයට දන්වා තිබිණි. එම අරමුදලින් ශිෂ්‍යත්ව ලබා 317,000 ක් උපාධිධාරීන් බවට පත් වී ඇති බවත්, යහපාලන රාජ්‍ය සමයේදී මහපොළට පූර්ණ හිමිකම තිබූ ස්ලිට් ආයතනය එම ආයතනය පාලනය කළ ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණික (ගැරන්ට්) සමාගම වෙත පවරා දුන් බවත්, පෙත්සම්කාර මන්ත‍්‍රීවරයා සිය පෙත්සම මගින් අධිකරණයට දන්වා තිබිණි. ජනාධිපති චන්‍ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සංකල්පයක් මත තොරතුරු තාක්‍ෂණ විෂය ප‍්‍රචලිත කොට එමගින් දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා සහ ගාස්තු අයකරමින් පවත්වා ගෙන යනු ලබන එම ආයතනයෙන් ලැබෙන ලාභය මහපොළ භාරකාර අරමුදල හරහා රාජ්‍ය විශ්වවිiාලවල ඉගෙනුම ලබන දුගී දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම එහි ප‍්‍රධාන අරමුණ වූ බව ද පෙත්සම්කරු අධිකරණයට දන්වා තිබිණ.

ස්ලිට් ආයතනයේ පාලනය සඳහා පිහිටු වූ ගැරන්ට් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කළ හැක්කේ අමාත්‍යාංශ ලේකම්වරුන් වැනි උසස් රාජ්‍ය නිලධාරින්ට පමණක් වුවත් පසුකාලීනව කුමන්ත‍්‍රණකාරි ලෙස විවිධ පුද්ගලයන් පත් වූ බවත්, සඳහන් කරන පෙත්සම්කරු තමා 2018 වසරේදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් වූ පසු ඉන් පෙර එහි සිදුවී තිබූ වංචනික ක‍්‍රියා අනාවරණය කර අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් බලශූන්‍ය ගිවිසුම් අවලංගු කිරීමට පියවර ගත් බව ද අධිකරණයට දන්වා තිබිණි.

2018 සැප්තැම්බර් 8 වැනිදා විගණකාධිපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරමින් ඉන් පෙර වසරවල සිදුවූ අයථා ගනුදෙනු නිසා මහපොළ අරමුදලට රුපියල් කෝටි 164 කට අධික අලාභයක් සිදු වී ඇති බැවින් එකී අලාභය භාරකාර මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් අයකර ගන්නා ලෙසට නිර්දේශ කර තිබූ නමුත් 2018 ඔක්තෝබර් මස සිදු වූ ආණ්ඩු වෙනස නිසා එය ක‍්‍රියාත්මක කිරීම වැළකී ගිය බව ද අධිකරණයට දන්වා තිබිණි.

තමා 2019 පෙබරවාරි 29 වැනිදා එකී වංචා නිසා මහපොළ අරමුදලට සිදුවී ඇති අලාභය රුපියල් කෝටි 2300 ක් බව පෙන්වා දී එකී ¥ෂිත ගනුදෙනුව සම්බන්ධ පුද්ගලයන්ට නඩු පවරන ලෙස ඉල්ලා සිටි බවත් පෙත්සම්කාර විජයදාස රාජපක්‍ෂ මහතා අධිකරණයට දන්වා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment