ස්වප්නාලංකාරය

59

දිනෙක චූලෞෂධයෝ සුපුරුදු ලෙස ස්වකීය ශ්‍රාවක ජනයා හමුවනු පිණිස පෙරයම කටයුතු නිමවා පාතරාසයද වළඳා හමාර කොට සප්පායම් කුටියෙන් පිටතට විත් ගිනිහල්ගෙය දෙස බලනුයේ තුමූ සියලු සාත්තු සප්පායම් සුව සේ නිම කළ ද එකී කටයුතු පිණිස වෙහෙසුනා වූ ප්‍රිය දේවිය තවමැ ඉවුම් පිහුම් ඇණැවුම් බැනැවුම් කාරියෙහි ලා නියුතුවැ සිටිනා නියා දැකැ තුමූ සුව පිණිසැ ඈ මහත් සේ වෙහෙසනා බැව් සිහි නඟා කරුණා සිත් ඇතිව එතැන මඳක් තාවරව හිඳ යළි තමන් සැපත් වන තෙක් මඟ බලා හිඳිනා ශ්‍රාවක කැළ සිහිවැ එතැනින් මෑත්ව විසුම් ගෙය පසු කොට ඇතුල් ගෙය හරහා ආලින්දයට පිවිස රැස්වුම් ගෘහය දෙස බැලූ කල්හි එහි රැස්ව හිඳිනා ශ්‍රාවක පිරිස, එකෙකු වට කොටගෙන උසුළු විසුළු ආදියෙන් උහු මඬිනා සෙයක් දැකැ වහා එතැනට ගොස්, “එම්බල වැසියෙනි, තෙපි එකකු වට කොට මෙසේ නොහොබනා සේ උහු මඬිනුයේ කවර හෙයින්දැ? එකී කාරිය යහපත් එකක් යැයි තෙපි සිතනේදැ?”යි අසනාහ. ශ්‍රාවකයෝද චූලෞෂධයන්ගේ හඬින් එදෙස බලා වහා වින්දිතයා අතහැර, “නැතැ ස්වාමීනී, එබන්දක් නොව තෙල පුක්කුසයා පෙර සත්දිනක් එක සේ ස්වප්න සතක් දක්නා ලදැයි කියනායැ. ඉදින් අප විමසූයේ තා කොසොල් රජාණන්දැයි පමණයැ.”යි පවසා තවකෙකු දෙස බලා, “මුහු නම් ස්වාමීනී “තෙල ගාන්ධර්වයා සේ තොප සිහින සතක් දුටුවෙහිදැ සත් දවසක් එක විලසමැ?”යි කෝචොක කරනායැ”යි පවසනාය. චූලෞෂධයන්ද උන් දෙස නොමනාපව බලා පුක්කුසයා අමතා, “එම්බල සකිය, මුන් කියනා දෑ සැබෑවක්දැ?”යි ඇසූ කල්හි පුක්කුසයා, “එසේය ස්වාමීනී, දින ගණනෙක සිට චිරස්ථ ලෙස පෙනෙනා වූ ස්වප්න මාලාවක් නිසා මා මහත් වූ බියකින් පසුවන්නෙම්යැ. නුඹ වහන්සේ බැහැදැක එකී ස්වප්න ඵලාපල දැනැගනු රිසියෙන් පැමිණියෙමි”යි කීය. පණ්ඩිතයෝද එබස් අසා යහපතැයි කියා,“එසේ නම් තා දුටු ස්වප්න නොවලහා කියව, මා නැණ පමණින් විචාරා කියමි”යි කියා “සකියෙනි, තෙපි සැමත් මීට එක්වව්” යැයි අනෙකුන් බනවා අසුන් ගන්නාහ.

පුක්කුසයා ද එකත්පස්ව හිඳ පළමු ස්වප්නය කියනුයේ,“ස්වාමීනී, අප දුක සේ වගාදිගා කැරගත් බවබෝග උයනට වැද සමූල ලෙස එකී භෝග විනාශ කලා වූ මහීෂ රැල නොදුටු සේ හිඳ, උයන කොනෙක උඳුපියල්ලක් උලා කමින් හිඳි සාවකු ග්‍රීවයෙන් ගෙන ගොස් නඩු අසා එල්ලා දමන ලද්දේය. අප කෙතෙක් කෑගැසුවද පලක් නොවූයේයැ”යි කී කල්හි චූලෞෂධයෝ මඳක් වේලා කල්පනායෙන් හිඳ “සකියනි, ඉන් කියනුයේ ජනයාගේ රුහිරු මාංස උරනා මහා චෞරයන් නිදැල්ලේ හැර සුළු වරදකරුවන් රාජ වධයට පත් කරනා බවය. බදු වංචා සොරුන් භාණ්ඩාගාර චෞරයන් ආදී මහා චෝර නයුවන් නොදක්නේ අජ්ජපාන ඇමතෑංස ද්වාරයට හානි කළැයි හිමිනමක්ද ආදිවාසී පුත්‍රයකුද වූ දිසාපාමොක් දරුවන් ත්‍රස්තයන් සේ ගෙන වධ කොට දඟ ගෙයි ලන්නා සේයැ”යි පළමු ස්වප්නය විචාරා කියනාහ. එවදන් ඇසූ ශ්‍රාවක පිරිස තුෂ්ණිම්භූතගතව චූලෞෂධයන් දෙස බලා හිඳිනා කල පුක්කුසයා ද්විතීය ස්වප්නය හෙළි කරනාය. “ස්වාමීනී, එක් වීදියක අයිනෙහි උක්කුටිකයෙන් හිඳ දුක සේ අත්ලට ලා ගත් සිහිනි කැට ස්වල්පයක් හා කුස ගින්නට කසට දියර ඇබින්දක් පූ ගන්නා වූ යාචකයන් පෙලා උන් ග්‍රීවයෙන් ගෙන උන් අත වූ සිහිනි සුඟ උදුරා ගෙන ගොස් සමුද්‍ර තීරයෙහි වූ ප්‍රභූ අවන්හල්පතියකු අත්ල පුරවනා වූ හොටුනු පැළඳියෙකු දුටුයෙම්”යැයි කියනාය. චූලෞෂධයන් වහා කියනුයේ “බොහෝ සරල ය. මේ වනාහී කෘතගුණ සැලැකුමක් වන්නේය. තුමුනට රජ වන්නට අනුග්‍රහ කළ උනට සැලැකුමය. එකී ගුණය යහපත් වුවද එකී වන්දිය ගෙවූයේ අසරණ ජනයා වූ තොපය. කොටින්ම මහජන ධනයෙන් සකියන් පිනැවුම වන්නේය”යි පහදනාය. ශ්‍රාවක පිරිසද මහා සිහිනි බදු සහන වංචාව සිහිවැ මුව අයා අසා සිටිනුයේ පුක්කුසයා තෘතීය ස්වප්නය ගෙනහැර දැක්වීය. “ස්වාමීනී, අමු සොහොනකිය. තෙරුන් වහන්සේලා කිහිප නමක් සොහොනෙහි දමා තුබූ මෘත ශරීර ඔතනා ලද්දා වූ දුගඳ පිළී කඩ එකතු පහදු කොටගෙන සෝදා පිරිසිදු කොට පඬුයෙහි ලා ඉන් සිරුර වසා පොරවා නිරුවත් දෙපයින් පිඬුසිඟා වඩිනා කල්හි උන් වහන්සේලා එකවරැම කසීරට වියන ලද්දා වූ විසිතුරු චීවරයෙන් සැරහී මහත් සැප රියක වඩිනු දුටුයෙමි” යැයි කියනාය. එකී ස්වප්නය ඇසූ චූලෞෂධයෝ ශ්‍රාවකයන් අතුරෙන් වඩා ප්‍රඥාසම්පන්න වූ සේනකයා අමතා, “සේනකය, තොපට ඉන් හැඟෙනුයේ කිමෙක්දැ?” යි විචාලහ. සේනකයාද, “ස්වාමීනී සිම්පල ය. මා හට හැඟෙනා ලෙසින් නම් සසුන අනුභව කරනා වූ දුස්සීල මහණුන් ශීඝ්‍රව පැතිර යන බවක් එකී ස්වප්නය දක්වන්නේය. ශාස්තෘන් වහන්සේ මහණුන් අරභයා දෙසා වදාළ අල්පේච්ඡ දිවිය ගත කරන්නැයි ස්වකීය ශ්‍රාවක දායකකාරකාදීන්ට දෙසා තුමූ අග්‍ර වූ කාමසුඛල්ලිකානු දිවියක් ගත කරනා දුස්සීල මහණුන් පිළිබඳවය. අෂ්ට වී සැප රියෙන් මිස දෙපයින් අඟලෙක්වද නොවඩනා, ඉපදීම දුකක් යැයි පසක් කළ ධර්මය, උපන්දා සාදයෙන් මස් මාංසයෙන් රස මසවුලෙන් සෝම පානයෙන් සමරා, ඝාතක, චෞර පාලකයිනට පරිත්‍රාණ හුය ගැටගසනා පවිටු මහණුන් පිළිබඳවය.” යැයි මහත් වූ ආවේගයෙන් කීය.

චූලෞෂධයෝද සේනකයාගේ ආවේග ස්වභාවය සමනය වන තෙක් හිඳ පුක්කුසයා අමතා, “පුක්කුසය, තොප දක්නා ලද්දා වූ චතුර් ස්වප්නය හෙළි කරව”යි කිවූහ. පුක්කුසයාද රැල් බුරුල් හැර,“ස්වාමීනී, දුගී ජනයින් රැසක් මඟ දෙපස වාඩිලා බත් උලක් පතා සිඟමන් යදින්නේය. තවත් උන් තුමූ බඩතුරට අත යවා රුහිරු පෙරමින් ස්වකීය වෘක්ක ගලවා පිටතට ගෙන අහසට දිගු කොට ලන්නාහ. තවද තන්හි තන්හි වෘක්ෂයන්හි ගෙලෙන් එල්වෙනා මළ සිරුරුය. එකෙණෙහිම එකී මාර්ගය නොදුරෙන් වූ දියමංකඩ නම් වූ අවන්හලෙන් මහා ඝෝෂාවක් නැගුනෙහිය. ස්වාමීනී මහත් භයංකර වූ එකී ස්වප්නය කිමෙක්දැ?”යි ඇසීය. “සකියනි, රුහිරු පෙරෙනා වෘක්ක අහසට පානා අසරණයින් වනාහී දිවි රැකුම් පිණිස තුමූ අවයව පවා අලෙවි කරනා ජනතාව වන්නේය. වෘක්ෂයන්හි එල්වෙනා සිරුරු වනාහී දිවි රැකුම් පිණිස මඟක් නොමැත්තේ, දිවි තොර කරගත් අසරණයින්යැ.”යි පවසනා චූලෞෂධයන් හැඟුම්බරව මඳක් නිහඬව සිටිනුයේ පුක්කුසයා,“ස්වාමීනී, දියකඩඉමෙන් නැඟි මහා ඝෝෂාව කිමෙක්දැ? ජනයා ගලවා ගැනුම් පිණිස දියසෙන් කුමරු පහලවන්නා වූ හඬදැ?”යි ඇසීය. පුක්කුසයාගේ එවදන් ඇසූ චූලෞෂධයෝ සේනකයාටත් වඩා ආවේගයෙන්, “උළව් දියසේනයෙක් නොව මුග්ධය, ඒ වනාහී මෙකී සකළ වෑසනයනට වගකිව යුත්තා වූ උන් ඛාද්‍යයෙන් භෝද්‍යයෙන් සෝම පානයෙන් රස මසවුලෙන් සන්තර්පණව මාංශ තෙල ක්ෂය වනු පිණිස ගැයුමෙන් වැයුමෙන් නැටුමෙන් ඝෝෂා කරනා හඬ යැ”යි දන්ත මුෂ්ටි අනුභව කෙරෙමින් කියනාහ.

නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment