ස්වප්න දෝෂ සහ පුද්ගලික අංශය

951

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා බි්‍රතාන්‍ය පවුම් කෝටි 10 ක් වැයකරනු ලැබේ. මේ මුදල සම්පූර්ණයෙන්ම දරනු ලබන්නේ බි්‍රතාන්‍යයේ බදු ගෙවන ජනතාව විසිනි. පවුම් කෝටි 10 ක් යනු පොඩි කෙළියක් නොවේ. ලංකාව වැනි රටක සමස්ත ජනතාවට දිනකට වේල් තුන බැගින් පුරා අවුරුදු දෙකක් තිස්සේ ආහාර ලබාදීමට වැයවන මුදල ද පවුම් කෝටි 10 ට අඩු ය. ඒ මදිවාට රාජාභිෂේකය පැවැත්වෙන දවසේදී බි්‍රතාන්‍යයේ බැංකු නිවාඩුවක්ද ප්‍රකාශයට පත්කෙරෙනවා ඇත. බි්‍රතාන්‍යයේ බැංකු වැඩ කරන එක දවසක් වසා තැබුවොත් ඩොලර් බිලියන 2.3 ක පාඩුවක් ආර්ථිකයට සිදුවේ. ඒ අනුව බලන කල චාල්ස් රජ නොවුණා නම් හොඳ බව එදා වේල run එක දෙන අපගේ අදහස වේ. සමහරවිට තමාගේ පුත්‍රයා රජකිරීම සඳහා මෙපමණ මුදලක් යන බව එළිසබත් රැජින දැන සිටියේ නම් තවත් සෑහෙන කාලයක් නොමැරී සිටින්නට උත්සහ කරනවා ඇත. සමහරවිට ඇය මියයෑමට පෙර රාජාණ්ඩුව අහෝසි කිරීමට ද ඉඩ තිබේ. චාල්ස් කුමාරයාගේ රාජාභිෂේකයට යන වියදම ගැන බි්‍රතාන්‍ය ජනතාවගෙන් හරි අඩක්ම කලකිරීමට පත්ව සිටිති. රාජාභිෂේකය දිනයේදී රාජාණ්ඩු ක්‍රමයට එරෙහිව බි්‍රතාන්‍ය පුරාම උද්ඝෝෂණ පැවැත්වීමට ද නියමිතය. බි්‍රතාන්‍ය යනු අපගේ පැරණි හාම්පුතෙකි. සිංහල බෞද්ධයන් සමූලඝාතනය කරමින් රටවැසි ජාතීන් අතර භේද සදමින් ශ්‍රී ලංකාව උලා කෑමට බි්‍රතාන්‍ය ගත් උත්සාහය නතර වන්නේ 1948 දීය. එම උත්සාහය නතර වූයේ ඇයි? එයට හේතුව මේ රටේ සිටි සිංහල සුද්දන් විසින් මේ රටේ තිබූ බි්‍රතාන්‍ය ධන සම්පත් සියල්ල උලා කෑමට පටන් ගැනීමය. ඒ බව දුටු බි්‍රතාන්‍ය ජාතිකයෝ 1947 දී ඉන්දියාවට නිදහස දී ඊළඟ අවුරුද්දේ අපට නිදහස පිරිනමා පලා ගියහ. බි්‍රතාන්‍යය ලොකුම පාඩම ඉගෙනගත් යටත්විජිතය හෙවත් කොලනිය ශ්‍රී ලංකාව ය. මේ රටේ සිටින නාස්තිකාර මිනිසුන් කොපමණ වධයක්ද යන්න පසුකාලයේදී බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරු සඳහන් කර තිබිණ. සුද්දාගේ හැරමිටිය අඩි තුනක් උස නම් සිංහල සුද්දාට අඩි හතරක හැරමිටියක් ඕනෑ විය. සුද්දාගේ ටේල් කෝට් එක පිටි පස්සෙන් අඩි දෙකක් දිග නම් අපේ අයට අඩි තුනහමාරක ටේල් කෝට් එකක් වුවමනා විය. එය වලිගයක් හා සමාන විය. යටත් විජිත යුගයේදී මේ රටේ සිටි ධනවත්, වංශවත්, ප්‍රභූවරු කලිසමට උඩින් සරමක් ද ඇන්දාහ. එය උඩින් කෝට් එකක් දමාගත් පසු මේ මිනිසුන් දර්ශනය වූයේ විකට ඇඳුම් තරගවලට සහභාගී වන උදවිය මෙනි. අයර්ලන්තයේ ජනතාවගේ ජාතික ඇඳුම සායකින් සහ ටයි කෝට්වලින් සමන්විත විය. අප මෙයට හිනා විය යුතු නැත්තේ එය එදා සිටම තිබූ අයිරිෂ් ජාතික ඇඳුම නිසාය. කොහොමටත් යටත්විජිතවාදය යනු රටවල් සූරාකන අතර ඒ රටවල් තුළ වෙනම නාස්තිකාර පන්තියක් බෝ කරන නීච ක්‍රමවේදයකි. අපි නිදහස ලැබී 75 අවුරුද්දකට වැඩි කාලයක් ගතකර ඇත්තෙමු. යටත්විජිතවාදයේ නෂ්ටාවශේෂ වූ මෝඩ කෝලම් අදටත් මේ රටේ සමාජය තුළ ඉතිරිව තිබේ. චාල්ස් කුමාරයාගේ රාජාභිෂේකය ගැන අපගේ අදහස දැනට මෙතැනින් අවසන් කරන අතර තවත් වැදගත් මාතෘකාවක් කෙරෙහි අවධානය යොමු කරමු.

උතුරු නැගෙනහිර පළාත්වල නැවත වතාවක් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසකට යාපනයේදී පවසා ඇත. උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් ආක්‍රමණයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ පිළිවෙළත් නිසා මෙම අවදානම ඇතිවී තිබෙන බව පවසන සුමන්දිරන් මේ සම්බන්ධයෙන් මෙරට ආණ්ඩුවට බලපෑම් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට කියා ඇත. සුමන්දිරන් හීනෙන් කතා කරන බව පෙනේ. ඔහු අඟවන්නට උත්සහ කරන්නේ උතුරු නැගෙනහිර බෙදුම්වාදී තත්ත්වයක් හටගැනීමට යන බව විය යුතුය. එල්.ටී.ටී.ඊ. යුද්ධය නිමාවීමෙන් පසු අවුරුදු දෙක තුනක් යනතෙක් උතුරු නැගෙනහිර දෙපළාත මිනී පිට්ටනියක් සේ නිහඬතාවයක ගිලී තිබිණ. යුද්ධය නිසා ජනාවාස නටබුන් බවට පත්වී තිබුණු අතර ජනතාවගෙන් වැඩි හරියක් හිටියේ සරණාගත කඳවුරුවල ය. එම ජනයා නැවත තම පාරම්පරික භූමිය වෙත පැමිණ පදිංචි වීමට සෑහෙන කලක් ගියේය. ඉන්පසු නැවත වතාවක් යම් යම් කලබල ඇති විය. මෙවැනි කලබල උතුරේ පමණක් නොව කොළඹත් හටගනී. ජන ඝනත්වය වැඩිවූ කාර්යබහුලත්වය සහිත ඕනෑම තැනක මිනිසුන් අතර කලබල ඇතිවේ. මේ කලබල ඇතිවෙන්නේ ඊළමක් ලබා ගැනීමට හෝ බෙදුම්වාදය පැතිරවීමට නොව එදිනෙදා හටගන්නා ප්‍රශ්නවල විභවය ශූන්‍ය කරගනු පිණිසය. යුද ජයග්‍රහණයෙන් අවුරුදු හතකට පමණ පසු යාපනය නගරය තුළ ‘ආවා’ නමැති කල්ලියක් වැඩ පටන් ගත්තේය. ආවා යනු අඩි කිහිපයක් දිග මන්න සහ ප්‍රාථමික පිස්තෝල රැගෙන මංකොල්ලකෑම්වල නිරත වූ කොන්ත්‍රාත් දාමරික කල්ලියකි. ඔවුන්ගේ ප්‍රමුඛ අවශ්‍යතාව වූයේ ඊළම නොව එදා වේල සම්පූර්ණ කරගනු පිණිස මංකොල්ල කෑමය. මේ අතර උතුරේ සමහර තැන්වල හිටිගමන් බෝම්බ පිපිරුවේය. ඒවා කොටි සංවිධානය අවුරුදු ගාණකට පෙර වළ දමන ලද හෝ කැලෑ මණ්ඩිවල අත්හැර දමන ලද බෝම්බය. ප්‍රදේශවාසීන් මේවා අතපත ගෑමට යෑමේදී පිපිරීම් ඇති විය. ඊට අමතරව සමහර තැන්වලින් වළ දැමූ අවි ගබඩා මතු විය. ඒවාද ඉතා පරණ බඩු ය. පසුගිය දිනවල කයිට්ස් දූපතේ පවුලක්ම සමූල ඝාතනය කරන ලදී. එම සමූල ඝාතනයට හේතුව වෙනම රාජ්‍යයක් ලබා ගැනීම නොව අදාළ නිවැසියන්ගේ රත්තරන් බඩු කොල්ලකෑම ය. මීට අවුරුදු අටකට පමණ පෙර විද්‍යා නමැති දෙමළ පාසල් ශිෂ්‍යාවක් උතුරේදී දූෂණය කර මරා දමන ලදි. මෙය කළෝ බෙදුම්වාදීන් නොව බ්ලූෆිල්ම් හදා කැනඩාවට විකුණන කාම අපරාධකරුවන් පිරිසකි. ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලුවේ ද නැත. එබැවින් සුමන්දිරන් විශාල සිහිනයක පැටලී සිටී. ඔහු දිය කොරහේ කිඹුලන් දකිනු වෙනුවට කලිසම් සාක්කුව තුළ කොටින් දකී. ඔබේ කලිසම් සාක්කුව තුළ කොටියකු සිටිනවා නම් ඌ මුලින්ම attack කරන්නේ ඔබගේ පුද්ගලික අංශයට ය. සුමන්දිරන් මැතිතුමා ද සිය පුද්ගලික අංශයේ ආරක්ෂාව පතාවත් මෝඩ සිහින දැකීමෙන් වැළකී සිටිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment