ස්වභාවික විපත් හානිය අවමකර ගැනීම

291

වර්ෂාව යනු ප්‍රාග්ධනය බව ඇතැම් කෘෂි අර්ථශාස්ත්‍රඥයෝ කියති. ව්‍යාපාරයකදී ප්‍රාග්ධනය උපයා ගන්නා ක්‍රම කිහිපයක් ඇත. ඉන් එකක් වන්නේ බැංකු ණයක් ගැනීමය. බැංකුවකින් නොව ගිනි පොලියට ණය දෙන මුදලාලි කෙනකුගෙන් හෝ ෆිනෑන්ස් කොම්පැණියකින් ණයට සල්ලි ලබාගෙන උපදවන ලද ප්‍රාග්ධනය මෙදා වර්ෂාව හා සම කිරීමට පුළුවන. පසුගිය දින කිහිපයක් තිස්සේ අතොරක් නැතිව වසී. වැස්ස ඉවරවී අව්ව පායා ජනතාව හිත හදාගත් සැණින් නැවතත් වැසි පටන් ගනී. පසුගිය දින කිහිපයේදී හටගත් වර්ෂාව නිසා සුනාමි කාලක පමණ හානි සිදුවී තිබේ. එනිසා අප වැස්සවලාහක දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රාග්ධනයෙන් අපට කළ සපෝට් එක දැන් අවසන් කරන ලෙසය. ප්‍රාග්ධනය දෙගොඩතලා යෑම නිසා පසුගිය දින කිහිපය තුළ 16 දෙනකු මිය ගියහ. කෙනෙක් මිය ගියේ ගේ තුළම කොටුවීමෙනි. තවත් පිරිසක් ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන් වූහ. මෙවැනි අයගේ මළ සිරුරු හමුවන්නේ ගංවතුර බැස යෑමෙන් පසුවය. එල්නිනෝ තත්ත්වය. අන්තර් මෝසම සක්‍රීය වීම බෙංගාල බොක්කේ වාසුලි සහ අවපාත හටගැනීම ප්‍රධාන මෝසම් සුළං සක්‍රීය වීම වැනි අතොරක් නැති පාරිසරික හේතූන් මත මේ ගංවතුර හටගෙන තිබේ. ඇතැම් තැනක කෙරුණු අපරික්‍ෂාකාරී ඉදිකිරීම් හේතුවෙන් වතුර බැස යෑම ප්‍රමාදවී තිබේ. ගංවතුරෙන් හානි වූ ජනයාට සහන සැලසීම සඳහා ආපදා අරමුදල් වහාම නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් දී ඇත. අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 20කට හානි සිදුවී තිබේ. එසේම ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කිරීමට ද ආණ්ඩුවට සිදුව ඇත. මෙය ඉතා බුද්ධිමත් ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකිය. ලයිට් නැතිකොට ජනතාව ආණ්ඩුවට බනීවි එහෙත් ගංවතුර ගලනවිට විදුලි කණු කඩාවැටී ජලයට විදුලිය මුසුවූ විට ඒ වතුරට බසින අය කරන්ට් වැදී මිය යෑමට ඉඩ ඇත.

මේ ආපදා අවස්ථාවේදී මේ රටේ ජනතාව එකතුවී විපතට පත් ජනතාව ගැන සිතිය යුතුය. මෙවැනි අවස්ථාවලදී ලෙඩ රෝග පැතිර යෑම ඉතා බහුල වශයෙන් සිදුවෙයි. ජලය බැස ගිය ද ලෙඩ රෝග බෝවීම එලෙසම පවතී. ගංවතුරෙන් අනාථව අතන මෙතන සිරවී සිටින ජනතාව වෙත සහන සැපයීම දුෂ්කර වන නමුදු ත්‍රිවිධ හමුදාව එවැනි සෑම මොහොතකම ඉදිරිපත් වූ බවට ඉතිහාසය පුරාම සාක්‍ෂි ඇත. මේ අතර සිවිල් ජනයා ද හැකි පමණින් රබර් බෝට්ටුවල නැගී ගංවතුරෙන් විපතට පත් පිරිස් වෙත යෑම අපි අතීතයේ සිටම අත්දැක ඇත්තෙමු. ගංවතුර යනු දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක් නොවේ. මෙයට පෙර මේ රටේ දරුණු ගංවතුරක් පැවති අවස්ථාවකදී ඇමැතිවරයෙක් කෙසෙල්ගෙඩි මත සිය නම සීල් ගසා ගංවතුර අනාථයන් අතර බෙදාහැරියේය. ඒ දේශපාලනඥයන් අද වනවිට දේශපාලනයෙන් අතුගෑවී යමින් පවතී. සහන සැලසීමේ ක්‍රියාවලියේදී රජය ක්‍ෂණික පිළිවෙතක් අනුගමනය කිරීම කෙරෙහි අප තුළ ඇත්තේ ගෞරවයකි. ආණ්ඩුවක් පත්කරන්නේ මිනිසුන් විසිනි. ඒ මිනිසුන් අනාථභාවයට පත්වූ විට අම්මා තාත්තා මෙන් ආණ්ඩුව ඉදිරිපත් වී විපතට පත්වූවන් බේරාගත යුතුය.

ස්වභාවික ආපදා යනු කිසිසේත්ම වැළැක්වීමට නොහැකි සංසිද්ධියකි. වැස්ස වසින එක අපට වැළැක්විය නොහැක. භූමිකම්පා ද අපට නැවැත්විය නොහැක. වැස්සෙන් පසු නායයෑම ද වැළැක්විය නොහැක. එමතු ද නොව සුනාමිය ද වැළැක්විය නොහැක. කොතරම් විශාල ගල් බාධක බැන්දත්, පතොක් ගාල්වලින් අවහිර කළත් සුනාමිය රට ඇතුළට එන එක එනවාමය. වර්ෂාව පිළිබඳ තත්ත්වය ද එසේමය. එබැවින් අප කළ යුත්තේ ඒවා මැඬපැවැත්වීමට කාලය අපතේ නොයවා ඒවාට මුහුණ දිය හැකි ජනතාව සන්නද්ධ කිරීමය. මෙයින් හැඟවෙන්නේ ගංවතුරට වෙඩි තැබීමට ජනයා අතට තුවක්කු දීම නොවේ. ස්වභාවික ආපදාවක් සිදුවන විට ඒවා මඟහැර ආරක්‍ෂිත තැන්වලට යෑමට ජනයාට පුහුණුව දීමත් ස්වභාවික ආපදා ඇතිවීමේ අවදානම ඇති තැන්වල ජනාවාස පවත්වාගෙන යෑමට ජනතාවට ඉඩ නොදීමත්ය. එසේම ආපදා අවස්ථාවකදී වහා ප්‍රයෝජනයට ගත හැකි ආහාර බෙහෙත් ද්‍රව්‍ය රබර් ඔරු යනාදිය ද සංචිතයක් වශයෙන් තබාගැනීම ඉතා වැදගත්ය. සමහරවිට ලබන අවුරුද්දේදී මේ වැස්ස මේ විදිහටම හටගැනීමට ඉඩ තිබේ. දැන්ම සිට සූදානම් වුණොත් හානිය අවමකර ගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment