ස්වයං ඉගෙනුම  – (Self Learning)

1060

අප රට මුහුණ පෑ කොවිඩ් වසංගයල දේශපාලන හා ආර්ථිකමය අවපාතය හමුවේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනය විශාල කඩාවැටීමකට ලක් විය. නමුත් ගුරුවරුන් විසින් නිරන්තරයෙන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ දරුවන්ට ඉගැන්වීම් සිදුකිරීමට ගනු ලැබූ උත්සාහය ඉතා අගය කළ යුතු ය.

 මෙවැනි තත්ත්වයක් යටතේ ගුරුවරයෙක් නොමැතිව වුව ද තනිව ඉගෙන ගැනීම සඳහා සිසුන් දිරිමත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් විය. ඒ අනුව “ස්වයං ඉගෙනුම (Self Learning) යන සංකල්පය වර්තමානයට ඉතා උචිත සහ ක්‍රියාවට නැංවීමට අනුබල දිය යුතු වටිනා සංකල්පයකි. ඕනෑම වයසක පසුවන අයෙකුට ස්වයං ඉගෙනුම මගින් මහඟු ඵල අත්පත් කරගත හැකි ය.

 “ස්වයං ඉගෙනුම” සංකල්පය පිළිබඳ නිවැරදි අවබෝධයකින් යුක්තව තම ඉගෙනුම් ඉලක්ක සපුරා ගැනීම සඳහා කටයුතු කරන්නේ නම් එමගින් වඩාත් යහපත් ප්‍රතිඵල හා ප්‍රයෝජන ලබාගත හැකි වේ. නව දැනුම හා කුසලතා අත්පත්කර ගැනීමේ ප්‍රධාන මාර්ගය වන්නේ ස්වයං ඉගෙනුමයි.

 සිසුහු බොහෝ දෙනෙක් පාසලේ දී නිෂ්ක්‍රීය ඉගෙනීමට පුරුදු වී සිටිති. ගුරුවරයා බොහෝ විට දේශන ක්‍රමයෙන් පාඩම ඉදිරිපත් කරන අතර, සිසුහු එය අසා සටහන් තබා ගනිති. නමුත් සිදුවිය යුත්තේ යම් සංකල්පයකට අදාළ සියලුම කරුණු ගුරුවරයා පැහැදිලි කරනවා වෙනුවට සිසුන්ට ද තමන් විසින් ගවේෂණය කරනු ලබමින් පිළිතුරු සොයා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස්, ඉඟි සහ උදාහරණ ගුරුවරයා සිසුන්ට ලබාදීමයි. එමගින් ශිෂ්‍යයන් තුළ ස්වයං ඉගෙනීමේ හැකියාව වර්ධනය කළ හැකි ය. ස්වයං ඉගෙනීමේ හැකියාව වර්ධනය වූ සිසුවකු ඕනෑම විෂයයක් විශ්වාසයෙන් යුතුව අධ්‍යයනය කිරීමට පෙළඹෙයි.

 ස්වයං ඉගෙනුම් හැකියාව සහිත සිසුවකු තුළ පහත හැකියා ගොඩනැඟේ.

 0 නව ගැටලු තනිවම අත්හදා බැලීමට පෙළඹීම

 1 අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ලැබීම.

 2 පළමු උත්සාහයේ දී ම සංකල්පය වඩාත් හොඳින් ඉගෙන ගැනීම.

 3 උත්සාහයෙන් ඉගෙනීමට පෙළඹීම.

 4 ආත්ම විශ්වාසය සහ ස්වයං අභිමානය වර්ධනය වීම.

 5 ඉගෙනුමේ දී සිදු කරන වැරදි පිළිබඳ බිය නොවීම.

 “ස්වයං ඉගෙනීම” යනු ඉගෙනීමේ නවීන ආකාරයයි. අන්තර්ජාලයේ නැඟීම නිසා ස්වයං ඉගෙනීම ඵලදායීල පහසු සහ වේගවත් බවට ඔප්පු වී ඇත. වර්තමානයේ ඔබට සරල ගූගල් සෙවුමක් හරහාල යූ ටියුබ් නිබන්ධනයක් නැරඹීමෙන් සහ උපදෙස් අත් පොත් කියවීමෙන් ඕනෑම දෙයක් කරන්නේ කෙසේ දැයි ඉගෙනගත හැකි ය.

 ස්වයං ඉගෙනීමේ වාසි

 6 ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය කරයි.

 ස්වයං ඉගෙනීම ඔබට ගැටලු හඳුනා ගැනීමට සහ ඉක්මනින්ම ඵලදායී විසඳුම් සෙවීමට හැකියාව ලබා දෙයි. මෙය මිතුරන්ගෙන්, අන්තර්ජාලයෙන් හෝ ගවේෂණයෙන් විය හැකි ය. විසඳුම් ඔබ වෙත ගෙන ඒම වෙනුවට ක්‍රියාශීලීව විසඳුම් සොයන ආකාරය ඔබට ඉගෙන ගත හැකි ය. එපමණක් නොව වේගයෙන් ඉගෙනීමේ හැකියාව නිසා පරිසරයේ සිදුවන වෙනස්කම්වලට පහසුවෙන් අනුගත විය හැකි ය.

 7 එය ආතතියෙන් තොර ඉගෙනුම් ක්‍රියාවලියකි.

 ස්වයං ඉගෙනීමේ ක්‍රියාවලිය ඉගෙනීමේ ප්‍රතිඵලයට වඩා ක්‍රියාවලිය කෙරෙහි විශාල අවධාරණයක් තබයි. නිශ්චිත කාලයක් තුළ අවශ්‍ය අන්තර්ගතය ඉගෙන ගැනීමට කිසිදු පීඩනයක් නොමැත. ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය දෙය, ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය වේලාවට, ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය ආකාරයෙන් ඉගෙන ගැනීමට ස්වයං ඉගෙනුම මං පාදයි.

 8 වෙනත් කුසලතා ද අත්පත් කර ගනියි.

 ස්වයං ඉගෙනීමේ දී කාල කළමනාකරණය, ස්වයං තක්සේරුව සහ ඔබේම ඉලක්ක තැබීම වැනි වැදගත් කුසලතා ඔබට ඉගෙනගත හැකි ය. මේවා ඔබට ඕනෑම තැනක යෙදිය හැකි වැදගත් කුසලතා වේ. ස්වයං ඉගෙනීමට දක්ෂ පුද්ගලයන්ට ඉගෙනීම සඳහා යම් නිපුණතා සමූහයක් බොහෝ විට භාවිත කළ යුතු බැවින් වෙනත් කුසලතා වර්ධනය කර ගැනීමේ හැකියාව වැඩි වේ. ස්වයංව ඉගෙන ගන්නා අයට කාර්යයන් සඳහා දැඩි කැපවීමක් ඇත. මන්ද, ඔවුන් තම ඉලක්කය සක්ෂාත් කර ගන්නා තෙක් සැලැස්මකට අනුව කටයුතු කරන හෙයිනි.

 9 ඉගෙනුම් අත්දැකීම බොහෝ අර්ථවත් ය.

 ස්වයං ඉගෙනුම සිදු කරනු ලබන්නේ නව දැනුම ලබා ගැනීමට ඇති පෞද්ගලික ආශාවෙනි. එය මෙහෙයවනු ලබන්නේ මාතෘකාවක් පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා ගැනීමට සහ එම තොරතුරු යම් අරමුණක් සඳහා භාවිත කිරීමට ඇති අවශ්‍යතාව මගිනි. එම නිසා ඔබ ඉගෙන ගන්නේ ඇයි ද යන්න පිළිබඳව ඔබට පැහැදිලි අරමුණක් ඇති අතර, ලබාගත් තොරතුරු බොහෝ විට මාතෘකාවට අදාළ වන බැවින් එය අර්ථවත් කරයි. මීට අමතරව, ඔබ ඉගෙනීම සඳහා පමණක් ඉගෙන නොගන්නා බැවින් මාතෘකාවක් පිළිබඳ ගැඹුරු තොරතුරු සෙවීමට නැඹුරු වේ. ඉගෙනීමට අරමුණක් ඇති නිසා එය ප්‍රීතිමත් වන අතර යහපත් ප්‍රතිඵලවලට මග පාදයි.

 10 කුතුහලය විසින් ඉගෙනුම මෙහෙයවනු ලබයි.

 ඉගෙනීමේ විශාල කොටසක් කුතුහලය යම් මට්ටමකට තෘප්තිමත් කිරීමක් වන අතර කුතුහලය ඇතිවිට ඉගෙනීම ස්වභාවිකව සිදු වේ. එබැවින් මෙයින් අදහස් කරන්නේ ඔබ ඉගෙනීමට පෙළඹෙන බවත්, පිටත මූලාශ්‍රයට වඩා ඇතුළතින් ම අවශ්‍යතාව පැන නැඟිවිට බොහෝ දැනුමක් ලබා ගත හැකි බවත් ය. එය ඉතා වින්දනාත්මක ක්‍රියාවක් වන අතර, ඔබ අලුත් දෙයක් සාර්ථකව ඉගෙන ගන්නා සෑම අවස්ථාවකම ඔබගේ හැකියාව පුළුල් වේ.

 11 ඔබට ඔබව තක්සේරු කිරීමට අවශ්‍ය ආකාරය තීරණය කළ හැකි ය.

 සෑම විට ම විභාග ඇති විධිමත් ඉගෙනීම මෙන් නොව, ස්වයං ඉගෙනීමට බොහෝ විට තක්සේරු මෙවලම් නොමැත. එම නිසා ඔබට තම ඉගෙනුම් මග දිගේ ළඟා කර ගැනීමට අවශ්‍ය සන්ධිස්ථාන මොනවාද, කුමන වේලාවකින් ද යන්න දැන ගැනීම සහ ඔබ යමක් ඉගෙන ගෙන ඇති බව තක්සේරු කරන්නේ කෙසේද යන ආකාරය තීරණය කළ හැකි ය. සමහර මාර්ගගත ඉගැන්වීම් සම්පත්වලට එක් එක් පාඨමාලා අවසානයේ කුඩා විභාග ඇති අතර, එම පාඨමාලාව පිළිබඳ ඔබගේ දැනුම තක්සේරු කිරීමට ඔබට මේවායින් ප්‍රයෝජන ගත හැකි ය.

 12 ඔබට ඔබේ ඉගෙනීමේ මාදිලිය තෝරාගත හැකිය.

 ඔබ ඉගෙන ගැනීමට තීරණය කරන විට ශදම එමඉැ නිබන්ධන, ඇඉසබ්රි, පොත් හෝ වෙනත් ඕනෑම ඉගෙනුම් මූලාශ්‍රයක් ඔබ සතුව ඇත. ඔබට ළඟා විය හැකි මෙම සියලු ඉගෙනුම් ක්‍රම සමගින් ඔබට වඩාත් ගැළපෙන එකක් සහ ඔබ වඩාත් ආකර්ශනීය යැයි සිතන එකක් තෝරා ගත හැකි ය. ඔබට එය ලබා ගත හැකි වූ පමණින් ඉගෙනීමේ එක් මාදිලියකට පමණක් ඇලී සිටිය යුතු නැත.

 13 අනෙකුත් සිසුන් සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි ය.

 තම ඉගෙනුමට සහයෝගය ලබා ගැනීම සඳහා අනෙකුත් සිසුන් සමග මනා සන්නිවේදනයක් පවත්වා ගැනීම වැදගත් ය. සමාජ මාධ්‍ය ඔස්සේ සහ මාර්ගගත :ධබකසබැ* ක්‍රියාකාරකම්වල දී ඔබට සමාන රුචිකත්වයන් සහ ඉගෙනීමේ අභිලාෂයන් ඇති ලොව පුරා සිටින පුද්ගලයන් හමුවීමට ඉඩ සලසයි. එවැනි සම්බන්ධතා මගින් දැනුම හුවමාරු කර ගැනීමට, තමන් නොදන්නා සම්පත් වෙත ප්‍රවේශයන් ලබා ගන්නා ආකාරය පිළිබඳ දැනුම ලබා ගැනීමට ද අවස්ථාව ලැබේ.

 ඔබ විසින්ම සාර්ථකව ඉගෙන ගනු ලබන්නේ කෙසේද?

 ස්වයං ඉගෙනීම යනු අන්තර්ජාලය හරහා ඉගෙනුම් සම්පත් තිබීම හේතුවෙන් ප්‍රබලව මතු වූ ඉගෙනුම් ආකාරයකි. ස්වයං ඉගෙනීමට ඔබට අවශ්‍ය විට ඔබට අවශ්‍ය දේ සහ ඔබට අවශ්‍ය ආකාරයට ඉගෙන ගැනීමට මග පාදයි. ඔබ ඔබ විසින්ම ඉගෙනීමේ ක්‍රියාවලිය මෙහෙයවන බැවින් මෙය උපදේශන ඉගෙනීමට වඩා ඵලදායී වේ. ස්වයං ඉගෙනුම සඳහා ඉතා හොඳ විනයක් අවශ්‍ය වන අතර එය අභියෝගාත්මක විය හැකි ය. කෙසේ වෙතත් එය නිසියාකාරව සිදු කළ විට වඩාත් රසවත් ඉගෙනුම් අත්දැකීමක් ළඟා කරගත හැකි ය.

 14 ඉගෙනීමට සූදානම් වන්න.

 ඕනෑම ආකාරයක ඉගෙනීමක් සඳහා යමෙකු විෂය භාර ගැනීමට සූදානම්ව සිටිය යුතු ය. මන්ද, ඉගෙනුම් මගෙහි අභියෝග සහ බාධක ඇති බැවිනි. නිවැරදි මනසෙහි සිටිමින්, ඉගෙන ගැනීමට අවශ්‍ය දේ සහ එම විෂයය ඔබට වැදගත් වන්නේ කුමක් නිසා ද යන්න අවබෝධ කර ගැනීම අවශ්‍ය වේ. ඔබට විශාල අභ්‍යන්තර අභිප්‍රේරණයක් අවශ්‍ය වනු ඇත. එබැවින් ඉගෙනීමට සූදානම් වීම ඔබගේ අභිප්‍රේරණ මට්ටම් අඩු වූ විට පවා ඔබව ලුහුබඳිනු ඇත.

 15 පැහැදිලි ඉගෙනුම් ඉලක්ක තබා ගන්න.

 පාඩමක් අවසානයේ ඉගෙනුම්ලාභීන්ට දැනුම සහ විවිධ කුසලතා ලබා ගැනීමට උපකාර කිරීම අරමුණු කර ගත් ඉගැන්වීම් ක්‍රමයක් ගුරුවරයකු විසින් සකසන සේ ම, ඔබගේ පෞද්ගලික ඉගෙනීම ද එසේ විය යුතු ය. ඔබගේ ඉගෙනීමේ ඉලක්ක පැහැදිලි වූ විට, ඔබගේ ප්‍රගතිය සහ ඔබ යම් දැනුමක් ලබාගෙන තිබේ ද යන්න ඇගයීමට ඔබට හැකිවනු ඇති අතර, මෙය ඵලදායී ඉගෙනුම් ක්‍රියාවලියක් සඳහා මග පාදයි. මීට අමතරව ඉගෙනුම් ඉලක්ක සමගින් ඔබට ක්‍රමානුකූල ඉගෙනුම් ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට හැකි වන අතර, එමගින් විෂය කරුණු ක්‍රමානුකූලව ඉගෙන ගැනීමට ඔබට හැකි වේ.

 16 ඔබට භාවිත කිරීමට අවශ්‍ය මෙවලම් මොනවා දැයි තීරණය කරන්න.

 ලබාගත හැකි බොහෝ ඉගෙනුම් ද්‍රව්‍ය සමග, නිවැරදි මූලාශ්‍රයන් තෝරා ගැනීමට ඔබට විටෙක දුෂ්කර වනු ඇත. විෂය කරුණු මත පදනම්ව, ඔබ සඳහා විවිධ සම්පත් ඇත. ඔබගේ ඉගෙනුම් විලාසයට වඩාත් ගැළපෙන එකක් සහ වඩා ඵලදායී එකක් තෝරා ගැනීම වැදගත් ය. නමුත් නිශ්චිත ඉගෙනුම් ක්‍රමයකට සීමා වීමට අවශ්‍ය නැත. විවිධ මෙවලම් තිබීම ඔබට විවිධ කෝණවලින් එකම විෂයය ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දෙයි. එය ප්‍රධාන විෂය කරුණු ග්‍රහණය කර ගැනීම ද පහසු කරයි.

 ස්වයං ඉගෙනීම යනු නිවසේ දී ශක්තිමත් කළ හැකි කුසලතාවකි. එනමුත් ස්වයං ඉගෙනුමට අධික පීඩනයක් ලබාදී ඉගෙනීමේ රසවින්දනය අඩාල නොකළ යුතු අතර සමබරව පුහුණු කළ යුතු කුසලතාවකි.

තනුජා ජයතිලක
 සහකාර කථිකාචාර්ය, සම්භාව්‍ය භාෂා හා  විදේශ භාෂා අංශය,
 ජාතික අධ්‍යාපන ආයතනය,
 මහරගම.

සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment