ස්වර්ණා – මිල්ටන් කැදැල්ලේ ස්වර්ණ හස්තය…. මාලිංග එක රැයෙන් ලොව ජයගනියි

1228

ටෙස්ට් වරම් ලැබූ මාලිංග ජාතික පුවත්පතකට දුන් පළමු සම්මුඛ සාකච්ව

ලසිත් මාලිංග සිය මංගල ජාත්‍යන්තර තරගයට සහභාගි වූවේ 2004 වසරේදී ය. 2004 ජූලි මස 01 වැනිදා ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ඔස්ටේ‍්‍රලියාවේ ඩාවින් හි පැවති එම ටෙස්ට් තරගයෙන් පසුව මාලිංගව සම්මුඛ සාකච්ඡාවකට එක්කර ගැනීමට ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට හැකි විය. එය මාලිංග ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට පා තැබූ පසු ජාතික පුවත්පතකට ලබාදුන් පළමු සාකච්ඡාව විය.

මාලිංගගේ සම්මුඛ සාකච්ඡාවට අදාළ ලිපිය 2004.07.11 වැනිදා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ’ ක‍්‍රීඩා පිටුවේ පළ කෙරිණි. එහි කිසිදු වෙනස්කමක් සිදුනොකර ඒ ආකාරයෙන් ම මෙසේ පළ කරන්නේ මාලිංග සිය 17 වසරක ජගත් ක‍්‍රිකට් පිටියට සමුදීමට තීරණය කිරීමත් සමඟය.

තම රට වෙනුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරනවා යනු ඕනෑම අයකුට ලැබෙන දුර්ලභ භාග්‍යයකි. එයිනුත් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිවීම යනු අතිශය භාග්‍යවත් කරුණකි. එම භාග්‍යවත් ප‍්‍රවේශයට අවසන් වතාවට පිවිසුණේ ගාලූ කී‍්‍රඩා සමාජය නියෝජනය කරන ලසිත් මාලිංග ස්වර්ණජිත්ය. ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් අභිෂේක ලැබූ 99 වැනි කී‍්‍රඩකයා මාලිංගය. දකුණතින් වේග පන්දු යවන මාලිංග මේ වනවිට ශී‍්‍ර ලංකාවේ සිටින වේගවත්ම පන්දු යවන්නා වේ. ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ටෙස්ට් වරම් ලබමින් ප‍්‍රථම ඉනිමේ කඩුලූ 2ක් ද, දෙවැනි ඉනිමේ කඩුලූ 4ක් ද දවාගත් මාලිංග කි‍්‍රකට් ලොවේ නම කියැවෙන චරිතයක් බවට දැන් පත්ව සිටී.

ස්වර්ණා තේනුවරට සහ එස්. මිල්ටන්ට දාව 1983.08.28 දින ගාල්ලේ මහමෝදර උපන් මාලිංග තවමත් 21 වන විය අබියස සිටින තරුණයෙකි. ස්වර්ණා, මිල්ටන් පවුලේ මද්දුමයාව උපන් මාලිංගට ටෙරෝන් දිනේන්ද්‍ර සහ ඉෂාන් දිනේන්ද්‍ර නමින් සහෝදරයන් දෙදෙනෙකි. පියාගේ විශ‍්‍රාම වැටුපෙන් නඩත්තු වන මාලිංගගේ පවුලේ කිසිවකුට හරිහමන් රැකියාවක් නොමැත. ටෙස්ට් වරම් ලැබීමට තරම් භාග්‍යවත් වූ මාලිංග ද රැකියාවක් ලැබීමට තරම් භාග්‍යවත් වී නැත. මාලිංගගේ පසුබිම් කතාව එය වුවත් මාලිංග යනු දැන් ඔස්ටේ‍්‍රලියානු පිතිකරුවන් තිගැස්මට ලක් කරන නමකි. මේ මාලිංගගේ ඒ ගමන ගැන ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ඔහු හා කළ සාකච්ඡාවකි.

ප‍්‍රශ්නය – ඔබ සහභාගි වූ පළමු තරගයේදී කඩුලූ 6ක් දවා ගත්තා. ඒ වගේම එක තරගයකින් කි‍්‍රකට් ලොවේ කතාබහට ලක්වන චරිතයක් බවට පත්වුණා. මේ ගැන ඔබට මොකද හිතෙන්නේ?

පිළිතුර – ඇත්තටම ගොඩක් සතුටුයි. මට ටෙස් වරම් ලැබුණේ ප‍්‍රබල ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමට එරෙහිව. ඔවුන්ගේ ප‍්‍රථම ඉනිමේ කඩුලූ 2ක් ද, දෙවැනි ඉනිමේ කඩුලූ 4ක් ද මං දවා ගත්තා. ඒ වගේම මගේ නම ගොඩක් කියැවෙන්න ගත්තේ මං පන්දු යවන ඉරියව්ව නිසා. එය අනෙක් පන්දු යවන්නන්ට වඩා වෙනස් ඉරියව්වක් නිසා මා දිහා, මං පන්දු යවන දිහා, ගොඩ දෙනෙක් බැලූවා, ඒ ගැන කතා කරන්න පටන් ගත්තා.

ප‍්‍රශ්නය – මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ඔබ ඩැරන් ලි‍්‍රමන් දවා ගත්තා. ඔහු දැවී ගිය පිතිකරුවකු බවට විනිසුරුවරයා සංඥා කළ මොහොතේදී ඔබට මොන වගේ හැඟීමක් ද ආවේ?

පිළිතුර – ඒක කියලා නිම කරන්න බැරි සතුටක්. මොකද ඔහු දැවීගිය එම පන්දු වාරයට පෙර පන්දු වාරයේදීත් මං ඔහු දවා ගත්තා. ඒත් එය නීත්‍යකූල දැවී යෑමක් වුණේ නෑ. මොකද මම එම දැවී යෑමට අදාළ පන්දුව සීමා ඉර ඉක්මවා ගොස් යවපු පන්දුවක්. ඒ නිසා විනිසුරුවරයා එය නිපන්දුවක් ලෙස සංඥා කළා. ඒ වෙලාවේ මට සෑහෙන දුකක්, බයක් ඇති වුණා මගේ පළමු කඩුල්ල අහිමි වීම ගැන. ඒත් මම එයින් අධෛර්යමත් වුණේ නෑ. කොහොමහරි මං ඔහුව දවා ගත්තා.

ප‍්‍රශ්නය – ඔබ පන්දු යැව්වේ මැතිව් හේඞ්න්, ඇඩම් ගිල්කි‍්‍රස්ට්, ඩැරන් ලිමන්, ඬේමියන් මාටින්, ජස්ටින් ලැන්ගර් වැනි ප‍්‍රබල පිතිකරුවන් හමුවේ. ඔවුන්ට පන්දු යවන විට ඔබට බියක් චකිතයක් ඇති වුණේ නැද්ද?

පිළිතුර – නෑ. පන්දුව තියෙන්නේ මගේ අතේ. පිතිකරුවා කවුද කියන එක මට ප‍්‍රශ්නයක් නොවේ. මං නම්වලට බය වුණේ නෑ. මට පුළුවන් විදිහට පන්දු යැව්වා. අනෙක කණ්ඩායමේ අනෙක් කී‍්‍රඩකයොත් මට කිව්වා ලංකාවේ ක්ලබ් මැච්වලදී දාන විදිහට දාන්න පිතිකරුවා කවුද කියන එක එච්චර හිතන්න එපා කියලා.

ප‍්‍රශ්නය – ඔබ ශී‍්‍ර ලංකා ජාතික සංචිතයට තේරුණු පළමු අවස්ථාව ද මේ?

පිළිතුර – පසුගිය වසරේ ශී‍්‍ර ලංකාවට පැමිණි එංගලන්ත කණ්ඩායමට එරෙහිව 20 දෙනකුගෙන් යුත් සංචිතයට මං ඇතුළත්ව සිටියා. ඒත් සංචිතය 15 දෙනා දක්වා අඩු කරන විට මගේ නම එයින් ඉවත් වුණා.

ප‍්‍රශ්නය – ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමට ඔබ කොපමණ කලක් කී‍්‍රඩා කළාද?

පිළිතුර – ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් මං කී‍්‍රඩා කළේ තරගාවලි දෙකක් පමණයි. ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග 3කට කී‍්‍රඩා කරලා කඩුලූ 9ක් දවා ගත්තා. නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයක් කී‍්‍රඩා කරලා කඩුලූ 4කුත්, එක්දින තරග 2 කදී කඩුලූ 4කුත් දවා ගත්තා.

ප‍්‍රශ්නය – ඔබ හිතුවද මෙතරම් ඉක්මනට ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්න ලැබෙයි කියලා?

පිළිතුර – ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවා. ඒත් මෙතරම් කල් වේලා ඇතිව ඒ අවස්ථාව උදාවෙයි කියලා මං හිතුවේ නෑ. පි‍්‍රමියර් තරගාවලි හා ‘ඒ’ කණ්ඩායමේ තරගාවලිවලදී දක්වපු දක්ෂතා නිසා තමයි මට මේ අවස්ථාව උදාවුණේ.

ප‍්‍රශ්නය – ඔබ පන්දු යවන විට පිතිකරුවා වෙත වැඩි වශයෙන් බවුන්සර් පන්දු යොමු කරනවා. ඔවුන්ට පීඩනයක් ගෙන දෙනවා. විශේෂයෙන් ඔස්ටේ‍්‍රලියා පිතිකරු ඩැරන් ලිමන් ඉනිම් දෙකේදීම දැවී ගියේ ඔබගේ පන්දු හමුවේ. ඒ වගේම ඔහු ඔබගේ පන්දුවලට මුහුණ දෙන්නේ චකිතයකින්. ඩැරන් ලිමන් පමණක් නොවේ බොහෝ ඔස්ටේ‍්‍රලියානු පිතිකරුවන් වෙතින් එම පීඩනය දක්නට ලැබුණා. ඔබ පිතිකරුවන් බය කරලද එවුන්ගේ කඩුලූ ලබා ගත්තේ?

පිළිතුර – බවුන්සර් පන්දුවෙන් පිතිකරුවාව පසු පාදයට ගෙනැවිත් වේගයෙන් ඉදිරියට පන්දු යවලා කඩුලූ ලබා ගන්න තමයි මං ගොඩක් උත්සාහ කරන්නේ. ඔස්ටේ‍්‍රලියාව වගේ ප‍්‍රබල පිතිකරුවන් සිටින කණ්ඩායමකට එරෙහිව ඒ දේවල් කරන්න අමාරුයි. නමුත් නොකර බෑ. ඔවුන්ට පන්දු යවන විට මං ඒ සියලූ උපක‍්‍රම, මා සතු ආයුධ භාවිත කළා.

ප‍්‍රශ්නය – නමුත් ඔබ ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කළ පළමු තරගයෙන්ම කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ වෙලාවේ ඔබට මොකද හිතුණේ.

පිළිතුර – ගොඩක් දුක හිතුණා. පළමු තරගයේදීම කණ්ඩායම පරාද වුණා නේද කියලා. ඒත් ඔවුන් ඉනිම් දෙකේදීම ලකුණු 200 සීමාවට දවා ගන්න ලැබීම ගැන සතුටුයි.

ප‍්‍රශ්නය – කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය මොන වගේද?

පිළිතුර – කණ්ඩායමේ හැම එක්කෙනෙක්ම මං ගැන හොයනවා බලනවා. මට උදව් කරනවා. අලූතෙන් ආවා කියලා කිසිම වෙනසක් නෑ. විශේෂයෙන් පන්දු යැවීමේදී වාස් අයියාගෙනුයි. නුවන් අයියාගෙනුයි ලොකු සහයෝගයක් ලැබෙනවා.

ප‍්‍රශ්නය – ඔබට මේ තත්ත්වයට එන්න උදව් කළ අය සිහිපත් කළොත්?

පිළිතුර – මං මුලින්ම පාසල් ගියේ ගාල්ල විද්‍යාලෝක විදුහලට එම විදුහලේදි ජගත් සර් සහ තුසිත සර් උදව් කළා. 17න් පහළ කණ්ඩායමට තමයි මං එහිදී මුලින්ම කී‍්‍රඩා කළේ. ඊට පස්සේ 2000 වසරේදී ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් වුණාම කීර්ති සර්, ලසිත් සර්, චමින්ද සර් සහ කෝලිත සර් මට ලොකු සහයෝගයක් දුන්නා. ගාලූ කී‍්‍රඩා සමාජයට එකතුවී පි‍්‍රමියර් තරගවලට සහභාගි වනවිට චම්පක රාමනායක සර් සහ රුමේෂ් රත්නායක සර් මට නිවැරදි මඟ පෙන්වා දුන්නා.

ඔස්ටේ‍්‍රලියාවේ සිට

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment