ස්වාධීන පක්ෂ එකමුතුවේ සභාගය අද බිහිවෙයි

160

අපි හදන්නේ ප්‍රශ්නවලට උත්තර සපයන සභාගයක් – විමල් වීරවංශ

ස්වාධීන පක්‍ෂ එකමුතුව නව සභාගය පිහිටුවීම අද (ඉරිදා) සවස 3.00ට මහරගම තරුණ සේවා පරිශ්‍රයේදී සිදුකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

මෙහිදී නව සභාගයේ නාමය ප්‍රකාශයට පත් කිරීම, සභාගයට එක්වන පක්‍ෂයන්හි නායකයන් එහි ප්‍රතිපත්ති ප්‍රකාශයට ජනතාව ඉදිරියේ අත්සන් තැබීම හා නව නිලධාරි මණ්ඩලය ප්‍රකාශයට පත්කිරීම ද සිදුකෙරෙනු ඇත.

එසේ නව සභාගය ජනගත කිරීමෙන් අනතුරුව එහි නායක මණ්ඩලය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් වෛi ජී. වීරසිංහ, ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු හා විජය ධරණී ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි අදහස් දක්වති.

මෙම නව “සභාගය ඉදිරියේ තවත් දේශපාලන පක්‍ෂ බහුජන සංවිධාන, තරුණ සංවිධාන අන්තර්ගත කරගැනීමට කටයුතු කරන බවත් සියලු ජාතීන්ට අයත් ජනතාවට මෙම සභාගයට එක්වන ලෙස ඇරයුම් කරන බවත් ඔහු කීය.

මෙම සභාගයට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික, කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය, විජය ධරණි ජාතික සභාව, යුතුකම ජාතික සංවිධානය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය ස්වාධීන පක්‍ෂ එකමුතුව දැනට අයත් පක්‍ෂ වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

ස්වාධීන පක්‍ෂ එකමුතුව පසුගිය කාලය පුරා ම රටේ ඇතිවූ ප්‍රශ්නවලදී එකමුතුව, සමගියෙන් යුතුව ක්‍රියාත්මක වූ කණ්ඩායමක් බව දන්නවා. එදා නව ආණ්ඩුවක් තුළ ඉඳගෙනම වුවත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැගෙන ආ අවස්ථාවේදී ස්වාධීන පක්‍ෂ එකමුතුවේ බොහෝ පක්‍ෂ එහි නපුරුදායක කරුණුවලට එරෙහිව සටන් කරනු ලැබුවා. ඒ වගේම කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය අදානිලාට විකිණීමට සැරසෙනවිට අප පක්‍ෂ එකමුතුව ආණ්ඩුව තුළ සිටිමින් ඊට එරෙහිව අරගල කරා. වෘත්තීය සමිති හා මහජනතාව විසින් ගෙන ගිය සටන එමගින් තවත් ජව සම්පන්න ලෙස ඉදිරියට ගියා. අවසානයේදී අපට ඒ අනතුර පරාජයට පත්කර ගැනීමට හැකි වුණා. ඒ විතරක් නොවෙයි ඇමරිකාවේ සමාගමකට අපේ බලශක්ති සුරක්‍ෂිතතාව අනතුරේ හෙළමින් ටෙන්ඩර් පරිපාටියට පිටින් යමින් ඛභඨ ඒකාධිකාරිය ලබාදීමට යෑමේදී අපි ආණ්ඩුව තුළ සිටිමින් ඊට විරුද්ධව සටන් කළා පමණක් නොවෙයි ඒ නපුරුදායක කටයුත්ත අදටත් මේ පොළොව තුළ ඉටුකර ගැනීමට නොහැකි වී තිබෙනවා.

මෙවැනි අවස්ථාවලදී වගේම තවත් අවස්ථා ගණනාවකදීම ස්වාධීන පක්‍ෂ එකමුතුව ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිටිමින් ජනවරමේ අර්ථය ආරක්‍ෂා කිරීමට අභ්‍යන්තරව සටන් කරනු ලැබුවා. ඒ සටන් හේතුවෙන් තමයි ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටි අපට ඉන් පිටතට ඒමට සිදුවූයේ. එසේ ඒ ආණ්ඩුවෙන් බැහැරවීම අපි ඉතා සතුටින් භාර ගනු ලැබුවා. එතැන් සිට අපි අපේ දේශපාලන භාවිතය නොවෙනස්ව ඉතා පවිත්‍රව තබා ගනිමින් සාකච්ඡා කරමින් එකඟතා ඇති කර ගනිමින් ඉදිරියට ආවා. ඒ ආපු ගමනේ ඒක වර්ධනාත්මක තීරණාත්මක සන්ධිස්ථානයකට අපි එළැඹෙමින් තිබෙනවා. ඒ තමයි අපි පෙන්නපු දේශපාලන අවංකභාවය, දේශපාලන ඒකාග්‍රතාවය වඩා තීව්‍ර කොට ජවසම්පන්න කොට මේ රටේ ජන අභිලාෂයන් ඉටු කිරීම සඳහා මහා පවුරක් ගොඩනැඟීම ඒ අනුව මයි අද (4 වැනිදා) සවස 3ට මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී නව උත්තර සභාගයක් පිහිටුවීම සඳහා තීරණය කර ඇත්තේ.

සිරිමන්ත රත්නසේකර සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment