ස්වාධීන පක්‍ෂ 11ක එකමුතුවෙන් උත්තර ලංකා සභාගය බිහිවෙයි

328

● සභාපති  විමල්
● ලේකම්  වීරසිංහ
● ගම්මන්පිලට හා තිස්ස  විතාරණට-උප සභාපති පදවි
ප්‍රශ්නවලින් හෙම්බත්වුණ රටට උත්තර  සපයන්න එක්වන්නැයි ඇරයුම් කරනවා – විමල්

ස්වාධීන පක්‍ෂ 11ක එකමුතුවෙන් උත්තර ලංකා සභාගය බිහිවෙයි

උත්තර ලංකා සභාගය නමින් ස්වාධීන පක්‍ෂ 11 එකමුතුවේ නව සන්ධානය පිහිටුවීම ඊයේ (4 දා) මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් ලෙස සිදුවිය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා නව සභාග සන්ධානයේ සභාපති ලෙස කටයුතු කරයි. ලේකම් ලෙස ශ්‍රී ලංකා කොමියුනිස්ට් පෂයේ ප්‍රධාන ලේකම් වෛi ජී. වීරසිංහ මහතා ද, ජාතික සංවිධායක ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වාසුදේව නානායක්කාර මහතා ද පත්ව සිටිති.

නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස ලංකා සමසමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස තිවාරණ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් ද, නියෝජ්‍ය ලේකම් ලෙස යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා ද පත්කරගෙන තිබේ.

ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, ප්‍රියංගා කොතලාවල ඇතුළු පිරිසක් විධායක සභාවට පත්වූහ.

නව සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ජනතාව ඉදිරියේ අත්සන් තැබීම විජය ධරණි ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමිපාණන්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් වෛi ජී. වීරසිංහ යන මහත්වරු සිදු කළහ.

ඔවූහු ඩිජිටල් තිරයක අත්සන් දැක්වීම සිදු කළහ.

නව සභාගය ප්‍රශ්න වවාගෙන කන්න නොවෙයි. ජනතාවගේ ප්‍රශ්න තොරොම්බල් කරමින් ජීවත් වෙන්න නොවෙයි. ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන, උත්තර සභාගයක් තමයි අපි ගොඩනඟන්නේ. අපි විශ්වාස කරනවා ඒ උත්තර සභාගය මේ මහා ආර්ථික අර්බුදයේ ගිලී සිටින මේ රටේ සියලු ජනී ජනයාගේ, මේ රටට ගාම්භීර අනාගතයක් අවශ්‍ය බව තේරුම් ගෙන සිටින තරුණ පරම්පරාවේ අපේක්‍ෂාවන් සඵල කරන උත්තර සභාගයක් බවට පත්වේවි

ස්වාධීන පක්‍ෂ එකමුතුව මෙසේ ගොඩනඟනු ලබන උත්තර සභාගයට ඉදිරියේදී තවත් දේශපාලන පක්‍ෂ, බහුජන සංවිධාන, තරුණ සංවිධාන අන්තර්ගත කර ගැනීමට අපි බලාපොරොත්තු වනවා යැයි නව සභාගය ගැන විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

විස්තර වාර්තාව හෙට පත්‍රයේ. නව සභාගය ජනගත කිරීමෙන් අනතුරුව එහි නායක මණ්ඩලය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් වෛi ජී. වීරසිංහ, ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු හා විජය ධරණි ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි අදහස් දැක්වූහ.

ප්‍රභාත් විතාන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment