ස්වාධීන පොලිස් කොමිසමේ සභාපති බැසිල් පිළිගන්න එයාර්පෝට් ගිහින්

597

නලින් බණ්ඩාර පරීක්‍ෂණයක් ඉල්ලයි
මම ගියේ ගෝරියක්ද කියලා බලන්නයි – පොලිස් කොමිසමේ සභාපති චන්‍ද්‍රා ප්‍රනාන්දු

විදේශගතව සිට පැමිණි හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට ස්වාධීන පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සහ එහි සාමාජික එම්. පී. පෙරේරා මහතා කටුනායක ගුවන්තොටුපළට යෑම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස සමගි ජන බලවේගය මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තයෙන් පිටවීම සහ පොලිස් ආරක්ෂාව සහිතව නිවසට ඒම සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළ වූ අතර එම සංවාදය මෙසේය.

නලින් බණ්ඩාර මහතා – අපි සියලු දෙනා එකතු වී 21 වැනි ව්‍යවස්ථාව සම්මත කර ගත්තා. එහි අපේ කොමිෂන් සභා සියල්ල ස්වාධීන කිරීම ගැන සඳහන් වෙනවා. ඒත් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු සහ එහි සාමාජික එම්. පී. පෙරේරා බැසිල් රාජපක්ෂව පිළිගන්න ගුවන්තොටුපළට ගිහින්. එතකොට මේ කොමිෂන්වල ස්වාධීනත්වය කුමක්ද? කථානායකතුමා මුල් වෙලා වහාම මේ හාදයෝ දෙන්නා කනෙන් ඇදලා එළියට දාන්න පියවර ගත්තේ නැත්නම් අපි 21 වැනි සංශෝධනය සම්මත කර ගත්තාට වැඩක් වෙනවාද? එදා කටුනායකදී හොරාව අල්ලා ගත්තා. අද පොලිස් කොමිසමේ සභාපති ගිහින් ඒ කපුටාව පිළිගන්න. ඒ නිසා මේ චන්ද්‍රා ප්‍රනාන්දුවයි එම්. පී. පෙරේරාවයි කනෙන් ඇදලා එළියට දාන්න.

කථානායක – හෙට අනිද්දට කොමිෂන් සභා අලුතෙන් පත් කිරීමට සිද්ධ වෙනවා.

එස්. එම්. මරික්කාර් මහතා – අපි සභානායකතුමාගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. බැසිල් රාජපක්ෂ අඩුම තරමේ පාර්ලිමේන්තුවේ තියා ප්‍රාදේශීය සභාවකවත් මන්ත්‍රී කෙනෙක් නොවෙයි. එහෙනම් ගුවන් තොටුපළේ වී. අයි. පී. පර්යන්තයෙන් එළියට ආවේ කොහොමද? පොලිස් ට්‍රැෆික් බයික් ලබා දුන්නේ කොහොමද?

ජයන්ත කැටගොඩ මහතා- බැසිල් රාජපක්ෂ මහත්තයා නැවත ආපු එක ගැන මේ අය වියරු වැටිලා ඉන්නේ. වෙන මොකුත් නොවෙයි වියරු වැටිලා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

මම ගියේ ගෝරියක්ද කියලා බලන්නයි – පොලිස් කොමිසමේ සභාපති චන්‍ද්‍රා ප්‍රනාන්දු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා කටුනායකට පැමිණි අවස්ථාවේදී ඔහු බැහැදැකීමට ජාතික පොලිස් කොමිසමේ සභාපති හිටපු පොලිස්පති චන්‍ද්‍රා ප්‍රනාන්දු මහතා ද සහභාගි වී සිටීම පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කොමිසමේ සභාපතිවරයාගෙන් විමසීමේදී ඔහු මෙසේ කියා සිටියේය.

“මම කටුනායක ගුවන්තොටුපළේ ඉන්නකොට කලබලයක් කියලා දැන ගන්න ලැබුණ නිසා මම එතැනට ගියා. එහෙම දෙයක් තිබුණේ නැහැ. බැසිල් රාජපක්‍ෂ මහතා එතැන ඉන්නවා දැකලා හලෝ කියලා ආවා.

“මේක තනතුරත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. අපි රජයේ සේවකයෝ වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැක්කත් කතා කරනවා. මම එක දවසක්වත් දේශපාලනය කරලා නැහැ. බැසිල් මහත්තය ඉන්නවා කියල දැන ගෙන බලන්න ගියේ නැහැ.”
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment