සාක්‍ෂි නෑ… කෝටිපති අවන්හල් හිමියා ඝාතන නඩුව ඉවතට

966

ධනවත් සමාජශාලා හිමියකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළැයි යන චෝදනාව මත එකම පවුලේ මවට පුතාට සහ දියණියට එරෙහිව සීදුව පොලිසිය මගින් පවරා තිබු නඩුව නිසි සාක්‍ෂි නොමැතිව පරවා තිබූ නඩුවකැයි නඩු පවරා වසර 10කට පමණ පසු අධිකරණය හමුවේ හෙළිවීම නිසා එම නඩුවට අදාළ විත්තිකරුවන් තිදෙනා නඩුවෙන් ඉවත් කොට මුදාහැරීමට මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් චම්පික රාජපක්‍ෂ මහතා නියෝග කළේය.

නිදහස ලැබූ විත්තිකරුවන් වූයේ සීදුවේ පදිංචිව සිටි ජාත්‍යන්තර තලයේ කරාටේ සටන් ශූරයකුව සිටි ඝාතනය වූ සීදුවේ බෆන් නමැති කරාටේ ශුරයාගේ මව වන ලීලාචන්ද්‍ර මල්ලිකා එයාර්ලංකා ගුවන් සමාගමේ ගුවන් සේවිකාවකව සිටි යූ. එල්. සුරේනි අසංගිකා නමැති සොහොයුරිය සහ සොහොයුරා වන යූ. එල්. සමිත නදීක නමැත්තන්ය.

සීදුවේ කෝටිපති අවන්හල් හිමියකු වන සීදුව පන්සල පාරේ පදිංචි ඇන්ටනි පේ‍්‍රමලාල් නමැත්තාට වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් චෝදනා ලැබ සිටියහ. එම චෝදනාව මත විත්තිකාරියක වූ ගුවන් සේවිකාවගේ රැකියාව අහිමි විය.

මෙම නඩුව වසර 10ක පමණ කාලයක් දීර්ඝව පැවතිනි.

නඩුව විභාග වන සෑම දිනකදී විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දන්ත තිරංජන මහතා සීදුව පොලිසිය විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව අසත්‍යයක් බවත් මෙම නඩුවට විත්තිකරුවන් දීර්ඝ කාලයක් නිකරුණේ රිමාන්ඩ් භාරයේ සිටි බවත් ඒ අනුව විත්තිකරුවන් නිදහස් කර මුදාහරින ලෙසත් අයැද සිටියේය.

මෙහිදී ජ්‍යෙෂ්ඨ නීතිඥ දන්ත නිරංජන මහතා විසින් දුන් උපදෙස් මත මෙහි විත්තිකාරියකව සිටි ගුවන් සේවිකා සුරේන් අසංගිකා නමැත්තිය තම පවුලට අසත්‍ය විමර්ශනයක් නිසා ඇතිවූ අසාධාරණය පිළිබඳව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා වෙත පැමිණිලි කරන ලදී.

ඒ අනුව ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය පිළිබඳව යළි විමර්ශනයක් ආරම්භ කරන ලදී. සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා විසින් සිදුකළ යළි විමර්ශනයේදී එම විත්තිකරුවන්ට එරෙහිව ඝාතනයට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවූ අතර එම නඩු පැවරීම පදනම් විරහිත බවට හෙළිදරව් වී ඒ බව අධිකරණයට වාර්තා කරන ලදී. ඒ බව විත්තියේ නීතිඥ ටි‍්‍රනි ජයවීර සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ දන්ත නිරංජන මහතා විසින් ද තහවුරු කරන ලදී. මෙම තත්ත්වය සැලකිල්ලට ගත් මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් චම්පික රාජපක්‍ෂ මහතා එම විත්තිකරුවන් තිදෙනා නඩුවෙන් ඉවත්කර මුදාහැරීමට නියෝග කළේය. මෙහි විත්තිකාරියක වූ එයාර්ලංකා ගුවන් සමාගමේ ගුවන් සේවිකාවගේ රැකියාව පවා මෙම නඩුව නිසා අහිමිවී ඇති බවද ජ්‍යෙෂ්ඨ නීතිඥ දන්ත නිරංජන මහතා තව දුරටත් පැවසීය. සීදුව පොලිසිය පැමිණිල්ල මෙහෙයවිය.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment