සාජා ක්‍රීඩාංගණය උණුසුම් කරමින් පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අද සටනට

394

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ තරග වටය යටතේ ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගය අද (07 වෙනිදා) පස්වරු 7.30ට සාජා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ඇෆ්ගනිස්තානය ‘බී’ කාණ්ඩය යටතේ ද යටතේ ද පකිස්තානය ‘ඒ’ කාණ්ඩය යටතේ ද සුපිරි හතර වටය සඳහා සුදුසුකම් ලැබූ අතර එම කණ්ඩායම් දෙකම අද සහභාගී වන්නේ සුපිරි වටය යටතේ තම දෙවැනි තරගයටය.

සුපිරි හතර දෙනාගේ වටය යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගයෙන් ඇෆ්ගනිස්ථානය කඩුලු 4 කින් පරාජයට පත් වූ අතර පාකිස්ථානය ඉන්දියාවට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් ලැබී ය.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයට තරගාවලියේ ඉදිරියට රැඳී සිටීමට අවශ්‍ය නම් ඔවුන් මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වන අතර අවසන් මහා තරගයට පිවිසීමට පකිස්ථානය බලාපොරොත්තු වේ නම් මෙම තරගයේ ජයග්‍රහණය ඔවුන්ට ද බෙහෙවින් වැදගත් වේ.

මූලික වටය යටතේ ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට එරෙහිව තරග ජයග්‍රහණය කළ අතර මූලික වටයේ දී ඉන්දියාවට පරාජය වූ පකිස්තානය සුපිරි වටය යටතේ දී තම ප්‍රබල ප්‍රතිවාදියා වූ ඉන්දියාව කඩුළු පහකින් පරාජය කළේය.

එසේ සුපිරි වටය සඳහා පකිස්තානය මනා ප්‍රවේශයක් ලබා ගත් එම තරගයේ වීරයා වූ මොහොමඩ් නවාස් පිත්තෙන් වේගවත් ලකුණු 42ක්, පන්දු යැවීමෙන් එක් කඩුල්ලක් සහ පන්දු රැකීමෙන් කඩුලු තුනක් ද ලබාගෙන ඉන්දියාව පරාජය කිරීමට ප්‍රබල සාධකයක් විය.

එමෙන්ම කඩුලු රකින ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන්ගේ ඉනිම බෙහෙවින් අගය කළ යුතු මට්ටමේ පැවතුණු අතර රිස්වාන් එහිදී ලකුණු 70 සීමාවට අවතීර්ණව සිටියදී දැවී ගියේය.

පකිස්තාන වේගපන්දු බල ඇණිය මෙම තරගයේ දී සිය වගකීම් මැනවින් ඉටු කළහොත් ඇෆ්ගනිස්ථානයට එරෙහිව තවත් තරග ජයග්‍රහණයකට යෑමට පකිස්ථානයට හැකිවනු ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඇෆ්ගනිස්ථානය පරාජයට පත්වීම කෙරෙහි දුර්වල පන්දු රැකීම් කිහිපයක් අනියමින් හේතු වූ අතර එම දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කරගෙන අද තරගයට පිවිසීමට සූදානම් බව ඇෆ්ගනිස්ථාන නායකයා පසුගියදා මාධ්‍යයට සඳහන් කර සිටියේය.

ඇෆ්ගනිස්ථානය සතුව සිටින මොහොමඩ් නබී, රෂිඩ් ඛාන් සහ මුජිබර් රහුමාන් යන විශිෂ්ට දඟ පන්දු යවන්නන් හමුවේ පාකිස්තාන පිතිකරුවන් පන්දුවට පහර දෙන්නේ කෙසේද යන්න මත අද තරගයේ ජය පරාජය තීරණය වීමට නියමිත බව විචාරකයෝ සඳහන් කරති.

ශ්‍රී ලංකාවට එරෙහිව තරගයේ දී වේගවත් පිතිහරඹයක නිරත වූ ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුර්බාස්ගේ කඩුල්ල ඉක්මනින් දවාගැනීම පකිස්ථාන පන්දුයවන්නන් ගේ හිතසුව පිණිස හේතු වනු ඇත. එම තරගයේදී පන්දු 45කදී වේගවත් ලකුණු 85 ක් ලබා ගත් අතර ඊට 6 පහර හයක් සහ හතරේ පහර 6 අයත් එක් විය.

අද තරගය පැවැත්වෙන්නේ ද එම තරගය පැවති සාජා ක්‍රීඩාංගණයේදී වන බැවින් රහමනුල්ලා ගේ කඩුල්ල ඉක්මනින් දවා ගැනීමට පකිස්තානයට නව උපක්‍රම සොයා ගැනීමට සිදු වේ.

පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර මේ වනවිට පවත්වා ඇත්තේ පන්දුවාර විස්සයි විස්ස තරග දෙකක් පමණක් වන අතර එම තරග දෙකේම ජයග්‍රහණය පාකිස්ථානයට හිමි වී ඇත.

එම තරග දෙකම පකිස්තානයේ දී පැවැති අතර ඒ අනුව දෙරට පන්දු වාර 20-20 තරගයක් සඳහා මධ්‍යස්ථ රටකදී හමු වන පළමු අවස්ථාව මෙය වේ.

අද තරගයේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නායක මොහොමඩ් නබී විසින්ද පාකිස්ථාන කණ්ඩායම බාබර් අසාම් විසින් ද මෙහෙයවනු ලබති.

පකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් මේ දක්වා තරගාවලිය තුළ ලකුණු අතරට පැමිණීමට අසමත් වීම පකිස්ථානයට හිසරදයක්ව පවතින අතර ඔහු අද තරගයේ ලකුණු අතරට පැමිණිය හොත් පකිස්ථානයට මෙම තරගාවලිය ඉදිරියේ සඳහා එය බෙහෙවින් වාසිදායක තත්ත්වයක් වනු ඇත.

කුෂාන් සුබසිංහ ඩුබායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment