සාත්තු සේවයේ නියුතු අඹුසැමියන්ගෙන් රත්තරන් මාලවලට අමුතු සාත්තුවක්

758

ව්‍යාජ අංක තහඩු සවි කළ යතුරුපැදියකින් ගමන් කරමින් මාර්ගවල ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑමේ ජාවාරමක නිරතව සිටි අනුරාධපුර ශික්ෂණ රෝහලේ සාත්තු සේවයේ නියුතු යුවළක්, කොල්ල කන ලද රන් මාලයක් සමග පෙරේදා (1දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ සිට රාජකාරි කටයුතු සඳහා අනුරාධපුරයට පැමිණ අඹුසැමි යුවළකි. විජයපුර භාතිය මාවතේ කුලී නිවසක පදිංචිව සිටි මොවුන් මෙසේ මංකොල්ලකෑම්වල නිරත වී තිබේ.

පසුගිය 24දා, අනුරාධපුර ගෙවල් 55, ප්‍රදේශයේ දී කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කා පලා ගිය බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර සැකකාර යුවල, කොල්ල කන ලද රුපියල් අනු පන්දාහක් පමණ වටිනා එම රන් මාලය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සාත්තු සේවිකාව යතුරු පැදියේ පැදිකරු ලෙස ගමන් කරමින්, පසුපස අසුනේ සිට සැකකාර පිරිමි පුද්ගලයා රන්මාලය කඩනවාත් සමග සැකකාරිය යතුරුපැදියේ වේගය වැඩි කරමින් ගමන් කරන බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

සැකකාර සාත්තු සේවකයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටියදී හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන දැනට වැඩ තහනමකට ලක්ව සිටින අයකු බවද පොලිසිය පොලීසිය සඳහන් කළේය. මෙම කොල්ලකෑම සඳහා යොදා ගත් යතුරු පැදියට ව්‍යාජ අංක තහඩු සවිකර තිබී හමුවී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය ඊයේ (2දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප බණ්ඩාර විජේකෝන්, අපරාධ බුද්ධි අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. චමින්ද ගුණසේකර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පො.සැ. බණ්ඩාර (48317), පො.සැ. නිශාන් (61406), පො.කො. රාජරත්න (66934), අජිත් (70076), මධුසංක (29782) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment